2018 ජුලි 28 වන සෙනසුරාදා

නිධන් ගරන කැප්ටන් කෙනෙක්

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 516

“මෙන්න මේ නයා බලන්න” ඔහු දුරකථනයේ කැමරාවෙන් ගත් ඡායාරෑපයක් පෙන්වමින් කියයි. කළු ගලක කොටන ලද පෙන හතක් සහිත නයෙකි. එක් තැනකින් ගොදුරක් ගිලූ කළ මෙන් මහතය.

“මේ තියෙන්නේ ඇතෙක් බරට බඩු තියෙන තැනක්” ඔහු කීවේය.

“ඒ කියන්නේ මේ ගල ඇතුළේ රත්තරන්, මැණික් තියෙනවා” මම ඇසුවෙමි.

“දැක්කද වැඩේ දන්නේ නැති ඕනෙම එකෙක් ඕක තමයි කරන්නේ. ගිහින් මේ ගල් කුඩු කරනවා. අපරාදේ කිසිම දෙයක් නෑ. අන්තිමට හිස් අතින් එනවා” ඔහු හිනාවෙමින් කීය.

“දැන් එතකොට බඩු තියෙනවා කිව්වේ”

ඔහු සිය දුරකථනයෙන් “ගූගල් මැප්” ගෙන මට ස්ථානයක් පෙන්වීය. 3D සිතියමක් නිසා එය ඝනව කැළෑව වැවුණු ස්ථානයකි. සැබැවින්ම එය කන්දකි.

“මේ පේනවද? මෙතන තමයි ඔය ගල තියෙන්නේ. ඔතන දේවාලයක්. ඒත් ඔතන නෙමෙයි නිදානේ තියෙන්නේ” ඔහු කීය.

“එසේ නම් කොතනදැයි” මම ඇසීය.

ඔහු ඒ අතරවාරයේ නයාගේ ශරීරය නැවී ඇති වංගු ගණන ගණන් කරන ලෙස කීවේය. හරියටම ස්ථාන හතරකින් නැවී ඇත. ගොදුරක් ගිලූ කල මෙන් ඇති කොටස දෙවැනි නැවුම හරියේ පිහිටා තිබිණි.

“හරි එහෙනම් මේ බලන්න. ඔහු සිතියම කුඩා කර මට එම දේවාලයට යන පාර පෙන්වීය. ප්‍රධාන පාරේ සිට ඇතුළට කිලෝ මීටර් 7-8ත් අතර පමණ දුරක් යායුතුව ඇත.

“මෙන්න මේ පාරේ වංගු ගණන් කරන්න” ඔහු කීය. මම ගණන් කළෙමි. හරියටම හතරකි. ඔහු නැවතත් නයා පෙන්වීය. මේ වංගු පිහිටලා තියෙන විදිහයි. අර නයාගේ නැවුම් ටිකයි සමානද බලන්න. මම බැලුවෙමි. හරියටම එක සමානය.

“හරි දැන් බඩ මහත හරියක් තියෙනවා නේද” ඔහු නයා පෙන්වමින් කීය. “දැන් ඒ හරිය මේ පාරේ දෙවැනි වංගුවෙන් බලන්න” ඔහු ඇඟිල්ල තබා පෙන්වීය. එම ස්ථානයද කන්දකි. ඔහු කියූ ලෙස එම ස්ථානයේ දේවාලයක් ඇත. “මෙන්න මෙතන තමයි ඇතෙක් බරට බඩු ටික තියෙන්නේ” ඔහු හිනාවෙමින් කීය.

මා හට එය පුදුමයකි. ඔහු කියූ දෑ සත්‍ය නම් ඊටත් වඩා පුදුමයකි. “එතකොට මෙතන රත්තන්, මැණික් තියෙනවා කියලා ඔයා දන්නවා” මම ඔහුගෙන් පෙරළා ඇසුවෙමි. “ඔව් මම දන්නවා. ඔය නයා ඉන්න තැන ඒක කොටලා තියෙනවා. හැබැයි දෙයක් කියන්නම්. එතන තියෙනවද කියලා කියන්න දන්නේ නෑ. ඒකේ හැටියට අවුරුදු 600කට කලින් වළලලා තියෙන්නේ. ආක්‍රමණයක් නිසා ඒ ප්‍රදේශය බාර හිටිය ප්‍රාදේශීය රජ්ජුරුවෝ හැංගිලා තියෙන්නේ ඔහුගේ දේපළ හංඟලා. පහු කාලෙක එළියට ගන්න. “එහෙනම් ගන්න ඇති නේද” මම විමසුවෙමි. “නෑ අරගෙන නෑ. අර ගත්තා නම් ඔය කණුව ගලවනවා” ඔහු සිනාසෙමින් කීය.

මේ කතාව මැද්දෙන් පටන් ගත්තේ කියවන ඔබට මෙකී පුද්ගලයා ගැන යම් ඉඟියක් ලබා දීමේ අරමුණ ඇතිවය. ඇතැම් විට මොහු කවුද කියා ඔබට වැටහෙනවා ඇත. සැබවින්ම, මොහු නිධන් හාරන්නෙකි. නීතියෙන් පුරාවිද්‍යා විනාශය තහනම් වුවත් මොහු එය සිදුකරන්නේය. මොහු මේ දේවල් පැවසුවේ මා කෙරෙහි වූ විස්වාසය නිසාය. ඒ නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මොහු සම්බන්ධයෙන් විස්තර වතගොත ඉදිරිපත් කරන්නේ නැත. එහෙත් ඔහුත් සමඟ මේ නිධන් කතා බෙදාගත්තේ කියවන ඔබට දැන ගැනීම නිසාය.

“ඇත්තටම නිධන් කියලා දෙයක් තියෙනවද” ඇසුවෙමි. ඔහු මගේ දෙස බලා සිටිමින්. “ඔව් තියෙනවා. කවුරු හරි නෑ කියනවා නම් බොරැවක්. ඒකට මම හේතුවක් කියන්නද? දැන් අපි ගෙයක් හදනකොට ගලක් තියෙනවා නේද තඹ තහඩු අනං මනං දාපු. ඒ තියන්නේ ආරක්ෂාවට. ඉස්සර රජවරුත් ඒ වගේ දේවල් හදද්දි රත්තරන් මුතු මැණික් යට කළා ආරක්ෂාවට. ඕවා තමයි නිධන්. එහෙම නැතුව නෑ කියන්න බෑ” ඔහු දීර්ඝ විස්තරයක් කීය.

“හරි කොහොමද එතනම තියෙනවා කියන්නේ”

“මෙහෙමයි. ඒක නිකන් කියන්න බෑ. වැඩේ දැන ගන්න ඕනේ. හැමෝටම නිධන් හාරන්න බෑ. සමහර වෙලාවට හෑරුවට බඩු නෑ. ඇයි? වෙන කවුරුහරි උස්සලද? නෑ. ඒ දවස්වලම රජතුමාට හොරෙන් උස්සලා. අද වගේ තමයි. ඉස්සරත් හොරු ඉන්නවා. සාමාන්‍යයෙන් වැඩ කරපු උන් එහෙම.” ඔහු සිනාසී කීවේය.

“ඔච්චර වළලන්නේ ආරක්ෂාවට විතරමද? මම ඇසුවෙමි.

“නෑ නෑ තව හේතු තියෙනවා. ඔය හදන තැන් කවදා හරි විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා වෙනම වස්තුවක් අරං තියෙනවා නැවත මේවා ප්‍රතිසංස්කරණය කරන්න” ඒකයි. ඔය සමහර ගම් එහෙම හදන්න ලොකු පුරාණ පන්සල්වල වෙනම වැළලුවා. සමහර විට නියඟය වගේ ප්‍රශ්න ආවොත් විසඳන්න. ඒත් ඒවා කාලයත් එක්කම යට වුණා” ඔහු පැවසුවේය.

මේ කතාව අනුව ඔහු මේ නිධන් කියන දේත් සමඟ බද්ධ වී ඇති අයෙකි. ඔහු තවත් අපුරැ කතාවක් කීවේ මේ අතරය.

“ඔයා හිතලා තියෙනවද රටේ රත්තරන් නිධි නැතිනම් කොහොමද රජවරු රත්තරන් පොරවන් හිටියේ කියලා. මොකද අපි රත්තරන් සල්ලි දීලා ගෙනාවා කියලා එහෙම නෑනේ. දඹ රත්තරන් තනිකරම”

ඇත්‍තය. අපේ රටේ රත්තරන් නිදි නැත. එසේනම් රත්තරන් තිබුණා යැයි කියන්නේ කෙසේද? මම ඔහුගෙන් විමසීය.

“හරියටම ඉර උදාවෙද්දී අඩි දහය පහළව උස වේ තුඹසක් ළඟට ගිහින් බලන්න. තුඹහේ මුදුන රත්‍තරන් පාටට දිලිසෙනවා .අන්න ඒ උඩ කොටස කඩලා ගෙනල්ලා. ගස්වල මැළියම් දාලා අනනවා. (ඔහු මැළියම් වගයක් පවසයි) ඊට පස්සේ ඔය ගුලිය පුහුල් ගෙඩියක් ඇතුළේ ඔබලා ගස් බෙනයකට (එම ගසද පවසයි) දාලා ගිනි තියනවා මාසයක් විතර. අන්තිමට රත්තරන් ගුලියක් හැදෙන්නේ. ඒවා ඉස්සර වටිනවා. හැබැයි දැන් වටින්නේ නෑ.”

ඔහුගේ කතාවෙන් මගේ ඇස් උඩ ගියේය. මේ කියන විදිහට රත්තරන් හදන්න පුළුවන්ද යන්න ගැනය. මේ අතර මම මැණික් ගැනද විමසුවෙමි.

“ඔව් මැණික් තියෙනවා. ඒවා මැරිලා. හේතුව අවුරැදු ගාණක් ගල් අස්සේ පොළවේ තිබිලා ඒවා ඉබේ මැරිලා යනවා. එළියට ගත්තම සත පහක් වැඩක් නෑ” ඔහු කීවේය.

“සත පහක් වැඩක් නැත්තන් මොකටද නිධන් හාරන්නේ?” ඔහුගෙන් පෙරළා විමසුවෙමි.

“ඇත්ත. මෙතන වටිනාකම තියෙන්නේ පුරා විද්‍යා වටිනාකම විතරයි. මේවා කෝටි ගණන් වටිනවා පරණ නිසා. ඒකයි මෙතන තියෙන වටිනාකම. එහෙම නැතුව වෙන වටිනාකමක් නෑ” ඔහු සිනාසුණේය.”

දැන් මේවා ගත්ත අය ඉන්නවද?

“අපෝ ඉන්නවා. මමත් ගත්ත කෙනෙක්. මේ බලන්න ලංකාවේ තියෙන තැන්” කියමින් ඔහු ඡායාරූප කිහිපයක් පෙන්වීය. 

ඒ සියල්ලම මහා කළු ගල්වල ඇති සලකුණුය. කැළෑ මැද්දවල්වල තියෙන කළු ගල්ය. ඇතැම් කළු ගල් මත නෙළුම් මලක සලකුණුය. තවත් තැන්වල සර්පයන් වැනි සලකුණුය. තවත් තැන්වල අක්ෂරය. ඔහු ඒ සියල්ල පෙන්වමින් කීවේ මේ තුළ නිධන් වස්තු ඇති බවය.

මම ඔහුගෙන් සාම්ප්‍රදායික ප්‍රශ්නයක්ද ඇසුවෙමි. ඇත්තද ඔය තැන්වලට ගියහම නයි, සර්පයෝ වගේ රටේ නැති ප්‍රශ්න වෙනවා කියන්නේ.

“ඔව් ඒක ඇත්ත. සමහර තැන්වල එහෙම වෙනවා. ඒවා දැනගෙන තමයි වැඩේට අත ගහන්න ඕනේ” ඔහු කීවේය.

අවසාන ප්‍රශ්නයද ඇසුවෙමි.

“පොලීසියට එහෙම අහුවෙලා නැද්ද?”

ඔහු හයියෙන් සිනාසුණේය. මම මල්ලිට නියම කතාවක් කියන්නම්. මම ඔය නැගෙනහිර පැත්තේ එක තැනකට ගියා නිධන් හාරන්න. හාර හාර ඉද්දි පොලීසියෙන් වටකළා. මම හිතුවා හරි තමයි කියලා. ඊට පස්සේ එතන හිටිය පී.සී හාදයෙක් කිව්වා සර් එනකල් ඉන්න කියලා. ටිකක් වෙලා යද්දී සර් ආවා සරමක් ඇඳලා. ඇවිත් ඇහුවා බඩු හම්බුණාද කියලා. මම නෑ කිව්වා. එහෙනම් වරෙන් යන්න කියලා එයාගේ වාහනයට මාව දාගෙන හෙන කැලෑවකට ගියා. මම හිතුවා හරි තමයි එදා කියලා. ඊට පස්සේ එක තැනකින් නවත්තලා මට බහින්න කිව්වා. බැහැලා ගියා කැලේ මැද්දෙන් තැනකට. එතන ලොකු ගලක්. ඒක පෙන්නලා මගෙන් ඇහුවා “මෙතන බඩු තියෙනවද කියලා” අන්න එතකොට තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. අන්තිමට එතන තිබ්බේ නෑ. මාව යැව්වා තව තැනක් තියෙනවා පස්සේ එන්න පුළුවන්ද කියලා අහලා. මම හා කියලා ආවා” 

ඔහු ඒ කතාව කියමින් හයියෙන් සිනාසුණේය. ඔහුත් සමඟ බෙදාගත් කතා තව ඇත. එහෙත් ඒවා කිව නොහැක. ඒ ඔහු මාහට විශ්වාසයෙන් කී නිසාය. කෙසේ වෙතත් මේ සියල්ල ඔහුගේ වචනය. ඇත්ත නැත්ත දන්නේ ඔහුය. මෙය බොරු වන්නටද පුළුවන. ඇත්ත වන්නටද පුළුවන. කෙසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍ය බව වටහා ගැනීම කියවන ඔබට බාරය.       

 අසංක කළුබෝවිල