මෙවර පැවැත්වෙන ප්‍රමුඛතම තරග විභාග දෙකක් වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මේ සටහන කියවන මොහොත වන විටත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. 5 ශිෂ්‍යත්ව විභාගය අද දින (05 ඉරිදා) පැවැත්වෙන්නේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050කදීය. ඒ සඳහා මුළු අයදුම්කරුවන් තුන් ලක්ෂ පනස් පන්දාස් තුන්සිය විසි හයදෙනෙක් (355,326) පෙනී සිටීමට නියමිතය. ශිෂ්‍යත්ව විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් ද රට පුරා ස්ථාපිත කර තිබේ.
අගෝස්තු 06 වැනි සඳුදා දින (හෙට) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ද ආරම්භ වීමට නියමිතය. සැප්තැම්බර් 01 දින දක්වා විභාග කටයුතු පැවැත්වෙනු ඇත. අයදුම්කරුවන් තුන්ලක්ෂ විසි එක්දහස් හාරසිය හැට නවදෙනෙක් (321,469) මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය. ඒ අනුව විභාග මධ්‍යස්ථාන 2268කදී විභාග පවත්වනු ලබන අතර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311ක් පිහිටුවා තිබේ.
විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත මහතා විසින් අද පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව දරැවන් සහ දෙමාපියන් වෙනුවෙන් උපදෙස් මාලාවක් සහිත මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විභාගයට ඉදිරිපත් වන දරුවන්ට ප්‍රශ්න පත්‍ර සඳහා ලැබෙන කාලය පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත්ය. I පත්‍රය සඳහා පෙ.ව 9.30 සිට පෙ.ව 10.15 දක්වා විනාඩි 45ක කාලයක් ද II පත්‍රය සඳහා පෙ.ව 10.45 සිට 12 දක්වා පැය 01 කුත් විනාඩි 15ක කාලයක් ද පිළිතුරු සැපයීම සඳහා ලැබේ. විභාග අපේක්ෂකයන් පෙ.ව 9.00 වන විට විභාග ශාලාවල අසුන්ගත යුතු අතර තමාට අදාළ විභාග අංකය ඇඳුමේ වම්පස පැළඳ සිටිය යුතු බවද සඳහන් වේ. දෙමාපියන් දරුවන්ට කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම වැදගත් වන අතර දෙමාපියන් විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළු නොවිය යුතුය. විවේක කාලයේ ද දෙමාපියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ඇතුළු විය නොහැකි වන බැවින් දරුවන්ට කෙටි ආහාර වේලක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට ලබාදීම වැදගත් වනු ඇත.
ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගයට දරුවන් සූදානම් විය යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික විදුහල්පතිවරයෙක් වන අධ්‍යාපන මනෝ විද්‍යා උපදේශක ධර්මදාස ගලබඩ මහතාගෙන් අපි විමසීමක් කළෙමු. ඒ මහතාට අනුව විභාග ආසන්න වන විට අමතර පන්ති මෙන්ම පොතපතින් ද අමතර දැනුම සොයා වෙහෙසවීම සුදුසු නොවේ. මෙතෙක් ලබා ඇති දැනුම ආවර්ජනය කරමින් කෙටි සටහන් භාවිතා කරමින් සැහැල්ලුවෙන් පාඩම් කටයුතු කිරීම වැදගත් වෙයි. විභාග සඳහා කාලයට අනුරූපව නිවසේදී ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් පෙරහුරුවක් ලබා ගැනීම වැදගත් වන බව ඒ මහතා පවසයි. කිසිදු හේතුවක් මත කලබලයක් ඇති නොකරගත යුතු බව දක්වන ඒ මහතා විභාග කාල සීමාවේදී මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම සඳහා පුහුණු කළ හැකි උපක්‍රම කිහිපයක් පවසයි.
“ළමයින්ට මානසික ඒකාග්‍රතාව ඇතිකර ගැනීමට බැරිවන අවස්ථාවල කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. පාඩම් මේසෙට ගියාම පාඩම් මේසේ ඉතාම පිරිසිදුව තියෙන්න ඕනෑ. කෙටි සටහන් හා දැනට පාඩම් කරන සටහන් වෙන වෙනම තියන්න අවශ්‍යයි. වටපිටාවත් පිරිසිදුව තිබීම වැදගත්. මානසික ඒකාග්‍රතාවය නැතිවෙන කොට හිත එකඟ කරගන්න දරුවන්ට පොඩි උපක්‍රම කිහිපයක් තියෙනවා. හුස්ම පාලනය කරලා හිත එකඟ කරගැනීම එක ක්‍රමයක්. මෙහිදී හුස්ම ගැනීමේදී උදරයේ පිම්බීමට සහ හුස්ම හෙළීමේදී උදරයේ හැකිලීමට අවධානය යොමු කර හුස්ම පිළිබඳ මෙනෙහි කිරීම තුළින් යම් කිසි චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිවෙනවා. ඊළඟට එකේ සිට සීයට ඉලක්කම් ඉලක්කමේ හැඩය සහිතව මෙනෙහි කරමින් ගණන් කිරීම හා නැවත සියයේ සිට පහළට එලෙසින්ම ගණන් කිරීම හරහා චිත්ත ඒකාග්‍රතාවය ඇතිවෙනවා. එය තුන්වතාවක් කරන්න පුළුවන්. අවශ්‍යතාවය මත එකේ සිට දහය දක්වාත් ඉහළට පහළට මෙම ක්‍රම භාවිතා කළ හැකියි.”
විභාගය ආසන්න වන විට ලිවීමට හුරු වූ පෑන්, පැන්සල් භාවිතයට හුරු විය යුතුයි. අලුත් පෑන්, පැන්සල් භාවිත කිරීමට යාමෙන් විවිධ ගැටලු මතුවීමේ හැකියාවක් පවතී. විභාග දිනවලදී අලුත් ඇඳුම්, අලුත් සපත්තු භාවිතය සිදු නොකළ යුතු අතර ඇතැම් අවස්ථාවල නුහුරු බව නිසාවෙන් විභාගයට මුහුණ දෙනවිට මෙවන් දෑ භාවිතයෙන් ගැටලු මතුවිය හැකිය. එමෙන්ම විභාග මධ්‍යස්ථානවලට කල් ඇතිව පිවිසීමත් ඉතා වැදගත්ය.
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවෝ විභාග දෙපාර්තමේන්තුවේ උපදෙස් සහ නියෝගයන් පිළිපැදීමට බැඳී සිටිති. විභාග ප්‍රවේශ පත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන යාම අනිවාර්ය වන අතර ස්මාට් අත් ඔරලෝසු, ජංගම දුරකථන හා විද්‍යුත් උපකරණ භාවිතයෙන් සිදු කෙරෙන විභාග වංචා පිළිබඳව දැඩි අවධානය මෙවර යොමු කර තිබේ. විභාගය පවත්වන අවස්ථාවල විභාග මධ්‍යස්ථාන තුළට අදාළ පාසැලේ ගුරුවරුන් ඇතුළුව අවසර නොලත් කිසිවකුට ඇතුළු විය නොහැකි අතර විභාගයට බාධා වන ලෙස කිසිදු කටයුත්තක් සිදු නොවීමට විභාග මධ්‍යස්ථාන සඳහා ආරක්ෂාව ද සපයා තිබේ.
උසස් පෙළ විභාගය දීර්ඝ කාලයක් පුරා පැවැත්වෙන නිසාවෙන් එම කාලය තුළදී විභාගයට පෙනී සිටින දරුවන් සිදු කළ යුතු දෑ පිළිබඳවත් අධ්‍යාපනඥ ධර්මදාස ගලබඩ මහතාගෙන් විමසුවෙමු. ඒ මහතාට අනුව මෙම කාල සීමාවේදී හොඳ නින්දක් ලබා ගැනීම ඉතා වැදගත්ය. එමෙන්ම පිරිසිදු බව පවත්වා ගැනීම ද ඉතා වැදගත් වෙයි. විවේකීව කෙටි සටහන් මගින් පාඩම් කටයුතු කිරීම වඩාත් ඵලදායී වෙයි. එමෙන්ම දෙමාපියන් විසින් ද දරුවන්ට පීඩනයක් වන පරිදි කටයුතු කිරීම හා උපදෙස් ලබාදීම, දෝෂාරෝපණ සිදුකිරීම නොකළ යුතු වේ. ලබාදිය යුතු උපදෙස් සුහදව ලබාදිය යුතුය. එමෙන්ම හුරුපුරුදුව සිටින ආගමික වතාවත් සිදුකිරීමේ ගැටලුවක් නැත. පිරිත් නූලක් බැඳීම ආදිය ගැටලුවක් නොවන අතර දැඩි ලෙස විවිධ විශ්වාසයන් හා ඇදහිලි මත පිහිටා කටයුතු කරන්නට යාම සුදුසු නොවේ. විශේෂයෙන්ම විභාග කාල සීමාවේදී කලහකාරී සිදුවීම්වලට මැදිහත් නොවීමටත් එවන් සිතුවිලි ඇතිකර නොගැනීමට වගබලා ගැනීමත් යහපත්ය. ආහාරපාන සම්බන්ධයෙන් ද නිසි අවධානයක් ලබාදීම හා සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත්ය.
අවසාන වශයෙන් ගෙවෙන විභාග සමයේ රටේ වැඩිහිටි සියලු දෙනා ද විභාග අපේක්ෂක දරුවන් පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම හා ඔවුනට බාධාවක් වන ලෙස කටයුතු නොකිරීමටත් වගබලා ගත යුතු බව සටහන් කර තබමු.
♦ චමිඳු නිසල් ද සිල්වා