
තරග විභාගයක් ළඟ එනකොට හිතට බයක් නොදැනුණ කෙනෙක් අප අතර නැති තරම්ය. පාසල් කාලයේදී වාර විභාගවල සිට අ.පො.ස සාමාන්‍ය පෙළ, උසස් පෙළ දක්වාත් වෘත්තීය කඩඉම් විභාගවලදීත් මේ විභාග භීතිකාව අඩු වැඩි වශයෙන් සැමට දැනේ. අසමත්වේය යන බිය නිසාම සමහරැ විභාගවලදී විවිධ වංචා සිදුකරති. ඒ නිසාවෙන්ම විභාග වංචා අවම කරගන්නටත්, විධිමත් විභාග කටයුතු සිදුකිරීමටත් විභාග සඳහා ශාලාධිපතිවරු, නිරීක්ෂකයෝ සිටිති.
මෙරට ප්රමුඛ පෙළේ විභාග බහුතරයක් පවත්වන වගකීම් දරන ආයතනය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවයි. පසුගිය දිනවල පළමු ප්‍රධාන පුවතක් වූයේ විභාග සම්බන්ධයෙන් අතිරේක විභාග ශාලාධිපතිවරැන් ලෙස විශ්‍රාමික හමුදා නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට සූදානමක් ඇති බවයි. මේ බව විභාග කොමසාරිස්වරයා සඳහන් කර තිබුණි. මෙය විභාග වංචා අවම කරගැනීමේ පියවරක් බව කියති. නමුත් මෙම තීරණයට ලංකා ගුරැ සංගමය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ විවිධ පාර්ශ්වවල විරෝධතා එල්ල වී තිබිණි.
මෙම නව තීරණය මේ අගෝස්තුවේ උසස් පෙළ විභාගය සමඟ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ. විභාගයකදී වංචා සිදුනොවිය යුතුය. තරග විභාගවල සිදුවන වංචා නිසාවෙන් දහස් සංඛ්‍යාත විභාග අපේක්ෂකයෝ අසාධාරණයට ලක්වෙති. විශ්‍රාමික හමුදා නිලධාරීන් අතිරේක විභාග ශාලාධිපතිවරුන් ලෙස යොදාගනිමින් විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනු ලබන්නේ කුමක්ද? අපි ඒ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතාගෙන් විමසීමක් කළෙමු.
අපේ සම්පත් පුද්ගල සංචිතයට ශ්‍රී ලංකා ගුරු සේවයේ පළවෙනි පන්තියේ නිලධාරීන්, ඊළඟට විදුහල්පති සේවයේ නිලධාරීන්, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, ඔය හැමකෙනාම ඉන්නවා. ඒ අතර ඔය කැඩඩ් කෝ එකේ අයත් ඉන්නවා. අපි මේ අයව නිත්‍ය විභාග ශාලාධිපතිවරයා ශක්තිමත් කරන්න අතිරේක විභාග ශාලාධිපතිවරු වශයෙන් පත් කරන්න පියවරක් ගන්නවා. ඒ සඳහා මේ අයත් ඕන කෙනෙක්ව අපි යොදාගන්නවා.
මේ රටේ නිවැරදිව විභාග පැවැත්වීම වැදගත්. යහපත් විභාග වාතාවරණයක් සකස් කරදීම තමයි විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරිය. එතකොට, සමහර ළමයින්ට ලොකු කරදර ඇතිවෙනවා විභාග ශාලාවලදී. ඒ නිසා විභාග ශාලාධිපතිව හා නිරීක්ෂකයන්ව ශක්තිමත් කිරීම සඳහා තමයි අතිරේක විභාග ශාලාධිපතිවරු පත් කරන්නේ. මේක ආමි එකෙන් පත් කරනවා කියලා එකක් නෑ. ගුරු සේවයේ මේ නිලධාරීන් ගොඩක් ඉන්නේ. විදුහල්පති සේවයෙත් ඉන්නවා, අධ්‍යාපන පරිපාලන සේවයේ ඉන්නවා. මේ අතර පිරිසක් ඉන්නවා, ඔය කැඩෙට් කේ එකෙන් එහෙම සම්බන්ධ වෙච්ච නිලධාරීන් ඉන්නවා.
සමහර දුෂ්කර ප්‍රදේශවල අතිරේක ශාලාධිපතිවරුන් යෙදීමට ප්‍රමාණවත් පිරිස නොමැති බවත් ඒ මහතා කියයි. ඒ අනුව තමන් වෙත ළඟාවෙන සම්පත් ඕනෑම එකක් යහපත් කටයුතු වෙනුවෙන් භාවිත කරන බවද කොමසාරිස්වරයා පවසයි.
සේවා අත්‍යාවශ්‍ය වූ විට රටේ විවිධ ක්ෂේත්‍ර සඳහා හමුදාව යොදාගෙන සේවා සැපයීම සිදුවෙයි. සෞඛ්‍ය සේවය ඇතුළු තවත් සේවාවන්හි වර්ජන ඇතිවූ අවස්ථාවල හමුදාව යොදවා එම සේවා අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ අවස්ථා මෙරට ඉතිහාසයේ පවතී. එවන් කාරණාවල යුක්තිසහගත බව පිළිබඳව සමහරැ ප්‍රශ්න කරති. රටක හමුදාවක් සිවිල් කටයුතුවලට පමණට වඩා වැඩියෙන් මැදිහත් වීම සුදුසු නොවන බව ඔවුන්ගේ පිළිගැනීමය. කෙසේ වුවද අධ්‍යාපන ක්ෂේත්රයට මෙම හමුදා නිලධාරීන්ගේ සේවය ලබාගැනීම මිලිටරිකරණයක් නොවන බව විභාග කොමසාරිස්වරයා කියයි. නමුත් ඊට ප්රතිවිරෝධතා මතුව තිබේ.
මෙම ගැටලුව සඳහා ප්‍රධානම විරෝධතාවය ගොනු කරන්නේ ලංකා ගුරු සංගමයයි. එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙසේ අදහස් දක්වයි.
මෙතෙක් විභාග රාජකාරිවල නිරත වූ අධ්‍යාපන ක්ෂේත්රයේ පිරිස අතරට හමුදා නිලධාරීන් එක් කිරීමට සාධාරණ හේතුවක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැත. එමෙන්ම ගුරුවරු දෙලක්ෂ හතළිස් එක්දහසක් පමණද, විදුහල්පතිවරුන් පහළොස් දහසක් පමණද, තවත් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ද සිටියදී විභාග රාජකාරි සඳහා පිරිස ප්‍රමාණවත් නැතැයි පැවසීම බොරුවකි. ඔහු තවදුරටත් මෙම තීරණය පිටුපස ඇති සැබෑ හේතුව කුමක්දැයි පැහැදිලි කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතිවෙලා තියෙනවා විකාර සිතුවිලි. මේවා භයානකයි. මේ අය අධ්‍යාපන ක්ෂේත්රයේ විභාග විහිළුවට අරන් තියෙන්නේ. විභාග පැවැත්වීම ඕනෑම කෙනකුට කරන්න පුළුවන් කියලා හිතාගෙන තමයි මේවා කරන්නේ. අනිත් පැත්තෙන් එයාලා දන්නවා දැනටමත් දේශපාලන පළිගැනීම්වලට මුවාවී නව පත්වීම් දීමට විරුද්ධව අපි දැවැන්ත වැඩවර්ජනයක් කරන බව. තත්ත්වය වෙනස් නොවූවොත් උත්තර පත්‍ර ඇගයීම් විභාග වර්ජනයකට යනවා කියලා එයාලට අවදානමක් තියෙනවා. ඒවාට පූර්වගාමී සැලසුම් තමයි මේවා. අපි විභාග වර්ජනයට යනවා කියලා කියනවා නොවේ. මේවා පූර්වගාමී සැලසුම්. හමුදාව දාල ඕන එකක් කරන්න පුළුවන් වගේ තමයි මේ වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් රෝහල් වැඩවර්ජනයකදී ඇටෙන්ඩන්ලගේ වැඩට හමුදාව දානවා වගේ විභාග ශාලාවලට දාන්න පුළුවන්ද?
ලේකම්වරයාගේ ප්‍රකාශය සැබෑවක් නම් අධ්‍යාපන ක්ෂේත්රයේ දේශපාලන පත්වීම් සම්බන්ධ කාරණාව මෙම නව තීරණයට පදනම වී තිබේ නම් සිදුකළ යුත්තේ වෙනත් යමකි. වසරකට අධික කාලයක් උඩුදුවමින් පවතින දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට උසස්වීම් දීමේ ගැටලුව විසඳීමයි. රටේ අනාගතය තීරණය කරනු ලබන අධ්‍යාපනය වැනි ක්ෂේත්රයක දිගින් දිගටම ගැටලු මතුවීම රටට සුබදායක නැත.
ලංකා ගුරු සංගමය මෙම කාරණාව සම්බන්ධයෙන් පෙන්වාදෙන තවත් කරුණක් වන්නේ හමුදා නිලධාරීන් යොදාගැනීම හරහා බියගන්වා විභාග වංචා අවම කිරීමට දරන උත්සාහය සාර්ථක නොවන බවයි. තවද විභාග අපේක්ෂකයන්ගේ මානසිකත්වයටද හමුදා නිලධාරීන්ගේ බලපෑමක් ඇතිවිය හැකි යැයිද ඔවුහු පවසති. විභාග දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ඊට පිළිතුරු ලෙස පවසන්නේ හොඳ විභාග පරිසරයක් ඇතිකරගැනීම සඳහා මෙම තීරණය හේතුවනු ඇති බවයි. මෙහි අපේක්ෂාව වී ඇත්තේ දරුවන් වැරදි සිදුකළ විට ළමයින්ට දඬුවම් දීම නොව එසේ වැරදි සිදුනොවන පරිසරයක් නිර්මාණය කිරීම බව ඔවුන්ගේ මතයයි.
මෙවන් තීරණ සම්බන්ධව අපේ රටවල් ධනාත්මක ලෙස බැලිය යුතු බවද විභාග කොමසාරිස්වරයා පවසයි. හොඳින් හිතාබලා විභාගයකදී ශිෂ්‍ය හිතකාමී පරිසරයක් ඇතිකිරීමට කටයුතු කිරීම වැදගත්ම දෙය බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා විපක්ෂයේ සිටින විට අධ්‍යාපනය මිලිටරිකරණයට විරුද්ධ වූ බව ජෝසප් ස්ටාලින් මහතා පවසයි. නමුත් අමාත්‍යවරයා දැන් කරමින් සිටින්නේ එයම බවට ඔහු චෝදනා කරයි. හමුදා නිලධාරීන් විභාග රාජකාරි සඳහා යොදාගැනීම පිළිබඳව තවදුරටත් බලධාරීන්ගේ අවධානය යොමුකරන බවත් එය අසාර්ථක වුවහොත් සංගම් සමඟ මේ පිළිබඳව සාකච්ඡා සිදුකර ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා පවසයි.
චමිඳු නිසල් ද සිල්වා