
සයිටම් අර්බුදය නිසා වසර දෙකක් රජයේ වෛද්‍ය පීඨ අකර්මණ්‍ය වී තිබිණි. එමෙන්ම සිසුන් සහ මව්පියන් මහපාරේ කදුළු ගෑස් කමින් විරෝධතාවල නිරත වනවිට වගකිවයුත්තන් නැසූ කන්ව බලා සිටිනුද දැකගත හැකිවිය. අවසානයේ සයිටම් අහෝසි කිරීමටත් සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමටත් රජය තීරණය කිරීමත් සමඟ සයිටම් අර්බුදය විසඳෙන ලකුණු පහළ විය. නමුත් පරණ තුවාලයක් ඔඩු දුවන්නාක් මෙන් සයිටම් අර්බුදය ද විවිධ පැතිකඩ ඔස්සේ යළි යළිත් ඉස්මතුවෙන්නේ එය තවමත් හරිහැටි විසඳුමක් නොලැබී ඇති ප්‍රශ්නයක් බවට පත්වෙමිනි.
කොතලාවල වෛද්‍ය පීඨයට සයිටම් ශිෂ්‍යයන් ඇතුළත් කරගැනීමේදී උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය සාමාර්ථ 3ක් (එස් 3) සුදුසුකම හෝ නොමැති සිසුන් 54 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කර ඇති බව මෙවර සයිටම් බලධාරීන්ට එරෙහිව නැගෙන චෝදනාව වේ. බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම පහත දැමීම හා එම සුදුසුකම සම්පූර්ණ නොකළ 54 දෙනකු වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස කොතලාවල වෛද්‍ය පීඨයට බඳවා ගැනීම හරහා වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳ යළිත් වරක් ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍යය දෙමව්පිය සංගමය කියයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව සෑම අයකුටම නිදහස් අධ්‍යාපනය ලැබිය හැකිය. අධ්‍යාපනය ලැබීමට හැම පාසලකම පහසුකම් එක සමානව නැත. මේ නිසා පහසුකම් සහිත රජයේ ඉහළ පාසලකට දරුවෙකු දමාගන්නට විශාල තරගයක් දීමට මව්පියන්ට සිදුවේ. මුදල් පරිත්‍යාග පමණක් නොව ලිංගික අල්ලස් පවා දීමට සිදුවූ අවස්ථා ද අප අසා ඇත. මුදල් ඇති ඇතැම් මව්පියෝ සිය දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යොමු කර ඉගැන්වීම් කටයුතු සිදුකරති. නමුත් මේ මව්පියෝ පසුව වෙනත් ප්‍රශ්නයකට මුහුණ දෙති. ඒ ජාත්‍යන්තර පාසලේ ලබන ප්‍රතිඵල මත තම දරුවන්ට රජයේ විශ්වවිද්‍යාලවල දොරටු විවෘත නොවීමය.
එමෙන්ම මෙරට රජයේ පාසල්වලද උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමිව ලතවෙන විශාල දරු පිරිසක් මෙරට සිටිති. මේ සඳහා ඔවුනට විකල්පයක් තිබිය යුතුය.
මේ පිරිසට සහ ජාත්‍යන්තර පාසල්හි අධ්‍යාපනය ලැබූ සිසුන්ට තිබෙන එකම විකල්පය විදේශීය විශ්වවිද්‍යාල වෙත යොමුවීම හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත යොමුවීමයි. සයිටම් වැනි විශ්වවිද්‍යාල ඇරඹෙන්නේ මෙයට විසඳුම් ලෙසය. එහෙත් අද වනවිට සයිටම් හි වෛද්‍යය උපාධියට එල්ලවී ඇත්තේ බරපතළ පහරකි. අරම්භයේ පටන්ම සයිටම් යනු උණුසුම් මාතෘකාවක් වී තිබිණි. විටෙක ලිහෙමින් තවත් විටක ගැට ගැසෙමින් මේ අවුල 2009 වර්ෂයේ සිට මේ දක්වා පැමිණෙයි.
මෙවැනි අර්බුදකාරි තත්ත්වයක් යටතේ පැමිණි සයිටම් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සුදුසුකම් සහිත සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය වෙත යොමු කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ පසුගිය පෙබරවාරි මාසයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. ඒ අනුව 2009 සැප්තැම්බර් 15 දා සිට 2017 මැයි 15 දක්වා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුකම් තිබෙන සයිටම් ආයතනයේ ලියාපදිංචි සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරනු ලැබූහ.
මෙලෙස කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගත් සයිටම් සිසුන් 982 අතුරින් සිසුන් 54 දෙනෙකුට උසස් පෙළ විභාගයේ අවම එස් තුන (S - 3) සුදුසුකම් නැති වීම මෙවර සයිටම් අර්බුදයේ උණුසුම් මාතෘකාව විය.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය මව්පිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක
වසන්ත අල්විස්
“සයිටම් අර්බුදය නිමා වුණු එක ගැන අපිත් සතුටට පත්වෙනවා. නමුත් අපිට පොඩි කුකුසක් තියනවා S-3 සම්බන්ධව. නමුත් අපිට දැනගන්න ලැබෙනා ආකාරයට උසස් පෙළ විභාගයේ එස් තුන සුදුසුකම හෝ සපුරා නැති ශිෂ්‍යයන් 54 දෙනකු බඳවා ගෙන තිබෙනවා. මොකද වෛද්‍ය සභාවේ නිර්ණායක තියෙන්නේ 2010 ජුනි මාසේ ඉඳලා සී දෙකයි, එස් එකයි කියලා. වර්තමානයේ එය පවතින්නේ සී තුන හැටියට. නමුත් අද තියන වර්තමාන තත්ත්වය අනුව Z ස්කෝර් එක අනුව මේ ප්‍රතිඵල නර්ස් කාන්තාවක් වෙන්නත් මදියි. වගේම මේ වෙනකොට ඒ 54 සහ ඊළඟට 1, 2, 3 කණ්ඩායම්වලට අයත් කොටසක් අකමැති වෙලා තියනවා. මේ ෆයිනල් එග්සෑම් එකට ඉන්න. ඒක හරිම විෂමාචාර සිද්ධියක්. ඇත්තටම මෙහෙම සුදුසුකමක් නැති අයට උපාධියක් ලබා දුන්නොත් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට ලෝකයේම පිළිගැනීමක් නැති වෙයි. ඒ නිසා අපි කියන්නේ මේ වගේ කුසලතාවලින් අඩු දරුවන් කොතලාවල වෛද්‍ය පීඨයට දාන්න එපා කියලා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන ඔය 54 දෙනාගේ දෙනාගේ කණ්ඩායමේ ඉන්න දෙමාපියන් තමයි මේ සයිටම් අර්බුදය ඉවත්කරන්න ඉඩදුන්නේ නැත්තේ. ඒ නිසා අපි ඉල්ලන්නේ නිර්ණායක නොමැති දරුවන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්න එපා. සුදුසුකම් තියන දරුවන් කොතලාවලට දාලා උපාධිය දෙන්න. එතකොට සුදුසු වෛද්‍යවරුන් බිහිවෙයි.”
විටින් විට කරළියට එන මේ සයිටම් අර්බුදය නැවතත් කොතනින් හෝ මතුවී පැමිණෙන අතර මේ සඳහා සැබෑ විසඳුම් ලබාදෙන තුරු මෙරටට උරුම වන්නේ උද්ඝෝෂණ, පෙළපාලි හා වැඩවර්ජන පමණි.
►හසිත් අංජන
සේයාරුව I සුමුදු හේවාපතිරණ