2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

අමුවෙන්ම සිදුකළ සල්ලි මංකොල්ලය

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

පෞද්ගලික බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල (ඒ.ටී.එම්) තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක සේවාවකට අයත් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් දෙකෝටි විසිලක්ෂයක මුදලක් එම වෑන් රථයේ රියැදුරුට, මුදල් අයකැමිට සහ ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කරමින් කොල්ලකා පළායාම ආන්දෝලනාත්මක මංකොල්ලයකි.

ඉකුත් සතියේ වූ සිදුවීම වාර්තා වන පරිදි මෙසේය.

රුපියල් කෝටි විසිතුනකට අධික වටිනා මුදල් නෝට්ටු තොගයක් රුගත් වෑන් රථය පිටත්ව තිබුණේ කොළඹ සිටය. වෑන් රථයේ රියැදුරු සමඟින් මුදල් අයකැමිවරැ දෙදෙනෙක් හා ආරක්ෂක නිලධාරියෙක්ද ගමන් කළහ. පසුගිය 28 වැනිදා පිරිස එක්ව රාජකාරියට පිටත්ව පළමුව නුගේගොඩ ප්‍රදේශයෙත් අනතුරුව කළුතර හා අවට ප්‍රදේශවල ස්ථාන කිහිපයකත් පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රවලට අවශ්‍ය කරන මුදල් නෝට්ටු තැන්පත් කරමින් සවස් වරැවේ ගමන් කරමින් සිට සිටියේ හොරණ - බුලත්සිංහල මාර්ගයේය. මුදල් තොගය බාරව සිටි අයකැමිවරුන් දෙදෙනාම සේවයට අලුත්ය. ගිනි අවියක් සහිතව ආරක්ෂාවේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියා මාස කිහිපයක සිට එහි සේවය කළද යන එන මාර්ග හා ප්‍රදේශය පිළිබඳ එතරම් වැටහීමක් නොතිබූ බව කියති. මේ නිසා අට වසරක් පමණ පැරුණි සේවකයකු වූ රියැදුරුගේ මඟපෙන්වීම සෙසු පිරිසට සහනයක්ව තිබුණි.

වෑන් රථයේ රියැදුරැට හුරුපුරුදු මාර්ගය ඔහු වසර ගණනාවක් පුරා ආ ගිය එකකි. එකී මාර්ගයේ පිහිටි ආපන ශාලාවකි. වාර කිහිපයක්ම එහි තේ පානය සඳහා ගොස් තිබූ රියැදුරු මෙදිනත් සවස තේ පානය සඳහා එතැන නතර කර තිබුණේ පුරුද්දට මෙන්ය. එය හොරණ - බුලත්සිංහල මාර්ගයේ ගෝවින්න පහළ නාරගල ප්‍රදේශයේ පිහිටි එකකි.

වෑන් රථය ආපන ශාලාව ඉදිරිපිට නැවැත්වූ වහාම රියැදුරු, මුදල් අයකැමිවරු දෙදෙනාගෙන් එක් අයෙක් හා ආරක්ෂක නිලධාරියා රථයෙන් බැස ආපන ශාලාවට ගොඩ වැදුණෝය. වෑන් රථයට වී නිදහසේ උන් අනෙක් මුදල් අයකැමිවරයාට ගතවූ වේලාව ගැන අවබෝධයක් නැත. ඒ අතරතුර පිරිස තේ පානය හමාර කර ගතව තිබුණේ මිනිත්තුවක් දෙකක් පමණය. රථයේ රියැදුරු ආපන ශාලාවේ ජල කරාමය ළඟ අත සෝදමින් සිටියේය.

ඒත් සමඟම එහි කඩාවැදුණු පිරිසක් තේ පානය කර අවසන් වූ තිදෙනාගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළහ. ජල කරාමය අසළ සිටි රියැදුරුට මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කරනවාත් සමඟම ඔහු අත තිබූ වීදුරුව බිම වැටී බිඳෙන හඬට මුළුතැන්ගෙයි සිට දුවගෙන ආ ආපන ශාලාවේ හිමිකාරිණියටත් කොල්ලකරුවෝ මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළහ.

එසැණින් පිටතට පැමිණි කොල්ලකරුවෝ වෑන් රථය දෙසට දිව ගියහ. එහි ඉදිරිපස අසුනේ වාඩිවී සිටි මුදල් අයකැමිට තර්ජනය කොට ඔහු ලවා වෑන් රථයේ ජනේලය පහත් කරවාගෙන වෑන් රථය තුළ වූ ආරක්ෂක නිලධාරියාගේ ගිනිඅවිය පළමුව පැහැරගෙන තිබිණි. මරබියට වෙව්ලමින් සිටි මුදල් අයකැමිට කළ හැක්කක් නොවීය. කොල්ල කල්ලිය බලහත්කාරයෙන් පසුපස දොර විවෘත කරගත් වහාම ඔවුන් රැගෙන ආ මිටියක් ආධාරයෙන් එහි වූ යකඩ පෙට්ටියේ ඉබ්බා කඩා දැමිණි. ඒ සඳහා වැඩි වේලාවක් ගත නොකළ ඔවුන් එහි මුදල් අසුරා තිබූ මලු 12 ක් පැහැරගෙන ක්ෂණයකින් එතැනින් පළාගොස් තිබුණේ වෑන් රථය තුළ වූ ජංගම දුරකතන දෙකක්ද රැගෙනය.

මිරිස් කුඩු ප්‍රහාරය එල්ලවීමෙන් පසුව කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වූ පිරිස අතර අපහසුවෙන් හෝ ආපන ශාලාවේ පසුපස දොරෙන් එළියට ගිය වෑන් රථයේ රියැදුරු මාර්ගයට පැමිණ තිබුණි. එහිදී මාර්ගයේ පැමිණි යතුරුපැදියක යුවළකට තොරතුරු දන්වා කියා තිබුණේ තමුන්ගේ වෑන් රථයේ මුදල් කොල්ලකන බවත් හැකි නම් ඔවුන් යන වාහනයේ අංකය බලාගන්නා ලෙසත්ය. ඒ අනුව ඔවුන්ට හැකි පරිදි හඳුනාගත් රථවාහන අංකයක් ලබාදෙන්නට පියවර ගෙන ඇති අතර එම අංකය 64 කාණ්ඩයට අයත් ජිප් රථයකි. මේ සිදුවීමත් සමඟ තොරතුරු පොලීසියට වාර්තා කරන්නට පිරිස කටයුතු කර තිබූ අතර පොලීසිය විශ්වාස කරන්නේ රථයේ අංකය ව්‍යාජ එකක් වන්නට හැකි බවය.

කොල්ලය සිදුවූ මොහොතේ වෑන් රථයේ මුදල් මලු 19 ක් තිබී ඇති බවත් ඉන් 12 ක් කොල්ලකරැවන් විසින් රැගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබුණි. එහි ඉතිරිව ඇති මුදල රැපියල් එක්කෝටි පහළොස් ලක්ෂ හැටදෙදහස් හත්සියයක් (1,15,62,700) බවත් පොලීසිය පවසයි. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මුදල් රැගෙන ගිය වෑන් රථය නාරාහේන්පිට ආරක්ෂක සමාගමකට අයත් බවත් ඔවුන් මෙතරම් මුදලක් රැගෙන ගියද ඊට අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නොතිබූ බවත්ය. එය මේ කොල්ලකෑම සම්බන්ධ බරපතළ සැකයක් බවත් මිරිස් කුඩු ප්‍රහාරය එල්ලවීම පොලිස් පරීක්ෂණ නොමග යැවීම සඳහා වූවක්දැයි සැකයක් පවතින බවත් කියති.

වෑන් රථයේ ආරක්ෂක නිලධාරියා ඒ මොහොතේ සිය ගිනිඅවිය වෑන් රථයේ තබා යාමත් ආරක්ෂාව පිළිබඳ අවබෝධය යොමු නොකිරීමත් විශාල ගැටලුවක් බවද අනාවරණය වී ඇත. කොල්ලය සඳහා පැජරෝ රථයක් හා පිරිස හය දෙනකු පමණ පැමිණ ඇති බවත් වාර්තා වී ඇති අතර සැකසහිත අංකයට අනුව එය නුගේගොඩ ප්‍රදේශයේ කෙනකුට අයත් එකක් බවත් සොයාගෙන තිබේ. එම පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ වසර දෙකකට ඉහතදී රාගම ප්‍රදේශයේ අයකුගෙන් රථය මිලට ගත් බවය. තවදුරටත් අනාවරණය වී ඇත්තේ එම රථය දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා සහ කළුතර ප්‍රදේශයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු භාවිත කළ එකක් බවය.

කොල්ලකරුවන් ගිය රථය ස්ථාන කිහිපයකම සී.සී.ටී.වී කැමරා දර්ශනවල දකින්නට ලැබිණි. විමර්ශනවලට අදාළව වෑන් රථයේ රියැදුරු සහ ආරක්ෂක නිලධාරීවරයාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට පොලීසිය පියවර ගෙන තිබුණි. එහි ආරක්ෂක නිලධාරියා හිටපු නාවික හමුදා සෙබළෙක් බවටද අනාවරණය වී ඇති අතර වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් හා විමර්ශන සිදුකෙරෙයි.

සිද්ධිය පිළිබඳව බුලත්සිංහල පොලීසිය, පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය, කළුතර දිසා අපරාධ ඒකකය, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, මතුගම කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය යන පොලිස් කණ්ඩායම් පහක් පරීක්ෂණ සිදුකරයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර