2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

ලෝකය පුරාම ස්වභාවික විපත්!

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1797

ලෝකය පුරා අසාමාන්‍ය ස්වභාවික විපත් මාලාවක් වාර්තා වෙමින් පවතියි. මුල්ම වාර්තාව ජපානයෙනි. මෙම මාසයේ ආරම්භයේ සිටම ජපානයට කාලගුණය අතින් බාධා රැසක් එල්ල වූ අතර බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 200ක් පමණ මිය ගොස් තිබුණි. එහි බලපෑම සමනය වීමටත් පෙර බලපෑ අධික උෂ්ණත්වයකින් යුතු කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයන් 80කට පමණ දිවි අහිමි විය. තවත් 22,000ක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ගෙන තිබුණි. කුමගායා ප්‍රදේශයේ පසුගිය 24දා වාර්තා වූ සෙල්සියස් අංශක 41.1ක උෂ්ණත්වය මෙතෙක් ජපානයේ වාර්තාවූ ඉහළම උෂ්ණත්වය වන අතර ටෝකියෝ නුවර උෂ්ණත්වය ප්‍රථමවරට සෙල්ලියස් අංශක 40 ඉක්මවා තිබිණි.

ගංවතුරෙන් අධික රස්නයෙන් බැට කෑ ජපානයට ඊළඟට කඩා වැදුණේ සුළිසුළඟකි. ජපානයේ හොන්ෂු දූපතට කඩා වැදුණු පැයට කිලෝමීටර 180ක වේගයකින් යුතු සුළි කුණාටුව හේතුවෙන් නිවාස 150,000ක් පමණ විනාශ වී ඇති අතර පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සුළි කුණාටුව සමඟ අධික ලෙස වර්ෂාවද  ඇදහැලිණි. සුළි කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම් ලද පසු බටහිර ජපානයේ ෂොබාරා නගරයේ පුද්ගලයන් 36,400ක් සහ කොරේ නගරයේ පුද්ගලයන් 6300ක් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කර ඇත.

සුළි කුණාටු අනතුර පිළිබඳ දැනගත් වහාම හොන්ෂු දූපතේ මිලියන 8කට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකිරීමට ජපාන බලධාරීන් සමත් වී ඇත. මේ අතර ගුවන් ගමන් වාර 100ක් පමණ අවලංගු කිරීමටද කටයුතු යොදා ඇත.

ඒ අතර ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකුට දිවි අහිමි වී තිබේ. පුද්ගලයන් 160 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර නිවාස දහසක් පමණ විනාශ වී ඇති බව වාර්තා විය. මියගිය අය අතර රින්ජනි කඳුකරයට ගමන්කරමින් සිටි මැලේසියානු සංචාරකයෙක්ද වන බව සඳහන්ය.

රික්ච්ටර් මාපාංක 6.4ක ප්‍රබල එම භූ කම්පනය ඉන්දුනීසියාවේ බාලි දුපතේ සිට කිලෝමීටර 140ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටි සංචාරක ආකර්ෂණයක් වන ලොම්බොක් දූපතේ සිදුව තිබේ. මෙම කම්පනයෙන් පසු රික්ච්ටර් මාපාංක 5.7ක කම්පනයක් ඇතුළුව තවත් පසු කම්පන 60ක් පමණ සිදුවී ඇත.

සංචාරක කේන්ද්‍රස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ ලොම්බොක් දිවයිනේ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් 150ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. අඩුම වශයෙන් නිවාස 1000ක් වත් විනාශ වී ඇතැයි ගණන් බලා තිබේ

ලොම්බොක් දිවයිනේ රින්ජානි කඳු ප්‍රදේශය කඳු නගින්නන් ඇතුළු සංචාරකයන් අතර ප්‍රසිද්ධියක් උසුලන අතර කඳු තරණය කිරීමට පැමිණි 500කට අධික පිරිසක් සිරවී සිටි තැන්වලින් බේරාගැනීමට සමත්ව ඇතැයි එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

කෙසේ වෙතත් එරට ආපදා ඒජන්සිය සඳහන් කරන්නේ සුන්බුන්වලට යටවීමෙන් හා සිමෙන්ති බිත්ති කඩා වැටීමෙන් වැඩි දෙනෙක් මියගොස් ඇති බවයි. ඒ අනුව තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින ජනතාව බේරාගැනීම හා ආරක්‍ෂිත ස්ථාන කරා ඔවුන් යොමු කිරීමට කටයුතු සිදු කෙරේ.

යුරෝපය පුරා උණුසුම් වායුරැල්ලක් පැතිර ගිය අතර මුලින්ම එයට ගොදුරු වූයේ එංගලන්තයයි. පසුගිය බ්‍රහස්පතින්දා වනවිට එය ස්පාඤ්ඤය ගිලගෙන තිබුණි. වාර්තාගත සෙල්සියස් අංශක 51ක උණූසුම ලිස්බන් නගරබදව පැතිර  තිබුණි. මහමග ගමන් ගත් 48 හැවිරිදි තැනැත්තෙකු උණුසුම හේතුවෙන් ඇදවැටී තිබුණි. අප්‍රිකානු උණුසුම් ප්‍රවාහය උතුරු දෙසට ඇදී යමින් පැවතිණි.

අලුත්ම ආපදාව වාර්තා වූයේ මියැන්මාරයෙනි. ඒ මහා ගං වතුරකි. යැංගොන් සිට උතුරු දිගින් පිහිටි බාගෝ පළාතෙනි. ගංවතුර ජීවිත 12ක් බිලිගත් අතර 150000කට උන්හිටිතැන් අහිමිකර තිබුණි. අනාථ පිරිස කඳවුරු 365කට ගාල්කර තිබේ. 

ලෝකය පුරා පැතිර යන මේ අසාමාන්‍ය සොබාවික විපත් සම්බන්ධව චෝදනා එල්ල වන්නේ මිනිසා වෙතටමය. ලෝක දේශගුණය මෙලෙස උඩුයටිකුරු කරන්නට හේතූ වී ඇත්තේ මිනිසා මුල්ව සිදුකැරෙන මහා පරිසර විනාශය වීම නිසාය.

♦ සුගත් පී. කුලතුංගආරච්චි