
මොනවා වෙයිද? කවුරු දිනයි ද? ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ කවුද? 2020 ජනාධිපතිවරණය පිළිබඳ ඒ ආකාරයට විශාල සමාජ කතිකාවතක් මේ වෙනවිටත් රට තුළ නිර්මාණය වී තිබේ. ප්‍රධාන පක්ෂවල අපෙක්ෂකයන් තවම නම් කර නැතත් ප්‍රධාන දේශපාලන ධාරාවෙන් බැහැර පුද්ගල චරිත කිහිපයක්ම තමන් ජනපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ නිකුත් කර ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂ ද තමන්ගේ අපේක්ෂකයන් පිළිබඳ ජාතික දේශපාලනයේ නියුතු පිරිස් හරහා අදහස් දක්වමින් සිටී. පොදු අපේක්ෂකයකු පිළිබඳවත් විවිධ මත මෙරට දේශපාලන කරළියේ මතුවෙමින් තිබේ. මේ සියල්ල අතරේ 2020 ජනපති සටනට එතැයි විශ්වාසකරන චරිත කිහිපයක් පිළිබඳ අපි සොයාබලමු.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳ සංවාදය මුලින් ආවේ ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තවත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි වීම මෙම සංවාදයට හේතු විය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඊළඟ ජනපතිවරණ අපේක්ෂකයා වියයුතු යන්න ඒකාබද්ධයේ එක් පිරිසකගේ මතය විය. තවත් පිරිසක් මෙම මතයට සැලකිය යුතු අනුකූලතාවයන් නොදැක් වූ අතර එකින් එකට වෙනස් වූ ප්‍රකාශ ඒකාබද්ධයේ අභ්‍යයන්තරයෙන් මතුවිය. අවසානයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් මෙම ගැටලුවට පිළියම් ලෙස ප්‍රකාශ වූයේ 2020 ජනපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා නිසි අවස්ථාවේදී ප්‍රකාශ කරනු ඇති බවය. බැසිල් රාජපක්ෂ මහතා ද මෑතක පවසා තිබුණේ ජනපතිවරණයට සිය පාර්ශවයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහු දිනවීමට තවත් කටයුතු කරන බවයි.
මේ අනුව 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වියහැකි අපේක්ෂකයකු ලෙස 2005 – 2015 කාලවකවානුවේ මෙරට ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුනාගත හැකිය. 1949 ජූනි 20 වන දින උපන් 69 වන වියේ පසුවන ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. හිටපු යුද හමුදා නිලධාරියකු ද වන ඒ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස යුද්ධය අවසන් කිරීමට දැක්වූ ඉහළ දායකත්වය, ප්‍රධානතම සුදුසුකම ලෙස දැක්වෙනු ඇතැයි අපේක්ෂා කළහැකිය. ඊට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය හරහා සිදුකළ නාගරික සංවර්ධනය හා කොළඹ නගරය අලංකාර කිරීමද සුදුසුකම් ලෙස ඉදිරිපත් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවහොත් ප්‍රතිවිරුද්ධ පාර්ශවවලින් සුදු වෑන් සිද්ධිය, ඝාතන චෝදනා, ද්විත්ව පුරවැසිභාවය ආදී චෝදනා ලෙස දේශපාලන වේදිකාවේ දී මතු වෙනු ඇත.
ඒකාබද්ධ පාර්ශවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවූවහොත් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාට හෝ වත්මන් ඒකාබද්ධ විපක්ෂනායක දිනේෂ් ගුණවර්ධන මහතාට එම පාර්ශවයේ ජනපතිවරණ අපේක්ෂකත්වය ලැබෙනු ඇතැයි සමහරු මත පළකරති.
එක්සත් ජාතික පක්ෂයේ 2020 ජනපති අපේක්ෂකයා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව මාධ්‍ය සාකච්ඡාවකදී එජාපයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
වත්මන් අග්‍රමාත්‍යවරයා 2020 ජනපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඒ මහතා ජනාපතිවරණයක් සඳහා ඉදිරිපත් වන තෙවැනි අවස්ථාව එය වනුඇත. 1999 සහ 2005 යන ජනාධිපතිවරණ සඳහා ඒ මහතා ඉදිරිපත් විය. 1949 මාර්තු 24 දින උපන් ඒ මහතා 69 වන වියේ පසුවන අතර පිළිවෙළින් 1993, 2001 යන වර්ෂවලදී මෙරට අග්‍රමාත්‍ය ධුරයට දරා ඇති අතර 2015 වර්ෂයේ සිට මේ වනතෙක් අග්‍රමාත්‍ය ධුරය දරයි. වික්‍රමසිංහ මහතා 2020 ජනපතිවරණයට ඉදිරිපත් වුවහොත් දේශපාලන අත්දැකීම්, පරිණතභාවය හා බුද්ධිමත්භාවය ආදිය සුදුසුකම් ලෙස ඉදිරිපත් වීමට ඉඩ ඇත. බැඳුම්කර වංචාව, බටහිර හිතවාදී විදේශ ප්‍රතිපත්ති, රටේ සම්පත් විකිණීම ආදිය විරෝධතා ලෙස ඉදිරිපත් වීමට ඉඩ තිබේ.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද 2020 ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ සම්භාවිතාවක් තිබේ. එජාපයේ පසුපෙළ මෙන්ම බිම් මට්ටමේ ඇතැම් පාක්ෂිකයෝ ද සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ අපේක්ෂාවන් දල්වාගෙන සිටිති. ඒ මහතා පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශ හරහා එවන් අවස්ථාවක් ලබාගැනීමට ඔහු තුළ අකැමැත්තක් නැති බව පෙනීයයි.
මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතු වන සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයට පිවිසෙන්නේ පිය උරුමයෙනි. 1967 ජනවාරි 12 වැනිදා උපන් ඒ මහතා 51 වැනි වියෙහි පසුවෙයි. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර හොබවන ඔහු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් එජාප පාක්ෂිකයන් තුළ පිබිදීමක් ඇතිවෙතැයි මත පළවේ. සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් එජාප තුළ සිටින බවද කියති. කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පිය උරුමයෙන් ලද දේශපාලන ආභාෂය, නිවාස ව්‍යාපෘති, තරුණකම ආදිය සුදුසුකම් ලෙස කියවෙනු ඇත. ඒ කාලයේදී නිධන් ගන්නායැයි නැගෙන චෝදනා හා “88-89” භීෂණය කාලයේ පියාට එරෙහිව ආ කතා චෝදනා ලෙස විපක්ෂයෙන් නැගෙන්නට ඉඩ තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බව ශ්‍රීලනිපය නියෝජනය කරන ප්‍රබලයන්ගේ මතයයි. 2015 ජනාධිපතිවරණයේදී නැවත තමන් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවද වර්තමාන දේශපාලන ධාරාවේ හැසිරීම අනුව එවැනි දෙයක් බලාපොරොත්තු විය හැකිය. 1951 සැප්තැම්බර් 03 වැනිදා උපන් 66 වියෙහි පසුවන වත්මන් ජනපතිවරයා 2020 ජනපතිවරණයට ඉදිරිපත් වුවහොත් බැඳුම්කර වංචාවට එරෙහිව පියවර ගැනීම, ජනතා අප්‍රසාදය පළවූ ආණ්ඩුවේ ඇතැම් තීරණ නැවත හැරවීම, කුඩුවලට එරෙහි එල්ලුම් ගහගෙන ඒම, පෙන්වා දී ස්වාධීනව කටයුතු කිරීමට තමන්ට බලය ලබා දෙන්නැයි ඉල්ලා සිටිය හැක. ඔහුට විරුද්ධව නැගන චෝදනා අතරට වත්මන් ආණ්ඩුව අතින් සිදුවූ සියලු අඩුපාඩුවල වැරදිකරු ලෙස ඔහු හැඳින්වීමේ හැකියාවක් තිබේ. එමෙන්ම ඍජු තීරණ නොගත් බවටද චෝදනා එල්ල වියහැක.
ඉහත සඳහන් කළ සියලුදෙනා ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය වන අතර පොදු අපේක්ෂකයකු ද 2020 සඳහා ඉදිරිපත් වීමට ඉඩ ඇති බව පෙනෙන්නට තිබේ. පොදු අපේක්ෂකයකු සොයාගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට සැරසෙන පාර්ශවයන් ද වෙයි. සිවිල් සංවිධාන, එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ පොදු අපෙක්ෂකයකු නිර්මාණය කරගැනීම වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් ඇත.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන ජාතික හෙළ උරුමයේ අමත්‍ය පාඨලී චම්පික රණවක මහතා පොදු අපේක්ෂකයා වීමට ද ඉඩ ඇතිබව කියවෙයි. මේ වනවිට ඔහු ස්වාධීන දේශපාලන භූමිකාවක් ගොඩනංවාගනිමින් සිටීම හා විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජනපති අපේක්ෂකත්වය පිළිබඳව මේ අදහස මතුව තිබේ. 2015 ජනාධිපතිවරණයට පෙරදී ද පාඨලී චම්පික රණවක මහතා පොදු අපේක්ෂකයා වනු ඇතැයි සැකපහළ වූ නමුත් එය එසේ නොවීය.
54 වන වියේ පසුවන පාඨලී චම්පික මහතා 2020 ජනපති වරණයට ඉදිරිපත් වුවහොත් සිංහල බෞද්ධ පදනම මෙන්ම ඍජු නායකත්වයක් ලබාදීමට හැකියාවක් ඇතැයි මතයක් තිබීම සුදුසුකම් වශයෙන් ඉදිරිපත් වීමට ඉඩ තිබේ. ජාතිවාදී ස්ථාවරය, පසුගිය කාලයේ දේශපාලන හැසිරීම චෝදනා ලෙස ඉදිරිපත් විය හැක.
මෙම ජාතික දේශපාලනය නියෝජනය කරන චරිතවලට අමතරව වෙනත් කේෂ්ත්‍ර තුළින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වියහැකි අපෙක්ෂකයන් පිළිබඳව ද අදහස් පළවෙමින් තිබේ. ඒ අතරින් හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩයකු ජනපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි පසුගිය දිනවල පුවත් පළවිය. එක්සත් ජාතික පක්ෂයේ සහාය ඇතිව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු හා ලෝක පූජිත ක්‍රීඩකයකු වූ කුමාර සංගක්කාර මෙලෙස දේශපාලනයට පිවිසෙනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස විය. එහෙත් මේ වනවිට කුමාර සංගක්කාර එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ දිනවල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසා සමාජ ජාලාවල වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින අයකු වන්නේ රොහාන් පල්ලේවත්ත නම් ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඒ මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර ඥාතියකු බව පැවසෙයි. පල්ලේවත්ත ගමරාළලාගේ රොහාන් වන ඔහු ලංකා හාන්ස් පෞද්ගලික සමාගමේ හිමිකරු බව කියයි. ධනවත් ව්‍යාපාරිකයකු වන පල්ලෙවත්ත මහතා ලංකාව ලබාගෙන ඇති සියලු ණය ජපන් බැංකුවකින් ලබාගත් ණයක් හරහා ගෙන දමා ගෙවිය යුතු පොලිය අඩුකරගෙන රට ණය උගුලෙන් බේරාගන්නා ක්‍රමයක් යෝජනා කරයි. වසර පහකින් ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 10,000ක් දක්වා ගෙනයන වැඩපිළිවෙළක් තමන් සතු බව පවසා ඇත. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මාධ්‍ය ආයතනයක් මිලදී ගැනීමට ද සූදානම් බවත් ඔහු පවසයි.
පිරිසකගේ පැසසුමට ද තවත් පිරිසකගේ ගැරහුමටත් පත්වන චරිතයක් බවට රොහාන් පල්ලේවත්ත මහතා පත්ව සිටින අතර ඔහුට විරුද්ධ නැගෙන මූලික තර්කය නම් හාන්ස් පෞද්ගලික සමාගමේ සැබෑ හිමිකරුවා ඔහු නොවන බවට කෙරෙන ප්‍රකාශයයි. තවද ඔහු පවසන ජපානය හා ඔහු සිදුකරනු ලබන ගනුදෙනුව වටා ගෙතුණු කතාවද අසත්‍යයක් යැයි සමහරු චෝදනා කරති.
මෙරට නීති ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ද 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව පවසා තිබේ. එංගලන්තයේ සහ මෙරට ද්විත්ව පුරවැසිභාවය තිබුණු ද එය ඉවත්කර ගන්නා බව ඔහු පවසයි. 2017 වර්ෂයේ නිකුත් වූ වීඩියෝ පටයක මේ බව සඳහන් වෙයි. ඔහුගේ දේශපාලන ආගමනයේ බලාපොරොත්තුව නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම හා අපරාධකරුවන්ට දඬුවම් දීම බව පෙනෙන්නට තිබේ. නාගානන්ද මහතා විවිධ අවස්ථාවල ජනතාවට සිදුවන අසාධාරණ වෙනුවෙන් අධිකරණයේදී පෙනීසිට තිබේ. 2020 ජනාධිපතිවරණයේදී ජනතා පරමාධිපත්‍ය මගින් සම්මත කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද ඉදිරිපත් කිරීමට ඔහු සූදානම් වන බව කියැවෙයි. සමාජ ජාල මාධ්‍ය තුළ ඇතැමුන්ගේ අදහස වී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ සහාය ඇතැම්විට නාගානන්ද මහතාට ලැබීමට ඉඩ ඇති බවයි. නමුත් එය අදහසක් පමණි. ඒ පිළිබඳ කිසිදු හෙළිදරව්වක් තවම සිදුවී නොමැත.
ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් බිහිවීම පිළිබඳ සැලකිය යුතු සාකච්ඡාවක් සිදුව නැත. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ 1988 දී හා 1999 දී ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කළ අතර ඒ අවස්ථා දෙකේදීම 4%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකි විය. ඒ අනුව තුන්වැනි පාර්ශ්වයක් වෙත ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලැබුණහොත් කිසිදු අපේක්ෂකයකුට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබේ.
ද නේෂන් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාලින්ද සෙනෙවිරත්න මහතාද 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සඳහන් වෙයි. සණස සංවර්ධන බැංකුවේ සභාපති සාමදානි කිරිවන්දෙණිය මහත්මිය සමඟ විවාහ වී සිටින මාලින්ද මහතා “තිරසාර හෙටක් නිකළස් රටක්” නිර්මාණය කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට පිවිසෙන බව පැවසෙයි.
පසුගිය දේශපාලන ඉතිහාසය සැසඳීමේදී බත්තරමුල්ලේ සීලරතන හිමිද, වික්‍රමබාහු කරුණාරත්න මහතාද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇත. 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කර දැනටමත් කතාබහට ලක්වෙන චරිත කිහිපයක් පිළිබඳ තොරතුරු එසේය. මේ අතර ඉතා මෑතකදී පසුගිය ජනාධිපතිවරණයේදී තීරණාත්මක චරිතයක් වූ රතන හිමියන් විසින් කාන්තා සමුපකාර ව්‍යාපාරය නිර්මාතෘ නන්දසිරි ගමගේ මහතාද ජනපති අපේක්ෂකත්වයට සුදුසු බව පවසා තිබේ.
ඉදිරියේදී තවත් මෙවන් චරිත කරළියට පැමිණිය හැකිය. මේතාක් ලාංකීය ජනාධිපතිවරණ ඉතිහාසයේ පැහැදිලි බහුතරයක් සහිතව ජනාධිපතිවරු බිහිවූ අතර වර්තමානය වන විට ගොඩනැගී ඇති දේශපාලන වටපිටාව තුළ 2020 දී ප්‍රථම වතාවට තුන්කොන් සටනක් නිර්මාණය වීමේ ඉඩකඩක් ද තිබේ.
මේ 2020 ජනාධිපතිවරණය පිළිබඳ කල් ඇතිවම රට තුළ සංවාදයක් ඇතිවුවද අනාවැකි පළකිරීමට තවම කල් වැඩිය. ලාංකික ඉතිහාසයේ පවත්වනු ලබන 8 වැනි ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක විය හැකි ජනතාවට මෙතෙක් අත්නොවිඳි දේශපාලන අත්දැකීමක් ලැබෙන අවස්ථාවක් විය හැකි බව නම් අනාවැකි පළ කළ හැකිය. පොදු අපේක්ෂක සංකල්පය පිට පිට තෙවැනි වතාවටත් 2020 දී නැවත කරළියට ඒමේ හැකියාවක් ද තිබේ.
මෙතෙක් පැවති ද්විත්ව සටන් වෙනුවට මෙවර තුන්කොන් සටනක් නිර්මාණය වුවහොත් දෙවැනි මනාප පිළිබඳව අවධානය යොමුකරන්නට ඡන්ද දායකයන්ට සිදුවනු ඇත. මේ සියල්ල අවසානයේ පැවසීමට ඇත්තේ ලාංකික දේශපාලන භූමිය උණුසුම පමණක් නොව කාලයත් සමඟ එහි සංකීර්ණ බවද වැඩිවී ඇති බවයි.
►චමිඳු නිසල් ද සිල්වා