2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

පින්තූර තෝරන ගිරවා

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 616

හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මෙන්ම විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික‍්‍රම, ටෝණි රණසිංහ, ජැක්සන් ඇන්තනි, රොජර් සෙනවිරත්න, ග්‍රීයානි අමරසේන සහ සබීතා පෙරේරා යන ජනප්‍රිය නළු නිළියන් ගේ ඡායාරූප පේළියට මේසයක් මත තබා ඇත.

මේසයේ එක් එක් කොනක සිටින්නේ ගිරවෙකි. උගේ නම ඇලෙක්ස්ය. නරඹන්නන් මේ දෙස දෙනෙත් අයා බලා සිටින්නේ මේ කරන්නට යන්නේ කුමක්ද කියා සිතා ගත නොහැකිවය. ඇලෙක්ස් බලා සිටින්නේ තම ස්වාමියා වන විජය ඉලංගකෝන් මහතාගෙන් අණක් ලැබෙන තෙක්ය.

මේ නළු නිළියන්ගේ ඡායාරූප පේළියට මේසය මත තබන්නේද නරඹන්නන් අතර සිටින අයෙකි. මෙතන තියන ඡායාරූප බලා ඉන්න ඕනෑම නළු නිළියකගේ නම කියන්න. ඒ විජය ඉලංගකෝන් මහතා නරඹන්නන් අතර සිටින කෙනෙකුගෙන් කරන ඉල්ලීමකි. (ගාමිණී ෆොන්සේකා) නරඹන්නෙක් කියා සිටියේය.

(ඇලෙක්ස් මගේ හොඳ පුතා වගේ ගාමිණී ෆොන්සේකා අපට පෙන්වන්න) කියා ගිරවාට හඬනගා කියන්නේ ඉලංගකෝන් මහතාය. ඉලංගකෝන් මහතාගේ මුවින් ඒ ගාමිණි ෆොන්සේකා මහතාගේ නම කියනවාත් එක්ක ඇලෙක්ස් නළු නිළියන්ගේ ඡායාරූප එකිනෙකා දෙස ඕනෑකමින් ඒවා පසුකරමින් සීරුවෙන් ගමන්කර ගාමිණි ෆොන්සේකා මහතාගේ ඡායාරූපය තබා තිබෙන ස්ථානයට ගොස් හොටෙන් අල්ලා ගන්නේ නරඹනන්ගේ නොනවතින ඔල්වරසන් හඬ මැද්දේය.
මේසය මත තබා තිබූ සෑම නළු නිළියකගේම ඡායාරූපයක් ළඟටම ගොස් ඒවා උගේ හොටෙන් අල්ලා ගන්නේ නරඹන්නන් ඒ නළුවාගේ හෝ නිළියගේ නම කියූ පසු ඉලංගකොන් මහතා ලබාදෙන විධානයට අනුව ගොස්ය. මේසය මත නළු නිළියන්ගේ ඡායාරූප වරින් වර කළින් තිබුණ ස්ථාන වලින් වෙනත් ස්ථානයක තැබුවේද රැස්ව සිටි නරඹන්නන් අතරේ සිටි කිහිප දෙනකු විසිනි. කිසිම අවස්ථාවක ඇලෙක්ස්ට මේ වැඩේ වැරදුණේ නැත. ඒ තරමට ඔහු නිවැරදිව නම කියන නළුවා හෝ නිළිය හඳුනාගත්තේ නරඹන්නන් විශ්මයට පත් කරමිනි. නළුවා හෝ නිළිය නිවැරදිව හඳුනාගන්නා සෑම මොහොතකම මගේ හොඳ පුතා කියා සෙනෙහසින් ඇලෙක්ස්ව සිඹ ගැනීමට ඉලංගකෝන් මහතා අමතක කරන්නේ නැත.

ඒ අයුරින්ම නොව මෙරට සිටිය සහ වර්තමානයේ ද සිටින රාජ්‍ය නායක නායිකාවන්ගේ මෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ ඡායාරූපද හඳුනාගැනීමේ සුවිශේෂ හැකියාවක් ඇලෙක්ස් නමැති ගිරවාට ඇත. පෙර පරිදිම නරඹන්නන් මේසය මත තබා තිබු රටේ රාජ්‍ය නායක නායිකාවන්ගේ මෙන්ම කැබිනට් ඇමතිවරුන්ගේ නම් කියූ සැනින් ඒ ඡායාරූපය ළඟට ගොස් නතර වී හොරෙන් ඡායාරූපය අල්ලා ගෙන සිටියේ නරඹන්නන් පුදුමයෙනුත් පුදුමයට පත් කරවමිනි.

පන්සල, පල්ලිය හා කෝවිලද වෙන වෙනම හඳුනා ගැනීමට ඇලෙක්ස්ට ඇති හැකියාවද විජය ඉලංගකෝන් මහතා අපට පෙන්නුවේය. පුංචි කරත්ත, සෙල්ලම් කාර් තල්ලු කරගෙන යාමටද ඇලෙක්ස්ට හැකියාව ඇත. ඇලෙක්ස්ගේ ඒ කි‍්‍රයාකාරකම් ඇත්තෙන්ම පුදුම සහගතය. ඇලෙක්ස් කියන ගිරවා මෙන්ම තවත් හැකියාවන් ඇති ගිරවුන් හතර දෙනෙක් ඉලංගකෝන් මහතා සතුය. පෙර පාසලක කි‍්‍රයාකාරකම් රුසක් කිරීමට මේ ගිරවුන් හතර දෙනාට හැකියාවක් ඇති අතර ඒවා ඉලංගකෝන් මහතා අපේ ඇස් පනා පිටම කර පෙන්නුවේය.

මේ සෑම කි‍්‍රයාකාරකමක්ම ගිරවුන් පස් දෙනා කරන්නේ ඉලංගකොන් මහතාගේ විධානයට අවනත වෙමින්ය. මේ සෑම කටයුත්තක් ආරම්භ කිරීමට පෙර ජාතික කොඩිය ඔසවන අතර එය කරන්නේද ඇලෙක්ස්ය. මේ ගිරව් පස් දෙනගෙන් හොඳම වැඩ කාරයා ඇලෙක්ස්ය. ඇලෙක්ස්ය ශී‍්‍ර ලංකාවට ආවේනික වූ බටු ගිරවෙකි.

ගම්පොළ දොළුව පාරේ ගසක් පාමුල වැටී සිටියදී ඇලෙක්ස් නැමැති ගිරවා ඉලංගකොන් මහතාට හමුවී ඇත්තේ මීට අවුරුදු 10 කට විතර කලින් පැටියා කාලයේදීය. විජය ඉලංගකෝන් කියන්නේ දෙහිවල සත්තු වත්තේ පමණක් නොව විදෙස් රට වල ගණනාවකට ගොස් සතුන්ට නොයෙකුත් කි‍්‍රයාකාරකම් පුහුණුකර ඇති ජාත්‍යන්තර කුරුළු පුහුණුකරුවෙකි. විදේශයන්හි දී මැජික් ශිල්පය ප‍්‍රගුණ කර එහි ප‍්‍රවීණයෙක් වන විජය ඉලංගකෝන් ජාත්‍යන්තර සම්මාන වලින්ද පිදුම් ලබා සිටී.
විදෙස් සඟරා ගණනාවක ඡායාරූපද සහිතව ඔහු ගැන විස්තර පළවී ඇති අතර ඔහු ඒ සඟරා අපට පෙන්නුවේය. ඇලෙක්ස්ගේ විශ්මිත මතකයට හොඳම උදාහරණයක් වන මේ කතාව කිව්වේද ඉලංගකෝන් මහතාය.

“දෙහිවල සතුන් වත්තේ මම සතුන් පුහුණුකරමින් ඉන්න අවස්ථාවක මගේ අතේ හිටිය ඇලෙක්ස් එක පාරටම ඉගිල්ලිලා ගියා. ඒ පැත්තේ හැම තැනකම සොයා බැලුවත් හමුවුණේ නැහැ. ඇලෙක්ස් ගැන හිතලා මට හොඳටම අසනීප වෙලා රෝහල්ගතව ප‍්‍රතිකාර පවා ලබා ගැනීමට සිදු වුණා. මාස හයකට විතර පස්සේ අපේ ගම්පොළ ගෙදරට ආවා. මට මේක අදහාගන්න බැරිව ගියා. මේ සිද්ධිය වුණේ 2014 විතර.

ප‍්‍රවීණ සත්ව විශේෂඥයෙක් වන ආචාර්ය සරත් කොටගම මහත්තයා මේ ගැන සොයා බලන්න අපේ ගෙදර ආවා. මැග්නටික් ෆීලිං එකක් සතුන්ට තියෙනවා. ඒ නිසා තමා කාලයක් ගියත් මේ ගිරවාට ඌ කාලයක් හිටිය තැන සොයාගෙන එන්න පුළුවන් වුණේ කියා ආචාර්ය කොටගම මහත්තයා පැවසුවා” යැයි ඉලංගකෝන් මහතා කීය.

“මම මේ ගිරවුන්ට පුහුණු කිරීම ආරම්භ කරන්නේ පාන්දර 4.30 ට විතර. මුල් කාලයේ පැයක විතර කාලයක් පුහුණු කිරීම් කරනවා. පාන්දරට පුහුණු කරන්නේ හොඳට මතක සිටින නිසයි. නියමිත පුහුණුවීම් ලබාගත්තාට පස්සේ සතියකට දවස් දෙක තුනක් පුහුණුකිරීම් කරනවා. එහෙම කරන්නේ කලින් ලබාදුන් පුහුණුවීම් අමතක වෙන්න පුළුවන් නිසයි.” ගිරවුන්ට පුහුණුවීම් ලබාදෙන ආකාරය ගැන විජය ඉලංගකෝන් මහත්තයා කිව්වේ එහෙමයි. ඔහු මෙසේද පැවසීය.

“සතියකට දෙවරක්  මම මේ ගිරව් පස්දෙනා නාවනවා.මේ අයට කන්න බොන්න දෙන්න මාසයකට රුපියල් 10,000 ක් විතර වියදම් වෙනවා. නරක් වෙච්ච පළතුරු කිසිම දවසක කන්න දෙන්නේ නැහැ. හොඳම පළතුරු තමා කන්න දෙන්නේ. ලෙඩ රෝග හැදුණාම ප‍්‍රතිකාර කරන්නත් මම ඉගෙනගෙන තිබෙනවා.”

සතුන්නට මේ විදිහට පුරුදු පුහුණු කරන්න ඉගෙන ගත්තේ කොහොමද කියන එක අපි ඔහුගේ වචනවලින්ම අසා දැන ගනිමු.

“අපේ පවුලේ නම දෙනෙක් සිටියා. මම පවුලේ දෙවැනියා. තාත්තා රජයේ වෛද්‍යවරයෙක්. ගම්පොල සහිරා, තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලය හා නුවරඑළිය ගාමිණී මහා විද්‍යාලය කියන පාසල්වලින් මම අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ හොඳට පාස් වුණා. කුඩා කාලයේ ඉඳලාම වෙන කවුරැත් නොකරන දේවල් කරන පුරුද්දක් මට තිබුණා.

පුංචි කාලයේ ඉදලම මම සත්තු ඉන්න චිත‍්‍රපටි බලන්න වාගේම සත්තු ඉන්න සර්කස් බලන්න ලොකු ආශාවක් තිබුණා. පනස් ගණන්වල කමලා කියා සර්කස් කණ්ඩායමක් ලංකාවට ඇවිත් සිටියා. මේ සර්කස් කණ්ඩායම මහනුවර බෝගම්බරට ඇවිත් සර්කස් පෙන්නුවා. කොටි වලස්සු පවා මේ සර්කස් කණ්ඩායමේ සිටියා. ඊට පස්සේ මට ඉන්දියාවට ගිහින් සර්කස් කණ්ඩායමකට සම්බන්ධ වෙන්න ලොකු ආශාවක් ඇති වුණා.

දැන් මගේ වයස අවුරුදු 74 ක් වෙනවා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 18 ක් විතර වෙනවා. රුපියල් 35 ක් හොයාගෙන මට තලෙයි මන්නාරමට ගියා. ඒ කාලයේ රුපියල් 35 ක් කියන්නේ ලොකු ගානක්. තලෙයිමන්නාරමේ ඉඳලා ඉන්දියාවට බෝට්ටු සේවාවක් තිබුණා. බෝට්ටුවකින්  ඉන්දියාවට ගියා. බෝට්ටුවේ ගාස්තුව රුපියල් දෙකයි ශත පනස් පහයි.

ලෝකයේම ඒ කාලයේ ප‍්‍රසිද්ධ වෙලා තිබුණ පෝමනි කියා සර්කස් කණ්ඩායමක් ඒ කාලයේ ඉන්දියාවේ තිබුණා. මට මේ සර්කස් කණ්ඩායමේ නායකයා සිත්තප්පා දේමර් හඳුනාගන්න ලැබුණා. ඒ සර්කස් කණ්ඩායමේ අලි, කොටි, වලස්සු පවා සිටියා. මම මුලින්ම කලේ ඒ සතුන්ට කෑම දෙන එකයි. ඒ සත්තුන්ට සර්කස් පුරුදු කරන හැටිත් පසු කාලයක මම ඉගෙන ගත්තා. කුරුල්ලෝ පුහුණු කරන ආකාරයත් මම ඉගෙන ගත්තා. අවුරුදු 10 ක විතර කාලයක් මම සත්තු පුහුණු කිරීමේ ශිල්පය පුහුණු කළා.

ඉන්දියාවේ අවුරුදු 10 ක් විතර ඉදලා ලංකාවට ආවට පස්සේ මම වරින් වර මාලදිවයින, ඉරාකය, හා ලිබියාව වැනි රටවලට ගොස් කුරුල්ලන් කී‍්‍රඩා පුහුණු කිරීමට පුහුණුවක් තිබෙනවා. ලෝකයේ කුරුලු ඉස්කෝලයක් කරගෙන යන්නේ මම විතරයි. පාසල්වල සංදර්ශන තියෙනවා. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබෙනවා. සංචාරක හොටෙල් වලට පවා ගොස් කුරුලු සංදර්ශන පවත්වනවා.”

ඉන්දියාවේ තිරගත කරන ලද චිත‍්‍රපට ගණනාවකද ලංකාවේ තිරගත කරන ලද චිත‍්‍රපට කිහිපයක විජය ඉලංගකෝන් මහතා රංගනයෙන් දායකත්වය ලබා දී ඇත. සතා සීපාවට පමණක් නොව ගහ කොළටද ඔහු එකසේ ආදරය කරන්නේය.
ජාතික සත්ව උද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය සහ කලාකීර්ති නාලක අධිකාරි මහතාද ඉලංගකෝන් මහතා ගෞරවයෙන් සිහිපත් කිරීමට අමතක නොකළේ මේ කටයුත්තේ ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය නිසා
ඔබත් කැමති නම් ඉලංගකෝන් මහතාගේ 0777 222780 යන දුරකථන අංකයට කතා කිරීමට පුළුවන.

♦ කතාව  - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
සේයාරූ - මාදම්පේ නිර්මාල් ප්‍රසංග ජයසූරිය