
පසුගිය මාස කිහිපය තුළ රට පුරා විවිධ පළාත්වලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එළවළුවල මිල අහස උසට නැග්ගේය. වර්ෂාවත් සමඟ හමාගිය තද සුළං තත්ත්වයෙන්ද බොහෝ වගාබිම් විනාශ විය. විශේෂයෙන් මේ දිනවල උඩරට එළවළුවල මිල පහතරට එළවළු මිලට සාපේක්ෂව ඉතා වැඩිය.
එළවළුවල මිල මෙලෙස ඉහළ යද්දී තවත් ආහාර කිහිපයක මිලද ඉතා කෙටි කලකින්ම ඉහළ ගියේය. බිත්තර, මාළු සහ කුකුළු මස් ඒ අතරින් මුල් තැනක් ගනී.
අද වන විට කොළඹ මැනිං වෙළෙඳපොළේ උඩරට එළවළු බොහොමයක මිල පහතරට එළවළු මිලට සාපේක්ෂව වැඩිවී ඇත. කැරට්, බෝංචි, ලීක්ස්, බීට්රෑට් වැනි උඩරට එළවළු කිලෝවක මිල රුපියල් එකසිය විස්සක් දෙසීය පනහක් අතර මිලකට අලෙවි වේ.
“මෙහෙම තමයි දෙන්න වෙන්නෙ... දැන් එළවළු කාලා හමාරයි. ඉස්සර එළවළු කිලෝ එක, දෙක ගන්න ආපු මිනිස්සු අපෙන් දැන් අරගෙන යන්නෙ ග්‍රෑම් පන්සීයක් වගේ තමයි. මොනව කරන්නද... අපිත් ජීවත් වෙන්න එපැයි... ඒ නිසා දැන් මේ ටිකක් සවුත්තු වුණු කැරට් එහෙම කපලා අපි ගොඩක් විකුණනවා. හොඳ කැරට්වලට වඩා දැන් මිනිස්සු මේ දවස් ටිකේ ඒ කැරට් ගොඩවල් තමයි අරගෙන යන්නෙ”
කොළඹ මැනිං වෙළෙඳසලේ එළවළු අලෙවිකරුවකු වන තිස්ස හේරත් දේශයට පැවසීය.
සැබැවින්ම තත්ත්වය වන්නේද එයයි. මැනිං වෙළෙඳසලේ බිම තැන තැන ගොඩගසා විකුණන ලද එළවළු ගොඩවල් රුපියල් හැටකට ගෙන යන්නට තරම් අද පාරිභෝගිකයන්ට සිදුවී ඇත. කොළඹ මැනිං වෙළෙඳසලෙහි මේ වන විට අමුමිරිස් කිලෝවක මිල රුපියල් හාරසීයකි.
“මම ඉන්නෙ කැලණියේ. ඒ ළඟ තියෙන ෆැක්ට්‍රියක ඉන්න ළමයි කිහිපදෙනෙක්ට අපි බත් පැකට් දෙනවා. මේ එළවළු මිලත් එක්ක මොන කෑමක්ද? අපි බත් පැකට් එක දෙන්නෙ රුපියල් එකසිය විස්සට. අද එළවළුවක් තියා මස් මාළුවත් කන්න බෑ. කෝච්චියෙ නැගලා මෙතනට ආවේ එළවළුවක් දෙකක් අරගෙන යන්න. ඒකත් අස්ස ගණන්. මඟටම කාලේ ගෙවෙනවා. අනේ මන්දා මේ විදිහට ගියොත් අපිට වෙන්නෙ හිඟාකන්න තමයි..”
මැනිං වෙළෙඳසලෙහි එළවළු තෝරමින් සිටි සේපාලිකා මුතුමැණිකේ එසේ අදහස් දැක්වූවාය.
කොළඹ මැනිං වෙළෙඳසලෙහි එළවළු මිල එලෙස පවතිද්දී සුපිරි වෙළෙඳසල්වල ඇති රාක්කවල මිල ඊටත් වඩා බොහෝ සුපිරිය. රාක්කවල හරි අපූරුවට දිස්නය දෙමින් තියෙන එළවළුවල මිල දර්ශකය යොදා ඇත්තේ ග්‍රෑම්වලිනි. ඒ අනුව ඒවායේ අමුමිරිස් ග්‍රෑම් සියයක මිල රුපියල් හැට පහකි. ඒ අනුව අමුමිරිස් කිලෝ එකක මිල රුපියල් හයසිය පනහකි. එළවළු මිලද එයටම සාපේක්ෂව ඉතා වැඩිය. කැරට්. බෝංචි. ලීක්ස් වැනි උඩරට එළවළු මිල කිලෝවක් රුපියල් තුන්සීයත් පන්සීයත් අතර මිලකට අලෙවි වේ. සුපිරි වෙළෙඳසල්වල මෙන්ම සාමාන්‍ය වෙළෙඳසල්වලද එළවළුවල මිල ඉතා වැඩිය. මේ නිසා මේ දිනවල බොහෝ පාරිභෝගිකයන් එළවළු මිලදී ගන්නේ ග්‍රෑම් ප්‍රමාණයෙනි.
“නුවරඑළිය නගර ප්‍රදේශවලට තවමත් කඩින්කඩ වැසි ඇතිවෙනවා. මේ නිසා තවමත් ගොවිතැනට සුදුසු වටපිටාවක් නැහැ. පසුගිය දිනවල වැසි නොවැටුණා. ඒ දවස්වල ගොවීන් තම වගාබිම්වල නැවතත් වගාකිරීමට ලෑස්ති වුණාම නැවතත් වර්ෂාවක් නුවරඑළියට ලැබුණා. ඒ නිසා මේ කාලගුණික තත්ත්වය නිසා නුවරඑළිය ප්‍රදේශයේ එළවළුවල මිල ඉහළ ගියා තමයි. ගොවීන් වගාබිම්වලට යෙදූ පොහොර වගාවන්ට උරානොගෙන සේදීයාමත් එයට බලපෑවා. මේ නිසා අස්වැන්නේ අඩුවීමක් නිසා එළවළු මිල ඉහළ ගියා. නමුත් මේ අතරේ අතරමැදියන්ද තමන්ට හිතුණ හිතුණ විදිහට මේ මිල වැඩිවීමෙන් ප්‍රයෝජන ගත්තා. අතරමැදියන් අලුතින් මිල මවාපෑමක් කළා. ඇත්තටම ගොවීන්ට වඩා එළවළුවල මිල තීරණය කරන්නෙ මේ අතරමැදියනුයි. ඔවුන් නිසා හිතපු නැති විදිහට එළවළුවල මිල වැඩිවුණා.” යැයි නුවරඑළිය ගොවි මහතකු වූ ඩී.එම්. ජයන්ත මහතා දේශයට පැවසීය.
මේ අනුව බැලූ කල මෙම උඩරට එළවළුවල මිල තීරණය වන්නේ අතරමැදියන්ගේ අවශ්‍යතාවයක් අනුවය. වැඩි ලාභයක් ගන්නේද අතරමැදියන්ය.
එළවළුවල මිල මෙලෙස ඉහළ යනවිට කුකුළු මස්වල මිලෙහිද ඉහළ යාමක් දක්නට ලැබුණි. මේ දිනවල කුකුළු මස් කිලෝවක මිල රුපියල් පන්සීයක් පන්සිය පනහක් අතර මුදලක් වශයෙන් සටහන් වේ.

එයට ප්‍රධාන හේතුවක් ලෙස පැවසෙන්නේ සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන බඩඉරිඟු එක් තැනැත්තකුට පමණක් පිටරටින් ආනයනය කිරීමට රජය අවසරය ලබාදීම හේතුවෙන් බවය. මෙරට නිෂ්පාදනය කරනු ලබන මෙම බඩඉරිඟු අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බවද සඳහන් වේ. ඊට අමතරව කුකුළන්ට ලබාදෙනු ලබන විටමින් වර්ග කිහිපයක මිල ඉහළ යාමක් සිදුව තිබේ. කුකුළු මස්වල මිල ඉහළ යනවිට මාළු මිලෙහිද වැඩිවීමක් දකින්නට ලැබිණි. මේ නිසා ඇතැමුන් සැමන් කෑමට යොමුවුවද ඇතැම් සැමන් ටින්වල පණුවන් ඇතිබවට සමාජය තුළ පවතින ආරංචිය හේතුවෙන් සැමන්වලට යොමුවන පිරිසෙහිද අඩුවක්පවතී.
එළවළු, මාළුවල ඇතිවී තිබෙන මිල ඉහළ යාමත්, සැමන්වල පණුවන් ඇතිබවට පවතින මතයත් හේතුවෙන් බොහෝ අය බිත්තර කෑමට හුරුවූහ. අද වන විට බිත්තරවලද මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ වන විට බිත්තරයක මිල රුපියල් දහඅටත් විසිදෙකත් අතර මිලකට ඉහළ ගොස් ඇත.
“මේ සති කිහිපය ඇතුළත බිත්තර මිලෙහි වැඩිවීමක් වෙලා තිබෙනවා. පහුගිය අවුරුදු එකහමාරක් තුළ ඉතා සීඝ්‍රයෙන් බිත්තර මිල පහළ යාමක් සිදුවුණා. ඒ ඇතැම් දිනවල බිත්තරයක් රුපියල් අටත් දහයත් අතර මිලකට පහළ බැස්සා. මේ නිසා ලංකාවේ හයදහසක් පමණ සිටින බිත්තර ගොවීන් අධික ලෙස රටේ ණය වුණා. ඇතැම් ගොවිපොළවල් වැහුණා. ඇතැම් ගොවිපොළවල සතුන් 50% - 60% කින් අඩුකළා. එහෙම කඩාවැටුණු මේ කර්මාන්තය 2018 මැයිවලින් පසුව තමයි මේ බිත්තර මිල ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් සිදුවුණේ.” යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.බී. අලහකෝන් මහතා දේශයට පැවසීය.
මෙලෙස බිත්තරවල මිල වැඩිවීමට හේතු කිහිපයක් බලපෑවේය. පසුගිය කාලයේදී ගොවිපොළවල් කිහිපයක් වසාදැමීමත් සතුන් ප්‍රමාණය අඩුකිරීමත් එම බිත්තර නිෂ්පාදනය අඩුවීමට හේතුවක් විය. ඇතැමුන් මුදල් නොමැතිකම නිසා ගුණාත්මක කෑමක් සතුන්ට ලබාදී නැත. කුකුළු මස්, මාළු, සැමන්, කරවල වැනි ආදේශක ආහාරවල මිල අධික ලෙස ඉහළ යාමද මෙම බිත්තර මිල වැඩිවීමට ප්‍රබල හේතුවක් විය.
මේ වන විට සත්ත්ව ආහාර මිලෙහිද ඉහළ යාමක් සිදුව තිබේ. රුපියල් හතළිස් දෙකත් හතළිස් පහත් අතර තිබූ බඩඉරිඟුවල මිල මේ වන විට රුපියල් හැටත් හැට පහත් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම ‘මාළු කුඩු’ වැනි කුකුළන්ට ලබාදෙන සත්ත්ව ආහාර බොහොමයක් 40%ත් 50%ත් අතර ප්‍රමාණයකින් හා සතුන්ට ලබාදෙන විටමින් වර්ගවල මිලද ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. සතුන්ට දෙනු ලබන එන්නත් මිල 20%කින් ඉහළ නැංවිණි.
මෙවැනි හේතුන් මත බිත්තරවලද මිල මෙම සති කිහිපය ඇතුළත ඉහළ ගියේය. කෙසේ වුවද මේ සියලු තත්ත්වයන් හමුවේ පීඩාවට පත්වන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවය.
►දිශානි ජයමාලි කරුණාරත්න