2018 ජුලි 28 වන සෙනසුරාදා

රදගුරු මැඳුරේ සඟරුවනට දන් පිරිනැමූ ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ!

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

“අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් මාවත” නමින් පාරක් කැලණිය පූජා නගරයට නුදුරින් පිහිටා තිබේ. මේ ගැන කුතුහලයක් හටගත්ම, ඒ පිළිබඳව විමසද්දී දැනගත හැකිවූයේ විශ්‍රාමික අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් පියතුමාගේ ගම කැලණිය බවත්, ඒ අවට උන්වහන්සේගේ ඥාතීන් වාසය කරන බවත්ය. කැලණිය රජමහා විහාරය පෙනෙන මානයේ හැදුණු වැඩුණු ඔස්වල්ඩ් ගෝමිස් රදගුරු හිමිපාණන්ගේ විශේෂත්වය නම් කිතුනුවන් පමණක් නොව බොදුනුවන්ද ළඟින් ඇසුරු කිරීමය. හිමිපාණන්ගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාද ළංකර ගන්නා ආකාරය දකින්නට ලැබේ. මේ නිසා උන්වහන්සේගේ උත්සවවලදී සුදු පැහැති ලෝගුව පමණක් නොව කහ සිවුරද අනිවාර්ය අංගයකි.

පසුගිය 22 ඉරිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්ති උපහාර උළෙලටද අපේ නායක හිමිවරු රැසක් පැමිණ සිටියහ. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන අමුත්තන් වශයෙන් සහභාගි වූ එම උත්සවයේ උපහාර දෙසුම පවත්වනු ලැබුවේ මහාචාර්ය ජේ.බී. දිසානායකයි. එහිදී කතා කළ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපති ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි පැවසුවේ මහා සංඝරත්නය කිට්ටුවෙන් ඇසුරු කිරීමට උන්වහන්සේට හුරැව ලැබෙන්නට ඇත්තේ බුදු පා පහස ලද කැලණියේ උපත ලැබීම නිසා විය හැකි බවයි. එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

“අද උපහාර ලබන ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරු පියතුමන් උපරිම මට්ටමෙන් ආගමික දිවිය කැපකර අනෙක් ආගම් අතර සහයෝගිතාව වෙනුවෙන් කටයුතු කළා. ආගමික සමුළුවේ සභාපති මණ්ඩලයේ අවුරුදු 15 ක් තිස්සේ කටයුතු කරනවා. එතුමන්ගේ සිනාමුසු මුහුණ සියල්ලන්ගේ සිත් සතන් ඇද බැඳ තබාගන්නවා.”

මෙම උපහාර උත්සව සභාව අමතමින් හිටපු අගරදගුරුතුමා පැවසුවේ තමන් කළ කී දෑ සියල්ල තනිවම නොකළ බවත් ඒ කාර්යයන් සඳහා දෙවියන් වහන්සේ තමන් ආයුධයක් කරගත් බවත්ය.

“අපි යම් දෙයක් පැන්සලකින් ලියනවා කියා හිතමු. එය ලිවීමේ ගෞරවය පැන්සලට ලබාදිය හැකිද? එය ලිව්වා කියා පැන්සලට ආඩම්බර විය හැකිද? මේකත් ඒ වගේ තමයි. මගෙන් යමක් වුණා නම් එය මා පමණක් කළ දෙයක් නොවෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත නැතිනම් මට අවුරුදු 50 ක් ජීවත් වෙන්නත් බැහැ. මගෙන් ආගමික සුහදතාව ඇතිවුණු බව පැවසෙනවා. හොඳයි, මා ගිය යම් තැනක ආගමික සුහදතාව ගැන කතා කළ අවස්ථාවක එහි සිටි පිරිස ප්‍රතිචාර නොදැක්වූවා නම් මොකද කරන්නේ?

ජනවාර්ගික යුද්ධයෙන් අපට වූ හානිය නිසා දියුණුවේ මාවතට බාධා අවහිරවීම් ඇතිවුණා. රටක් ලෙස බෙදී සිටි හැම අවස්ථාවකම අපි පරාජය වුණා. අපි අද පෘතුගීසීන්ට බණිනවා. කවුද පෘතුගීසි ගෙන්වාගන්නේ. කෝට්ටේ බුවනෙකබා රජු විසින්. ඔහු පෘතුගීසීන්ට ඇරයුම් කළේ යුද්ධ හමුදාව සමඟ එන්න කියලයි. ඒ තම සොහොයුරු මායාදුන්නේ රජු මරාදැමීමටයි.” ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ එහිදී අදහස් දක්වමින් කීවෝය.

රදගුරු හිමිපාණන්ගේ ආගමික සහජීවනය මතුකරමින් කතා කළ මහාචාර්ය ජේ.බී. දිසානායක සඳහන් කළේ ලේබල් අලවාගත් බෞද්ධයන් හෝ කතෝලිකයන්ගෙන් ප්‍රයෝජනයක් නැති බවත්ය.

අද විශ්‍රාමිකව ආගමික මෙහෙවරක නිරතවන ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් තමන් දැරූ කොළඹ අගරදගුරු පදවිය සංකේතවත් කරන සැරයටිය ඇල්බට් මැල්කම් රංජිත් රදගුරු හිමිපාණන්ට බාරදුන්නේ 2009 අගෝස්තු 5 දාය. වර්ෂ 2002 ජූලි 6 දා දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගෝමිස් හිමිපාණන් එම පදවියට පත් කළෝය. ඊට පසු පුරා වසර හතක් අගරදගුරැ නිවසේ වසමින් කැපීපෙනෙන ආගමික සහ සමාජ මෙහෙවරක නිරතවීමට උන්වහන්සේ ක්‍රියා කළහ.

කැලණියේ වින්සන්ට් සහ ෆ්ලෝරිඩා ගෝමිස් යුවළට දාව ඔස්වල්ඩ් ගෝමිස් ළදරුවා උපන්නේ 1932 දෙසැම්බර් 12 දාය. සීතල නත්තල් මාසයක උපත ලද ගෝමිස් දරුවා පාසල් අධ්‍යාපනය ලැබුවේ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි. ඊට පසු පූජකවරය ලබාගැනීමට කැමැත්තෙන් කොටහේන ශාන්ත බෙනඩික්ට් සෙමනේරියට ඇතුළත් වූ අතර එහි අධ්‍යාපනය නිමකරමින් මහනුවර අම්පිටියේ ජාතික දෙව්සත්හලට ඇතුළු වූයේ 1950 දීය. එහි සාර්ථකව පුහුණුවීම නිමකළ ඔහු 1958 පෙබරවාරි 3 දා පූජකවරයකු ලෙස පැවිදි දිවියට ඇතුළත් විය. කීර්තිමත් ලෙස පියතුමකුගේ කාර්යභාරය ඉටුකිරීමේ ප්‍රතිඵලය වූයේ අවුරුදු 34 ක් වැනි තරුණ වියේදීම බිෂොප්වරයකු වශයෙන් පත්වීමට ඉඩ ලැබීමයි. ඒ 1968 ජූලි 18 දාය. පසුගියදා සැමරැම් උළෙල පැවැත්වූයේ එම බිෂොප්වරයකු ලෙස පත්වීමේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙනි.

ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් තරුණ වියේ සිටම කිතුදහම මෙන්ම බුදුදහම ගැනද උනන්දුවක් දැක්වූහ. මඩිහේ පඤ්ඤාසීහ හිමියන් තම ස්වයං චරිතාපදානයේදී ගෝමිස් පියතුමන් වෙනුවෙන් පිටු 4ක්ම වෙන් කිරීමෙන් ඒ බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක උපකුලපති පදවියට පත්වූ පළමුවැනි කතෝලික පියනම බවටද උන්වහන්සේ පත්වුණේ කොළඹ සරසවියේ උපකුලපති පදවිය ලැබීමත් සමඟය.

උන්වහන්සේ ගුරුවරයකු වශයෙන්ද මුල් කාලයේ කටයුතු කළහ. ඒ 1958 සිට 1960 දක්වා කොළඹ ශාන්ත ඇලෝසියස් සෙමනේරියේ කථිකාචාර්යවරයකු වශයෙනි. 1961 සිට 1968 දක්වා කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂ සහ සංස්කාරක ලෙස සේවය ලබාදුන්නේය. ගෝමිස් හිමිපාණන් 1966 ජනවාරි 25 දා අනුරාධපුර රදගුරු ලෙස පත්වූ අතර කොළඹ අගරදගුරු පදවිය තෙක් සේවය කළේ රජරට වැව්බැඳි රාජ්ජයේය. ඒ කාලයේ අටමස්ථානයේ නායක හිමිවරුන් සමඟ සමීප ඇසුරක් ගොඩනගා ගැනීමටද උන්වහන්සේ ක්‍රියා කළහ. මහාචාර්ය වල්පොල රාහුල, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන වැනි උගත් භික්ෂූන් වහන්සේ සමඟ සමීපව ඇසුරු කළ ගෝමිස් හිමිපාණන් රටේ ජාතික සමගිය ගැන කැක්කුමකින් අදහස් පළ කළහ. කොළඹ අගරදගුරු මන්දිරයේ භික්ෂූන් වහන්සේලාට දානයක් පිරිනැමූ පළමු හිමිපාණන් වන්නේද ගෝමිස් අගරදගුරු හිමියෝ වෙති. මහෝපදේශය ඇතුළු කෘති 8ක්ද උන්වහන්සේ ලියා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපහාර උළෙලේදී දැක්වූ අදහස උන්වහන්සේගේ දිවිය ගැන අප තුළ චිත්‍රයක් මවයි.

“කතෝලික සභාවේ පියතුමන්ලාගෙන් රටේ සංස්කෘතියට සාහිත්‍යයට ලොකු සේවයක් වුණා. අර්නස්ට් පෝරැතොට, මර්සලීන් ජයකොඩි වැනි පියතුමන්ලා මෙහිදී පළමුව අපට සිහිපත් වෙනවා. ඔවුනට භාෂාව, සාහිත්‍යය, සංස්කෘතිය ගැන විශාල දැනුමක් තිබුණා. ඒ වගේම මේ උගතුන් ජාතීන් අතර කිසිම ප්‍රශ්නයක් කිසි අවස්ථාවක හටගැනීමට ඉඩ තිබ්බේ නැහැ. පුළුල් දැනුමක් පැවති ඔස්වල්ඩ් ගෝමිස් පියතුමන්ට මුල සිටම සංහිඳියාව ගැන අදහසක් තිබුණා. සංහිඳියාව ආරක්ෂා කිරීමට උන්වහන්සේ ඉදිරියට ආවා. සෝභිත හිමියන් සමඟ එක්ව රටේ සංහිඳියාව ඇති කිරීමට උන්වහන්සේ ගත් වෙහෙස විශාලයි. බොහෝ අය දොස් කිව්වා. බැන්නා. ඒත් පසුබට නොවී ඉදිරියට ගියා. ඒ ගමනේ ප්‍රතිඵල මා දැක්කා.”

►කුසුම්සිරි
සේයාරුව I ළහිරු හර්ෂණ