2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

චාර්ලිමන්ට් පාරේදී කුඩු ජාවාරමාට වෙඩි තබා ඇල්ලූ හැටි

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

“ගෝනපොළ කමල් කියලා හාදයෙක් ඉන්නවා.. මිනිහා හෙරොයින් විකුණන ගමන්ම ගණිකා ජාවාරමත් කරනවා. වැඩිපුරම ඉන්නේ කොළඹ අවටමයි. සුපිරි වාහනයකින් කියන ඕනම තැනකට කුඩු හරි ගණිකාවක් හරි ගෙනත් දෙනවා. යන එන විදිහට කාටවත් සැකයක් නෑ.. මිනිහගේ ෆෝන් නම්බර් එක මගේ ළඟ තියෙනවා.”

සුපිරි මෝටර් රථයකින් ගොස් හෙරොයින් මත් කුඩු ජාවාරම සිදුකරන අතරවාරයේ ගණිකාවන් අලෙවි කරන ජාවාරම්කරුවකු පිළිබඳ මේ තොරතුර පළපුරුදු දක්ෂ ඔත්තුකරුවකු විසින් කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන විමර්ශන ඒකකය වෙත ලබා දී තිබුණි. ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ විශ්වාසය ගොඩනැගෙන අයුරෙන් එම දුරකථනයට අමතා තමන්ගේ අවශ්‍යතාවය කී විටදී හෙරොයින් හෝ ගණිකාව වුවමනා ස්ථානයට ගෙනැවිත් මුදල් ලබාගෙන ගනුදෙනුව හමාර කරන බවය.

අවශ්‍ය තොරතුරු සවිස්තරව අසාගත් නිලධාරීහු ජාවාරම්කරු කොටුකර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට සූදානම් වූහ. ඒ සඳහා කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන විමර්ශන ඒකකය යුහුසුළු වෙමින් වැටලීමේ පළමු අදියරට උපාය දූතයෙක් වශයෙන් සිය නිලධාරියකු යොදවා ගන්නට පියවර ගත්තේය. උපාය දූතයාට නියම වූ පළමු කාර්යය වූයේ ජාවාරම්කරුට දුරකථන ඇමතුමක් ලබා දී හෙරොයින් පැකට් කීපයක් ඇණවුම් කොට එය කොළඹ නගරයේ යම් ස්ථානයකට ගෙන්වා ගැනීමය.

ඒ අනුව ක්‍රියාත්මක වූ උපාය දූතයා හෙරොයින් ජාවාරම්කරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන කියා තිබුණේ තමුන් රාත්‍රියට වැල්ලවත්ත ප්‍රදේශයේ සමාජ ශාලාවකට යන බවත් ඒ යන අතරමගදී ඔහු හමු වී හෙරොයින් මිලට ගන්නා බවත් එබැවින් නොවරදවාම තමුන්ට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙන ලෙසය. ඔහු හඳුනාගැනීමේ පහසුව සඳහා තමා පැමිණෙන මෝටර් රථයේ වර්ගය ඔහුගෙන් අසා ගන්නට ද පියවර ගත්තේය. මේ කතාබහ දෙපාර්ශවය අතර සිදුවී තිබුණේ පසුගිය 31 වැනිදා සවස් යාමයේදීය.

ගනුදෙනුවට වෙලාව තීරණය කොට තිබුණේ ද එදිනට රාත්‍රී කාලයයි. ඒ සඳහා වැල්ලවත්ත ප්‍රදේශයේ ස්ථානයක් තෝරාගෙන තිබුණේ උපාය දූතයා එම ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටින බව පවසමිනි. මේ ආකාරයට ඉකුත් අඟහරුවාදා රාත්‍රිය එළැඹෙද්දී කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන විමර්ශන ඒකකයේ නිලධාරීහු සැලසුම් කරගත් පරිදි වැටලීමට සූදානමින් පසු වූහ. එම නිලධාරීන් අතර වූ උපාය දූතයා තවත් සිවිල් ඇඳුමෙන් සැරසුණු අයකු සමඟ ත්‍රීරෝද රථයක නැගී ආවේය. ත්‍රීරෝද රථය පෙනෙන මානයේ ඈතින් ධාවනය වෙමින් තිබුණේ සෙසු නිලධාරීන් පිරිස රැගත් ජීප් රථයයි.

හෙරොයින් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් හසුවන බවට තොරතුරු ලැබී එම ගැනුම්කරුට හෙරොයින් පැකට් කිහිපයක් අලෙවි කරන්නට සිතමින් පැමිණෙන ජාවාරම්කරු ගැනුම්කරුට අතරමගදී ඇමතුමක් දෙකක් ලබා දී තිබුණේ තවදුරටත් විශ්වාසය තහවුරු කර ගැනීමටය. මෙහිදී උපාය දූතයා ලෙස හැසිරෙමින් සිටි නිලධාරියා පවසා තිබුණේ තමා හෝටලයක උඩු මහලක සිටින බවත් ඉක්මනින් මාර්ගයට පැමිණිය හැකි බවත්ය. ඒ අනුව වැල්ලවත්ත චාර්ලිමන්ට් පාරේ පිහිටි හෝටලයක් අසලට පැමිණෙන ලෙසට දැනුම් දෙනු ලැබීය.

ඊට එකඟ වූ ජාවාරම්කරු තමා පැමිණි මෝටර් රථය අදාළ හෝටලය පිහිටි පටු මාවත දිගේ පැමිණ හෝටලය ඉදිරිපිට නැවැත්වීම සඳහා පසුපසට ධාවනය කර තිබේ.

රාත්‍රී 11. 40ට ආසන්න වෙලාවකදී මෙම ජාවාරම්කරුගේ මෝටර් රථය පැමිණෙන විටත් සූදානමින් සිටි කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන විමර්ශන ඒකකයේ නිලධාරීහු ඒ ආසන්නයේ රැඳී සිටියහ. ජාවාරම්කරුගේ මෝටර් රිය පසුපසට ගන්නා අවස්ථාවේදීම එක් පසෙකින් පැමිණි ත්‍රිරෝද රථයකි. අනෙක් පසින් පැමිණෙමින් තිබුණේ පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් ජීප් රථයකි. ඒ වන විටත් ත්‍රිරෝද රථයේ පැමිණි පොලිස් නිලධාරියෙක් මෝටර් රථය ඉදිරිපිට බිමට බැස සිටියේය. මොහොතක් යන්නට මත්තෙන් තමන් වටලමින් පොලීසිය ක්‍රියාත්මක වන බව ජාවාරම්කරුට දැනුණි. එසැණින් මෝටර් රථයෙන් පලා යන්නට උත්සාහ ගත් ඔහු මෝටර් රථය වේගයෙන් ධාවනය කරන්නට වූයේ පසෙක නවත්වා තිබූ ත්‍රිරෝද රථය ද හප්පා අනතුරට ලක් කරමිනි. ඒත් සමඟම බිමට බැස සිටි පොලිස් නිලධාරියා හප්පාගෙන යන්නට යද්දී ක්‍රියාත්මක වූ ජීප් රථයේ සිටි නිලධාරියෙක් සිය ගිනි අවිය ක්‍රියාත්මක කළේ පලා යන මෝටර් රථයේ ගමන අඩාල කර අනතුරට ලක් වූ නිලධාරියා බේරාගැනීමටය. ඒත් සමඟම සිය ගිනි අවියෙන් පිටවූ උණ්ඩයක් මෝටර් රථයේ පසුපසින් ගොස් රියදුරු අසුනට වම්පස අසුනේ සිටි පුද්ගලයාගේ ඇඟේ වැදී ඔහු තුවාල වනවාත් සමඟම රියදුරාට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් රථය අසල වූ තාප්පයක ගැටී නතර විය.

වෙඩි ප්‍රහාරයෙන් ජාවාරම්කරු තුවාල ලබා සිටි අතර රථයේ ගැටීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියාත් රෝහල්ගත කරන්නට සෙසු නිලධාරීහු ඉක්මන් වූහ.

මේ අතර එම මෝටර් රථයේ රියදුරුට අමතරව පසු අසුනේ කාන්තාවන් දෙදෙනකු ද සිට ඇත. ඔවුන් ගණිකාවන් වශයෙන් අලෙවි කිරීමට කැටුව පැමිණි බවට වාර්තා වී තිබුණි.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී කොන්ද ප්‍රදේශයට තුවාල සිදු වී පොලිස් ආරක්ෂාව යටතේ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන හෙට්ටිආරච්චිගේ කමල් අබේරත්න (39) නැමැත්තෙකි. ඔහුට එරෙහිව පොලිස්ථාන කිහිපයකින් හෙරොයින් ජාවාරමට සම්බන්ධ නඩු පවරා තිබෙන බව පොලීසිය සඳහන් කරයි. මෝටර් රථයේ ගැටීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ද තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ජාවාරම්කරුගේ මෝටර් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කැලණිය දළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගණිකා ජාවාරමේ යෙදවීමට රැගෙන ආ කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති පොලීසිය ඔවුන් මුදාහැර ප්‍රධාන ජාවාරම්කරු සහ රියදුරු අධිකරණයට ඉදිරිපත් කරන්නට පියවර ගෙන ඇත. ඔහුට එරෙහිව ගණිකාවන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද නඩුවක් විභාග වෙමින් පවතී.

ප්‍රධාන ජාවාරම්කරු ගෝනපොළ, ඔලබොඩුව, තරුණ සේවා පාරේ පදංචිකරුවෙකි. ඔහු ජුනි මාසයේදී හෙරොයින් සහ ගණිකා ජාවාරම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අතර ඊට ඉහතදී බම්බලපිටිය පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම චෝදනාවට එරෙහිවය.

මෙම සැකකරු ජාවාරම සිදු කිරීම සඳහා වාහන කුලියට ලබාදෙන ආයතන වෙතින් මෝටර් රථ ලබාගෙන ඇති බවටත් මෙදින පැමිණි ටොයොටා ඇක්වා රථයත් එවැනි කුලී ආයතනයකින් ලබාගත් එකක් බවටත් අනාවරණය වී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ අධීක්ෂණයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරැන් වන ලක්මාල්, සිරිපාල, පොලිස් සැරයන් සිසිර (2725), කොස්තාපල්වරුන් වන අසිල (89803), චාමර (40785), රැවන් (50666) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර