2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

2017 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන රාත්‍රිය

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 19 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී දේශය පුවත්පත සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ඉකුත් 31 දා රාත්‍රියේ ගල්කිස්ස මහ හෝටලයේදී පැවති මේ උළෙලේදී හොඳම ප්‍රවෘත්ති වෙබ් අඩවියට හිමි සම්මානය දේශය පුවත්පතේ ධනුෂ්ක විජේසිරි මහතා විසින් ලබාගත් අතර වසරේ හොඳම විශේෂාංග ලේඛකයාට හිමිවන උපාලි විජයවර්ධන සම්මානයේ කුසලතා සහතිකය දේශය පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ සුගත් පී. කුලතුංගආරච්චි මහතාට පිරිනැමිණි.

මෙහිදී දේශය ඇතුළු විජය පුවත්පත් සමාගමේ අද, ඉරිදා ලංකාදීප, ඩේලි මිරර්, ද සන්ඩේ ටයිම්ස් සහ ටැමිල් මිරර් යන පුවත්පත්වලට කුසලතා සම්මාන ඇතුළු සම්මාන 13ක් හිමිවිය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන දීර්ඝ සේවා රන් සම්මානය මෙවර හිමි වූ ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදීන් වූයේ සිරිල් විමලසුරේන්ද්‍ර, ඒ. එන්. ප්‍රනාන්දු, මෙරිල් පෙරේරා, සින්නයියා කනේසන් සහ ඒ. එල්. එම්. සලීම් යන මහත්වරු වෙති.

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ බිරිය වන ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ සභාපති සුගන්ධි කදිරගාමර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්වූ අතර ඊට ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති මණික් ද සිල්වා, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

සම්මාන උළෙලට සත්කාරක අනුග්‍රහය ගල්කිස්ස මහා හෝටලය විසින් දැරූ අතර අනුග්‍රාහකත්වය සැපයූ සෙසු ආයතන වූයේ ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, මහජන බැංකුව, ඩී. එෆ්. සී. සී. බැංකුව, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඩයලොග් ආසියාටා, ලංකා බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, විජය ප්‍රඩක්ට්ස්, එච්. එන්. බී. ග්‍රාමින් ෆිනෑන්ස් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි.

කතාව I සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ I සුමුදු හේවාපතිරණ

වසරේ හොඳම තීරු ලිපි රචකයා ඩී.ඒ. සිරිවර්ධන සම්මානය කුසලතා සහතිකය ටැමිල් මිරර් පුවත්පතේ කනගලිංගම් කෝපික්‍රිෂ්ණ මහතාට පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති රංජිත් විජයවර්ධන මහතා අතින් පිරිනැමෙන අවස්ථාව.

වසරේ හොඳම සුවසේවා සහ වෛද්‍ය වාර්තාකරණය පිළිබඳ සම්මානය ඩේලිමිරර් පුවත්පතේ උදාරා පුන්නමි අමරසිංහ මෙනෙවියට දේශය පුවත්පතේ කර්තෘ රන්ජිත් ආනන්ද ජයසිංහ මහතා පිරිනැමූ අයුරු.

වසරේ හොඳම පුවත්පත් කලාවේදියා පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානයේ කුසලතා සහතිකය ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ සහකාර කර්තෘ චාන්දනී කිරින්දේ මහත්මියට සුගන්ධි කදිරගාමර් මහත්මිය විසින් පිරිනැමීම

වසරේ හොඳම තරුණ වාර්තාකරු ඩෙන්සිල් පීරිස් සම්මානය කුසලතා සහතිකය ඩේලිමිරර් පුවත්පතේ ෆාතිමා අමීරා ඉස්මයිල් මෙනෙවියට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් මහතා විසින් පිරිනැමීම.

ව්‍යාපාර හා මුදල් පිළිබඳ හොඳම වාර්තාකරණ සම්මානය ටැමිල් මිරර් පුවත්පතේ සුතාන්තිරිනාදන් අනුතිනාන් මහතාට කර්තෘ සංසදයේ භාණ්ඩාගාරික සිසිර පරණතන්ත්‍රී මහතා අතින් පිරිනැමීම.

වසරේ හොඳම සැකැස්ම සහිත පුවත්පතට හිමි සම්මානය ද සන්ඩේ ටයිම් පුවත්පතට හිමිවූ අතර එහි අසිත රත්නායක මහතා එම සම්මානය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත මහතා අතින් ලබාගැනීම.

වසරේ හොඳම ක්‍රීඩා වාර්තාකරු සම්මානය අද පුවත්පතේ පැතුම් විජේරත්න මහතාට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහතා විසින් පිරිනමනු ලැබූ අයුරු.

වසරේ හොඳම ප්‍රවෘත්ති වෙබ් අඩවියට හිමි සම්මානය (ඉංග්‍රීසි) ඩේලිමිරර් පුවත්පතට හිමිවූ අතර එම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ සුනිල් ජයසිරි මහතා අයි.ටී. ඇඩ්වටයිසස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කණිෂ්ක සුගතදාස මහතා අතින් ලබාගැනීම.

වසරේ හොඳම උණුසුම් පුවත්පත් වාර්තාවට පිරිනැමෙන සම්මානය ද සන්ඩේ ටයිම්ස් පුවත්පතට හිමිවූ අතර වීක්එන්ඩ් එක්ස්ප්‍රස් පුවත්පතේ කර්තෘ හැනා ඊබ්‍රාහිම් මහත්මිය විසින් එම සම්මානය සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ඇන්තනි ඩේවිඩ් මහතාට පිරිනැමීම.

වසරේ හොඳම ක්‍රීඩා වාර්තාකරු (ඉංග්‍රීසි) ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ චම්පික ප්‍රනාන්දු මහතාට ලසන්ත රුහුණගේ මහතා විසින් පිරිනැමිණි.

සමාජ ප්‍රශ්න පිළිබඳ හොඳම වාර්තාකරණයට පිදෙන  සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදී සමන්ත ජයලාල් මහතාට නවමණි පුවත්පතේ කර්තෘ එන්.එම්. අමීන් මහතා විසින් පිරිනැමූ අයුරු.