2018 ජුලි 28 වන සෙනසුරාදා

ව්‍යවස්ථා කමිටුව කැළඹු අත්සන් හුටපටේ

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

මේ දිනවල රටේ ඇතිව තිබෙන ප්‍රශ්න අතරින් තවත් එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ නව ව්‍යවස්ථාවය. මෙකී ව්‍යවස්ථාව රටම බලා සිටින ව්‍යවස්ථාවකි. එයට හේතුව නම් එය යහපාලනය රජය පත්වන විට ලබාදුන් පොරොන්දුවලින් එකක් වීම නිසාය. අනෙක් කාරණය නම් ආණ්ඩු විරෝධී පිරිස බලා සිටින්නේ මෙය රට බෙදන ව්‍යවස්ථාවක්ද නැද්ද යන්නය. මේ නිසා ව්‍යවස්ථා භීතිකාව රට තුළ සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත.

මෙකී ව්‍යවස්ථා භීතිය තුළ පසුගියදා ව්‍යවස්ථා සම්පාදන කමිටුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවට රැස්විය. මෙකී කමිටුවට සමාජිකයන් 20 ක් පමණ සිටියත් කිසිදු දිනක ඒ සියලු දෙනාම සහභාගි වී නැත. ඒ වෙනුවට ඉතා සුළු පිරිසක් පමණක් හැම රැස්වීමකටම සහභාගිවන බව දැනගන්නට ඇත. රටට බලපාන ව්‍යවස්ථාවක් සැකසීමට සුළු පිරිසක් පමණක් සහභාගීවන්නේ නම් එකී ව්‍යවස්ථාව ගැනත්, දේශපාලනඥයන්ගේ වැඩ පිළිවෙළ ගැනත් අමුතුවෙන් කතා කළයුතු නැත.

කෙසේ වෙතත් පසුගියදා මෙම කමිටුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එලෙස රැස්වූයේ විද්වත් කමිටු සමාජිකයන්ද සමඟය. එකී රැස්වීම ආරම්භ කරමින් විද්වත් මණ්ඩලයේ රැස්වීම්වල මුලසුන දරන මෙහෙයුම් කමිටුව විසින් නම් කරන ලද කළමනාකාර කමිටුවේ සාභාපතිවරුන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්නත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතාත් එක්ව වාර්තාවක් කමිටුව වෙත ඉදිරිපත් කළහ.

එම වාර්තාව ඉදිරිපත් කිරීමත් සමඟ මහාචාර්ය කාමෙනා ගුණරත්න මහත්මිය නැගී සිටිමින් එකී වාර්තාව පිළිබඳ දැඩි විවේචනයක් ඉදිරිපත් කළාය. එනම් එකී වාර්තාව තම විශේෂඥයන් විසින් සැකසූවක් නොවන බවය. එසේම විශේෂඥ කමිටුවේ සාමාජිකයන් දස දෙනකු සිටියත් ඊට අත්සන් තබා තිබුණේ හයදෙනෙක් පමණි. ඇය එයද පෙන්වමින් සඳහන් කර තිබුණේ මෙය සමස්ත විශේෂඥයන් විසින් සකසන ලද වාර්තාවක් නොවන බවය.

මෙහිදී මහාචාර්යවරිය කළ හෙළිදරව්වෙන් පසුව එහි තිබූ එක් විද්වතකුගේ අත්සනක් බොරු අත්සනක් බවද තහවුරු වූයේ එකී විද්වතා මාස හයකින් මෙරටට පැමිණ නොසිටීම නිසාය. මෙම සියලු කාරණා සමඟ මහාචාර්යවරිය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කමිටුවට පවසා තිබුණේ තමන් ඇතුළු විද්වතුන්ගේ දැනුම හෑල්ලුවට ලක්නොකරන ලෙසය. එසේම තමන්ගේ වාර්තාවලට මෙලෙස බලපෑම් නොකරන ලෙසත් ඇය මෙහිදී ඉල්ලා සිටියාය.

ඇගේ කතාවට තවත් විද්වතුන් කිහිප දෙනකුට අදහස් ප්‍රකාශ කරමින් සහාය පළකළ අතර ඔවුන්ගේ වැඩකටයුතු ස්වාධීන ලෙස සිදුකරන්නට පරිසරය සකස් කර ලබා දෙන ලෙස ඉල්ලා සිටියෝය.

මේ අතර ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සාමාජිකයෝ සිය අතට ලැබුණු වාර්තාව කියවා බැලූහ. එය කියවූ සැණින් ඒකාබද්ධය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා දැඩි විවේචනයක් සිදුකළේය. ඒ එම වාර්තාවේ තිබූ කරුණු කිහිපයක් නිසාය. එනම් අගමැති, කථානායක සහ පක්ෂ නායකගේ තීරණය අනුව ජනාධිපතිවරයා ඉවත් කිරීමටත් පළාත් පාලන මන්ත්‍රීවරැන් අතරින් සෙනෙට් මන්ත්‍රීවරුන් තෝරා සෙනට් මන්ත්‍රී මණ්ඩලයක් පත්කිරීමත් යන යෝජනාවලට ඔහු දැඩිව සිය විරෝධය පළ කළේය. එසේම මෙය කාගේ වුවමනාවකට කවුරුන් විසින් සැකසුවේද යන්න විමසා ඇත. එවිට සුමන්තිරන් මන්ත්‍රීවරයාත්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාත් එක්ව සැකසූ වාර්තාවක් බව හෙළිවිය.

මේ හේතුවෙන් කමිටුවේ සාමාජිකයන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූ අතර කමිටු සාමාජිකයන් දෙදෙනකු වන ඔවුන් දෙදෙනා එලෙස විද්වත් වාර්තා ඉදිරිපත් කළේ කෙසේද යන්න කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනකු විසින් ප්‍රශ්න කෙරිණි. එහෙත් ඊට හේතු කාරණා කියමින් සුමන්තිරන් මන්ත්‍රීවරයත්, ආචාර්ය ජයම්පතිත් එය සාධාරණීකරණය කරන්නට උත්සහ ගත්හ. එහෙත් සමාජිකයන් වන දිනේෂ් ගුණවර්ධන, ඩිලාන් පෙරේරා සහ ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරුන් සිය විරෝධය පාමින් පවසා සිටියේ මෙය නීතිවිරෝධි කටයුත්තක් බවය. විශේෂයෙන් කොළය වසා සිදුකළ ක්‍රියාව හරහා බෙදුම්වාදී මතයක් ගෙන ඒමට දැරූ උත්සාහයක් බවද ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ.

මේ සාකච්ඡාව යන අතරතුර එම කමිටුවට එක්වූයේ එහි සාමාජිකයකු වන අමාත්‍ය පාඨලී චම්පික රණවකය. ඔහුද මේ සිදුවීම දැනගත් සැණින් පවසා සිටියේ මෙලෙස වැඩකටයුතු සිදුකළ නොහැකි බවය. ඉතා විවෘතව සිදුකළ යුතු දෙයක් වුවත් මෙවැනි සිදුවීම් හරහා විශ්වාසය බිඳවැටෙන බවද ඔහු කිය. ඒ නිසා මෙය හකුලා ගන්නා ලෙස ඔහු දැනුම් දුන්නේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පැමිණි එහි නායක අනුර කුමාර දිසානායකත්, බිමල් රත්නායකත් කිසිදු අදහසක් ඉදිරිපත් කළේ නැත. ඔවුන් එම අදහස් ඉදිරිපත් නොකළා සේම ඔවුන් නියෝජනය කරන විද්වත් කමිටු සාමාජිකයන් දෙදෙනා එකී ගැටලුකාරී වාර්තාවට අත්සන් තබා තිබුණේද නැත. එසේම ශ්‍රී.නි.ප.ය නියෝජනය කරමින් පැමිණි නිමල් සිරිපාල ද සිල්වා මහතාද කිසිදු අදහසක් ඉදිරිපත් කළේ නැත.

කෙසේ වෙතත් අවසානයේ කමිටුවේ නොසන්සුන්තාවය හමුවේ අග්‍රාමාත්‍යවරයා එම වාර්තාව ඉවත් කළේය. එසේම නැවතත් මෙය සාකච්ඡාවට බඳුන් කොට නව වාර්තාවක් සකසන ලෙස විද්වත් කමිටුවට දැන්වීය. එසේම ඔවුන්ගේ වැඩකටයුතුවලට මැදිහත් නොවන ලෙස සුමන්තිරන් මන්ත්‍රීවරයාටත්, ජයම්පති වික්‍රමරත්නටත් දන්වනු ලැබීය. ඒ අනුව එදින ව්‍යවස්ථා කතාව අවසන් විය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් පවසන්නේ එය නොදැනුවත්ව සම්මත කළානම් කමිටුව විශාල ගැටලුවකට යන බවය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පවසන්නේ එයට බය නොවිය යුතු බවත් එය කෙලෙස, පැමිණියත් කමිටුවේ මෙන්ම පාර්ලිමේන්තුවේදී ද එය සම්මත නොවන බවත්ය. ඒ නිසා මෙය පිරිසක් විසින් විශාල සිද්ධියක් ලෙස පෙන්වන්නේ ව්‍යවස්ථා භීතියක් හැදීමට බව ඔවුහු පෙන්වා දෙති.

 ගයාන් ගාල්ලගේ