2018 ජුලි 28 වන සෙනසුරාදා

පර්ස් එකෙන් ගාණ කැපිල්ල

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

මගේ පර්ස් එක දෙන්න.... මේකේ සල්ලි අඩුයි. කරුණාකරලා සල්ලි දෙන්න. මොනවද මහත්තයා වැදගත් විදියට කලිසම් ඇඳන් ඇවිත් අනුන්ගේ සල්ලි ගන්නේ?

කවුද සල්ලි ගත්තේ? මම ඇහිදපු ගමන් තමයි ඔයාට පර්ස් එක දුන්නේ...

මහත්තයා මේ නිකන් ගල් පැලෙන බොරු කියන්න එපා..... මේ මේ කට්ටිය දැකලා තියෙනවනේ ඔයා මගේ පර්ස් එක අහුලනවා....

ඔව් ඔව් මහත්තයා මෙයාගේ පර්ස් එක දෙන්න. මොනවද මහත්තයා ඔය කලිසම් ඇඳගෙන කරන වැඩ....

මම ගත්ත සල්ලියක් නැහැ...

හරි හරි එහෙනම් අපි පොලිසි යමු. දැකපු අය ඉන්නවනේ....

මම සල්ලි ගත්තේ නැහැ. හරි අපි පොලිසි යමු....

දෙනෝදාහක් දෙනා ගැවසෙන පිටකොටුව බෝධිය අසල වීදී නාට්ටියක් බඳු මෙම සිදුවීම පිටකොටුවට ගිය ලියුම්කරුගේ ඇස ගැටුණේ අහම්බයෙනි.

විනාඩි 10ක් වැනි කාලයක් පුරාවට සිදු වූ මෙම සිදුවීම දෙස බලා සිටි බොහෝ දෙනාද, හොඳ වැඩේ මේ පෙනී පෙනී අරගෙන නෑ කියනවනේ. පොලිසි යන එකමයි හොඳ පර්ස් එක අහුලාගෙන බාරදුන් පුද්ගලයාට දෙස් දෙවොල් තබමින් පිටව ගියහ.
අනතුරුව තමන් ගිය කාරිය ඉටුකරගත් ලියුම්කරු තමුන් දන්නා ආරක්ෂක අංශ නිලධාරියකුට මේ සිද්ධිය පැවසූ අතර ඔහු කියා සිටියේ මෙය කොටුවට එන මිනිසුන් මුලාකර මුදල් ගරාගන්නා අලුත්ම ක්‍රමය බවයි.

එම සිදුවීම ගැන තතු තවදුරටත් සොයා බැලීමට ලියුම්කරු එවැන්නකු හමුවුවහොත් ලියුම්කරුට මුණගස්වනා ලෙස එම මිතුරාට දැනුම් දුන්නේය.

සතියකින් පමණ පසුව ආරක්ෂක අංශ නිලධාරියාගෙන් ලත් තොරතුරක් මත එවැන්නකු සමඟ කථාබහ කිරීමට ලියුම්කරුට අවස්ථාවක් උදාවිය. සිය නම්ගම් හෙළි නොකිරීමේ පොරොන්දුව මත ඔහු ලියුම්කරු සමඟ මෙම නාටකයේ තොරතුරු පැවසීය.

මොකක්ද මේ සීන් එක? අලගිය මුලගිය තැන් විමසීමට පෙරම ලියුම්කරු ඔහුගෙන් විමසීය

මෙහෙමයි බජාර් එකේ සෙට් එකක් තමයි ඕක කරන්නේ. දැන් පොකට් ගහන්න බැහැනේ. හැමතැනම සිවිල් පිටත් කාකි සූට් ඉන්නවනේ. මේ වගේ පොඩි ගේම් එකක් දෙකක් ගහගත්තම දවසක් දෙකක් කාලා බීලා සැපට ඉන්න පුළුවන්නේ...

ඒ කිව්වේ?

මෙහෙමනේ ලොක්කා, හොඳ බිසී ටයිම් එකක් බලලා අපේ පොරක් ෂේප් එකේ නොදන්න ගානට පර්ස් එක හලාගන්නවා කාටවත් නොදැනෙන්න. එහෙම ලයින් ලේසියෙන් ගහන්න බැහැ. බජාර් එකේ හොඳ මීටරයක් වෙන්න ඕන ඒකට. පස්සේ කවුරු හරි ඒක අහුලගත්තම අපේ පස්සෙන් එන කෙනෙක් එයා අහුල ගන්නකම් ඉඳලා අපි ළං වෙලා අහනවා පර්ස් එකක් ඇහින්ද නේද කියලා? එතකොට අර පර්ස් එක වැටුණු අපේ කෙනත් එනවා. අපි කථාවෙලා තමයි මේක ගහන්නේ... පස්සේ තමයි අපි ඩ්‍රාමා එක ඇට් කරන්.නේ පර්ස් එකේ තිබ්බ සල්ලි නැති ගාණට අපේ සද්දෙටයි, ඇක්ටින් එකටයි කොහොමත් වටේට සෙනග ඇදෙනවා.... පර්ස් එක අහුලපු ඩයල් එක කොච්චර නැහැ කිව්වත් අපි කියන්නේම ඒකේ සල්ලි තිබුණා කියලා. අපි දාන ඇට් පාරට ඔය නළු නිළියෝ දාන්නේ ඇක්ටින්ද කියලා මල්ලිට හිතෙයි සීන් එක මුල ඉඳලා බලන් හිටිය නම්....

සල්ලි දෙනවද?

දෙනවා... දෙනවා... ඔය කවුරු හරි අමාරුකාරයෙක් හිටියොත් තමයි දෙන්නේ නැත්තේ. ඒත් ඉතිං අපි සාත්තරේ දන්නවා මොකක්ද කරන්න ඕන කියලා.... අපි මේ බජාර් එක ගැන දන්නවනේ. ඔය වගේ සූටින් පාරක් ගහන එක අපිට නතිං ලොක්කා. හැබැයි මෙහෙමයි අද කොළඹ නම් හෙට බොරුල්ලේ. අනිද්දා නාරහෙන්පිට. ඊළඟ දවසේ කඩවත. හැමදාම එකම පොට් එකේ කරන්නේ නෑ. අනික මේක හැමදාම එකම අය කරන්නෙත් නැහැ. එක එකා මාරැ වෙනවා.

එහෙම මාරු කරන්න ගොඩක් කට්ටිය ඉන්නවද?

අය්යෝ...! ඔයත් අහන කථා. මේ කොළඹ රුපියල් සීයක් දෙසීයක් විසී කරලා පඳුරකට පයින් ගැහුවත් ඩස්පි ඕනතරම් සෙට් කරගන්න පුළුවන්. දවසට දෙකක් ගහගත්තම ඇතිනේ මල්ලි. යන එකාට පන්සියක් දුන්නත් ඉතුරැවා අපිටනේ ලොක්කා...

එසේ කියපු ඔහු ලියුම්කරුගෙන් සමුගෙන මාවත දිගේ ඉදිරිය ඇදී නොපෙනී ගියේය.

අද සමාජයේ කෙරෙනා මගෝඩි බහුතරයක තිඹිරිගෙය පිටකොටුව බවට සාධක අවශ්‍යය නැත. හොරැ කපටි කෛරාටිකයන්ගෙන් බේරීමට බොහෝ දෙනෙක්ට හැකියාවක් නැත. මේ කොළඹ නූල් සූස්තරකාරයන්ගෙන් බේරී තමන්ගේ ජාම බේරා ගැනීමට කොළඹ යන එන අයද දැන සිටිය යුතුය.

 හසිත් අංජන