2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

1. යහපාලනය ගේන්න මූලික වුණු චරිතයක් වන රතන හාමුදුරුවෝ අද කියනවා ජනාධිපති උපදේශක කියලා කියන්න ලැජ්ජයි කියලා. ඇයි මෙහෙම වෙන්නේ?
2. කාර් නැති අයට කාර් අරගන්න පුළුවන් විදිහට ආර්ථිකය හදනවා කියපු ආණ්ඩුවට මෙතෙක් කල් සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න තිබුණු පුංචි කාර් මිල ලක්ෂ ගණනකින් වැඩි කරනවා. ඇයි මෙහෙම කරන්නේ?
3. දුම්රිය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය මත කැබිනෙට්ටුවේ ඇමතිවරු තිදෙනෙක් අතර ඇති වූ වචන හුවමාරුවේදී මුදල් ඇමතිවරයා කියනවා මේ තරම් පිට කොන්දක් නැති කැබිනට් එකක් මම දැකලා නැහැ කියලා. මෙතනින් කවුද හරි? ඇමැතිවරයාද? ආණ්ඩුවද?
4. විපක්ෂ නායක පදවිය ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලා ලිපියක් කතානායකවරයාට බාර දීලා තියෙනවා. මේකේ තීන්දුව ලබන 07 වැනිදාට ලැබෙනවා. ඇත්තටම ඒකාබද්ධයට විපක්ෂ නායකකම හිමිවිය යුතුද?

ඒකාබද්ධ විපක්ෂය කරන්නේ සංදර්ශනයක්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

1. මම හිතන්නේ අපි සංසන්දනය කරන කොට සමස්තයක් ලෙසට ඒක එක කාරණාවක් දිහා බලලා ඒක සංසන්දනය කරන එක වැරදියි. ඉතිං රතන ස්වාමීන් වහන්සේගේ ප්‍රතිපත්තිමය තීරණයක් නිසා ඒ කලකිරීම ඇතිවෙලා තියෙන්නේ. නමුත් මම හිතන්නේ රතන ස්වාමීන් වහන්සේ ඇතුළු අපි හැමෝම පසුගිය රජය එක්ක සංසන්දනය කරලා නිගමනයකට එන්න ඕන.

2. අපි කාර් සඳහා ලබාදෙන්න අවශ්‍ය සහන ලබාදීලා තියෙනවා. නමුත් සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම රථවාහන තදබදය හේතු කොට ආණ්ඩුවක් හැටියට තීන්දු තීරණ ගන්න වෙනවා. නමුත් අපිට රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න එය ඕන. ඒ නිසා මෙවැනි බදු ඉහළට දාලා ආර්ථිකය ශක්තිමත් කරන්න වගේම අදාළ අවස්ථාවල ඒ බදු ඉවත් කරලා ජනතාවට සහන දෙන්නත් අපි කටයුතු කරනවා.

3. එහෙම දෙයක් ඇමැතිතුමා කිව්වද නැද්ද කියන එක කියන්න බැහැ. මෙතනදී තියෙන්නේ මේ කැබිනට් මණ්ඩයේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. රටේ යම් හිතකර වගේම අහිතකර සියලුම කටයුතු කිරීමේදී, කතාබහ කරන්න විවේචනය කරන්න පුළුවන් තත්ත්වයක්. ගිය ආණ්ඩුවේ අපි එහෙම දැක්කේ නැහැ. අද ඒ අවස්ථාව තියනවා. ඒක වැරදි දෙයක් ලෙස දකින්න හොඳ නෑ.

4. ඇත්තටම ඒකාබද්ද විපක්ෂය පොඩි සංදර්ශනයක් කරන්නේ. මෙතන කිසිසේත්ම ඒ අයට විපක්ෂ නායක ධූරය ලැබෙන්න නෑ. මොකද රටේ තියනවා සම්ප්‍රදායක්. රටේ පාර්ලිමේන්තුවට ඇතුළත් වුණේ පක්ෂ හයකින්. විපක්ෂ හයෙන් කොටසක් තමයි මේ අය. වෙනම ඒකාබද්ධ විපක්ෂය ලෙස මේ අය ඡන්දය ඉල්ලුවේ නැහැ. මොවුන් මහමැතිවරණයට ඉදිරිපත් වුණෙත් සන්ධානය යටතේ. ඒ‍කෙන් තේරී පත්වුණ පක්ෂ අතරින් තමයි විපක්ෂ නායක ධූරය තෝරා පත්කර ගන්නේ. එහෙම නැතුව වෙන ක්‍රමවේදයක් නැහැ.

ආණ්ඩුවට ඉතුරුවෙලා තියෙන්නේ මළ - බද්ද විතරයි
ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත

1. ඇත්තටම රතන හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායම වෙනසක් බලාපොරොත්තුවෙන් තමයි ඡන්දය දුන්නේ. නමුත් ඒ අය වෙනස බලාපොරොත්තු වුණේ වැරදි විදිහට. ඇත්තටම මේ පිරිස දෙස්විදෙස් කුමන්ත්‍රණකරුවන්ගේ උගුලට අහුවුණා. ඉතිං අද වෙනකොට මම හිතන්නේ රතන හාමුදුරුවෝ බලාපොරොත්තු වුණු දේවල් කෙසේ වෙතත් අද උන්වහන්සේ දැවැන්ත කලකිරීමක ඉන්න බව පේනවා. ඒ නිසා අපි දකින්නේ ජනාධිපති උපදේශක යන තනතුරේ නාමමාත්‍රිකව ඉන්නවාට වඩා ඔවැනි තීන්දුවක් ගැනීම උන්වහන්සේට යම් ජනකොටසක් විශ්වාසය තිබ්බනම් ඒක රැකගන්න උත්සාහ කරපු වෑයමක් විතරයි.

2. මේ රටේ කොල්ලයකට සම්බන්ධ වූ නායකයෝ රට දැවැන්ත අර්බුදයකට ඇදලා දාලා තියෙන්නේ. අර්බුදය බේරගන්න ලිහාගන්න බැරි මට්ටමක ඉන්න නිසා අද වෙනකෙට රටේ ජනතාවට අසීමිත ලෙස බදු ගහන්න පටන් අරගෙන තියෙනවා. මේ වෙනකොට ජනතාවට සියලු බදු ගහලා ඉවරයි. මේ ආණ්ඩුවට තව ගහන්න තියෙන්නේ මළබද්ද විතරයි.

3. ඇමැතිවරයා කියපු දේ හරි. මොකද පැහැදිලිවම ඇමැතිවරයාම තේරුම් අරගෙන ඉන්නවා කැබිනට් එකේ තත්ත්වය. ගන්න තීන්දු තීරණ පැය ගණනකින් දවස් ගණනාවක් ඇතුළත වෙනස් කරන මේ ආණ්ඩුව ගැන අනිත් අයත් කළකිරිලා ඉන්න බවත් අපි දන්නවා. හැබැයි දැන් ආණ්ඩුව ගෙන ඇවිත් අද වෙනකම් ඉන්න අයට කොන්දක් නැහැ කියන එක තමයි මගේ අදහස.

4. පැහැදිලි ලෙසම හිමිවිය යුතුයි. මොකද අද වෙනකොට ඒකාබද්ධ විපක්ෂය එක්ක තමයි හැමෝම රජයට විරුද්ධ අය ඉන්නේ. දැන් අපිට 70කට ආසන්න සංඛ්‍යාවක් ඉන්න නිසා අපිට විපක්ෂ නායකකම ලැබිය යුතුමයි. ඉතිං ඒක ලබාදීමට කටයුතු කරන්නේ කතානායකවරයා. ඒ නිසා මේ තත්ත්වය අපිට හෙට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා අපි දිගින් දිගටම අපේ අරගලය ගෙන යනවා.

මෙහෙම කොන්ද පණ නැති ආණ්ඩුවක් ලෝකෙ කොහේවත් නෑ
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

1. රතන ස්වාමීන් වහන්සේ සමීපතවම ඇසුරු කරපු පුද්ගලයෙක් විදිහට මම දකිනවා උන්වහන්සේ බොහොම සංවේදී චරිතයක්. පසුගිය රජය පෙරළීමට වෙඩි මුරය තිබ්බේ උන්වහන්සේ. හැබැයි ආණ්ඩුව පෙරළුනාට පසු තවම කවරදාවත් අන් අයගෙන් පළි ගන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට කළේ උන්වහන්සේලාගේ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යන්න උත්සාහ කළා. නමුත් මේ ආණ්ඩුවෙන් ඒ දේ කරගන්න බැරි බව උන්වහන්සේ තේරුම්ගත්තා. උන්වහන්සේ හරි තැනට පැමිණීම ගැන අපි සතුටු වෙනවා.

2. මිනිස්සු දැන් කල්පනා කරන්නේ කාර් ගන්නේ කොහොමද කියලා නෙවෙයි. බස් එකේ යන්න ගාන හොයාගන්නේ කොහොමද කියලා. අද බස් තියන් පයින් යන්න ජනතාවට සිද්ධ වෙලා තියනවා. මේ ආණ්ඩුව පුංචි කාර් පිළිබඳ සිහින ගෙන්නුවේ ඡන්ද එකතු කරන්න විතරයි. පසුගිය වසර තුනට හතර වතාවක් මේ අය පුංචි කාර්වල මිල වැඩි කරලා තියෙනවා.

3. මුදල් ඇමැවරයාගේ ප්‍රකාශයට මමත් එකඟයි. මේ ආණ්ඩුවට කිසිම පිට කොන්දක් නැහැ. ඒ නිසා තමයි පාතාලය නැගිටිද්දි නිවටයෝ බලාගෙන ඉන්නේ. බෙදුම්වාදී අදහස් පවසන අයට නීතිය ක්‍රියාත්මක කරගන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙන්නේ. මේ නිසා මෙවන් කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ රටේ විතරක් නෙවෙයි ලෝකේ කොහේවත් නෑ.

4. අනිවාර්යයෙන්ම ඔව්. මේ ලෝක ඉතිහාසයේ අයවැයට සංශෝධන ඉදිරිපත් නොකර අයවැයට පක්ෂ වුණු එකම විපක්ෂ නායකයා සිටින්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ. මේ වනවිට පසුගිය අයවැය තුනටම කොන්දේසි විරහිතව සහය දක්වලා තියෙනවා වත්මන් විපක්ෂ නායකයා. විපක්ෂයේ කාර්යභාරය වන්නේ ආණ්ඩුවෙන් වෙන අඩුපාඩු පෙන්වාදීම. නමුත් මේ විපක්ෂ නායකවරයා කරන්නේ හැමදාමත් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම.

රතන හාමුදුරුවෝ දේශපාලන අවස්ථාවාදියෙක්
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

1. රතන හාමුදුරුවෝ දේශපාලන වශයෙන් ගත්තොත් අවස්ථාවාදියෙක්. උන්වහන්සේගේ දේශපාලනය ගැන මම කියන්නේ. දැන් පහුගිය කාලයේ දුර්දාන්ත පාලනයක් තිබුණු කාලයෙත් උන්වහන්සේ ඒ ආණ්ඩුවේ සමීපතමයෙක්. මේ ආණ්ඩුවේත් උන්වහන්සේ ජනාධිපති උපදේශක තනතුරක හිටියා. දැන් ඉතිං මේ ජනාධිපතිවරයාගේ නැව ගිලෙන්න යන්නේ. ඒක නිසා මේකේ ඉන්න ලැජ්ජයි කියලා ඒකෙන් පනිනවා.

2. ආණ්ඩුවට ස්ථිර බදු ප්‍රතිපත්තියක් කියලා එකක් නැහැනේ. ආණ්ඩුව තමන්ගේ ආදායම හීන වෙනකොට මොනවහරි වැඩසටහන්වලට කොහොමහරි අතට අහුවෙන එකක් වැඩි කරනවා. නැත්නම් අඩු කරනවා. එහෙමනේ ආණ්ඩුව යන්නේ. අපිටනම් ඇත්තටම දකින්න තියෙන්නේ ආණ්ඩුව කරන දේවල්වලින් වැඩි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ආණ්ඩුව උදේට එකක් කරනවා, දවල්ට තව එකක් කරනවා. ඒ වගේ සැලැස්මක්.

3. මුදල් ඇමැතිවරයත් ආණ්ඩුවේ කොටසක්. ඒ නිසා ආණ්ඩුව කියලා කියන්නේ එතුමා නැති එකක් නෙවෙයි. පොදුවේ ගත්තොත් අපි දකින දේ තමයි පසුගිය කාලයේ එතුමා මිල සූත්‍ර ගැන කතා කළා. එහෙනම් එතුමා ජීවන දර්ශකය ගැන කතා කරන්නත් ඕන. නමුත් එහෙම වුණේ නැහැ. ඉතිං මුදල් ඇමැතිවරයා මිනිසුන්ගේ වැටුප වැඩි කරනකොට මිනිසුන්ගේ කොඳු ගැන කතා කරනවා. මිනිසුන්ට ගන්න ඕන අත්‍යවශ්‍යම දේවල් වැඩි කරනකොට ඒ ගැන කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා මට ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයාගෙයි අනිත් ඇමැතිවරුන්ගෙයි වෙනසක් නැහැ.

4. නැහැ. මොකද මේකේ තියනවා නීතිමය ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවේ 19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුව තුළ තිබෙන්නේ නීත්‍යානුකූල පක්ෂ 06යි. ඒක වෙනස් කරන්න බැහැ. ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව එතකොට සන්ධානය තිබෙන්නේ ඒ පක්ෂ හයෙන් එකක් විදිහට ඒ පක්ෂ හය දැන් ඉන්නේ ආණ්ඩුව එක්ක. ඒකෙන් යම් මන්ත්‍රීවරු කණ්ඩායමක් කැඩිලා ගිහින් එහෙම කරන්න බැහැ.

ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහන ගැන කවුරුත් කතා නොකරන්නෙ ඇයි?
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් ඉෂාක් රහුමාන්

1. ඒක උන්වහන්සේගේ දේශපාලන තීරණයක්. ඒ ගැන අපිට මොනවත් කියන්න බැහැ.

2. වාහන මිල වැඩි කිරීම ගැන විතරයි හැමෝම කතා කරන්නේ. වාහන මිල අඩු වුණාම කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. මේ වත්මන් යහපාලන ආණ්ඩුව ජනතාවට සහන ලබා දෙනවා. නමුත් රටේ ජනතාවත් මිල ඉහළ යෑමක් සිදුවුණාම විතරයි දෝෂාරෝපණය කරන්නේ. ඕනෑම දේක මිල අඩු වුණාම මොනවත් කතාවක් නැහැ.

3. එතුමත් ඉන්නේ ආණ්ඩුවේ. මෙහෙමයි මේ යහපාලන රජය තුළ ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙක්ට විවේචනය කිරීමේ අයිතියක් තියනවා. එතුමා මොන කාරණයක් පදනම් කරගෙන එහෙම කිව්වද දන්නේ නැහැ. කොන්ද කෙලින් තියන් වැඩ කරන එක තමයි මේ ඇමැතිවරුන්ගේ වගකීම වෙන්නේ.

4. ඇත්තටම නැහැ. අනිත් කාරණය ව්‍යවස්ථාවට පිටින් එහෙම කරන්නත් බැහැ. ඒක සැබෑ නොවන සිහිනයක්.

මේ පාලනය යටතේ ඕනෑම දෙයක් විවේචනය කරන්න පුළුවන්
කම්කරු ජාතික පෙරමුණේ මහ ලේකම් (නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී) මයිල්වාගනම් තිලකරාජා

1. උන්වහන්සේ කොහොමත් ආණ්ඩුවට විරුද්ධව යම් යම් අවස්ථාවල මත ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා. ඒ නිසා මේකත් එච්චර ලොකු තත්ත්වයක් නෙවෙයි.

2. ඇත්තටම මේ රටේ පොඩි කාර්වල මිල ඉහළ දානවට වඩා කරන්න ඕන මේ ලීසිං කම්පැනි ගාණ අඩු කරන්න. ලීස්වලට තමයි වැඩිපුර මුදලක් යන්නේ. මේකට විසඳුම තමයි පොදු ප්‍රවාහන ක්‍රමයක් ඇතිකිරීම. එහෙම වුණාම ජනතාවට මොන වාහන ගණන් ගියත් ප්‍රශ්නයක් නැහැ.

3. මේක යහපාලන ආණ්ඩුව එකතු වෙලා කරන ආණ්ඩුවක්. ඒ නිසා එවැනි අවස්ථාවල යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි ඕනම දෙයක් විවේචනය කිරීමේ අයිතියක් තිබෙන නිසා එහෙම ලොකු ප්‍රශ්නවලට මුල පිරීමක් වෙන්නේ නැහැ.

4. පාර්ලිමේන්තු නීති රීති අනුව එයාලට එන්න බැහැ. ඒ නිසා ඒ ගැන වැඩි යමක් කියන්න බැහැ.

►හසිත් අංජන