
ඇතැම් අය පුරුද්දකට මෙන් ලොතරැයි මිලදී ගනිති. තවත් අය ඉඳහිට ලොතරැයි පත් මිලදී ගෙන තම වාසනාව උරගා බලති. සමහරුන් තම දින චර්යාව ආරම්භ කරන්නේද දවසේ මුල්ම ගනුදෙනුව කරන්නේද ලොතරැයි සමගින්ය. උදෑසන ලොතරැයි කූඩු අසල සිටින පිරිස එයට සාක්ෂි සපයයි. අප මේ කතා කරන්නට යන පුද්ගලයාද ලොතරුයි හා බැඳුණු අරුම පුදුම චරිතයකි. ඔහු ලොතරැයිවලට කොතරම් සමීපද කිවහොත් ලොතරැයි මණ්ඩලය ආරම්භය සිටම ඔහු ලොතරැයි මිලදී ගෙන ඇති අතර එම ලොතරැයි මේ වනවිටත් ඔහු සතුව පවතී.
අපේ කතා නායකයා වන ඔහු නමින් ඊ.එම්.ඩී. බණ්ඩාර ඒකනායකයි. විවාහක පුද්ගලයෙකි. මේ වනවිට වයස අවුරුදු අසූවක් වන ඔහු විශ්‍රාමලත් තැපැල් නිලධාරිවරයෙකි. කලවාන දොළහේන ප්‍රදේශයේ පදිංචි ඔහු ලොතරැයි හා බැඳුණු ඔහුගේ කතාව දේශය පුවත්පතට මෙසේ දිගහැරීය.
මම ලොතරැයි ගන්න පටන් ගත්තේ ජාතික ලොතරැයි මණ්ඩලය ආරම්භ කරපු වර්ෂයේ ඉඳන්. ඒ 1962 වර්ෂයේදී. ඒ කාලේ ලොතරැයි පතක මිල සත පනහයි. මට මතක විදියට දිනුම ලක්ෂයක් වගේ දුන්නේ. ඊට කලින් මම 1959 වර්ෂයේ කර්මාන්ත ප්‍රදර්ශනය වෙනුවෙන් ගහපු කර්මාන්ත ලොතරැයිය මිලදී ගත්තා. එදා ඉඳන් අද දක්වා අඛණ්ඩව ලොතරැයි පහ බැගින් දිනපතා මම මිලදී ගන්නවා. අවුරුදු 68ක් වගේ එක දිගටම මම ලොතරැයි මිලදී ගන්නවා. ඒ වගේම ඒ ලොතරැයිපත් මම විසි කරන්නේ නැහැ. එකතු කරනවා. 1962 සිට අද දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන වාසනා ලොතරැයිපත් මා ළඟ තිබෙනවා. මම හිතන්නේ නැහැ මේ එකතුව වෙනත් කෙනකු ළඟ ඇති කියලා. එදා සිට අද දක්වා මම ලොතරැයි පත් මිලදී ගත්තත් සුළු සුළු දිනුම්වලට ඇරෙන්නට ලොකුම දිනුමක් විදියට මට ලැබුණේ රුපියල් දස දහසක දිනුම් මුදලක්. මම හරිම ආසාවෙන් කැමැත්තෙන් මේ දෙය කරන්නේ. මමත් සමාජ සේවකයෙක්. ඒ වගේම විශ්‍රාමිකයෙක්. මම මේ ලොතරැයි මිලදී ගන්නේ දිනුම් බලාගෙන නම් නෙමෙයි. ලොතරුයි මණ්ඩල දෙක මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ලොකු දායකත්වයක් දරනවා. විශේෂයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය සංවර්ධනය වගේ දේවල් ලොතරුයි මණ්ඩලය හරහා සිදුවෙනවා. ඒ අපි ගන්න ටිකට්පත් වලින්. මම පුදුම විදියට ආත්ම තෘප්තියක් සතුටක් ලබනවා. මමත් පුංචි මුදලකින් හරි ඒ දෙයට දායක වීම සම්බන්ධව.

මම ලොතරැයි පත් මිලදී ගන්න පටන් ගන්නකොට කලවාන ප්‍රදේශයේ ලොතරැයි අලෙවිසල් තිබුණේ නැහැ. නිවිතිගල සින්නයියා ස්ටෝර්ස් එකේ තමයි ලොතරැයි මිලදී ගන්න තිබුණෙ. මම බස් එකේ ගිහිල්ලා ලොතරැයි අරන් එනවා. එහෙම නැතිනම් කාව හරි යවලා දිනපතා ලොතරැයි අරන් එනවා. එදා සිට අද දක්වා විවිධ නම් වලින් ආපු ලොතරැයි පත් මගේ ළඟ තියෙනවා. පස්සේ කලවාන ප්‍රදේශයේ පී.ඩී.ටී. ලත්පඳුර මුදලාලි රණසිංහ හෝටලයේ ලොතරැයි අලෙවි කරන්න පටන් ගත්තා. එදා සිට අද දක්වා මම එතැනින් ලොතරැයි මිලදී ගැනීම කරනවා.
දැන් මගේ දරුවොත් ලොතරැයි මිලදී ගන්නවා. මමත් මගේ ජීවතුන් අතර ඉන්නකම් ලොතරැයි ගන්නවා. ඒකයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම මට හැකි පමණින් අනුන්ට උපකාර කරලා සමාජ සේවය කරනවා. මම මේ වෙනකොට මගේ වියදමින් ගමට, ප්‍රජා ශාලාවක් හදලා තියෙනවා. ඉදිරියේදීත් සමාජ සේවා කටයුතුවල නිරත වීමයි බලාපොරොත්තුව.
බණ්ඩාර මහතා සන්තකයේ මේ වනවිට ලොතරුයි මණ්ඩලය ආරම්භයේ සිට අද දක්වා නිකුත් කරන ලද ලොතරැයි විශාල සංඛ්‍යාවක එකතුවක් තිබේ. එයට අමතරව ඔහු එදා සිට අද දක්වා බස් රථයක ගියත් එම බස් රථයෙන් නිකුත් කරන ටිකට්පතද ඔහු ආරක්ෂා කරගෙන ළඟ තබාගෙන සිටී. ඒ වගේම පුවත්පත් ආරම්භයේ සිට අද දක්වා නිකුත් වන පැරණි සහ අලුත් පුවත්පත් එකතුවක්ද ඔහු සතුව පවතී. ඔහු ලොතරැයි මිලදී ගැනීමෙන් බලාපොරොත්තු වන්නේද ඔහුගේ පෞද්ගලික වාසියක් තකා නොවේ. රටේ පොදු ජනතාවගේ සුබ සිද්ධිය බලාපොරොත්තුවෙනි. එය උදාර චේතනාවකි.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම