
ශ්‍රී ලාංකික ජනතාවට මසකට ගිනිපෙට්ටි ලක්ෂ 05ක අවශ්‍යතාවයක් පැවතුණත් අද වන විට ශ්‍රී ලංකාවේ ගිනිපෙට්ටි නිෂ්පාදනයට කණකොකා හඬන අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වී ඇතැයි සමස්ත ලංකා ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය කියයි. ගිනිකූරු නිපදවීමට අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වන රතු පොස්පරස් සහ පොටෑසියම් ක්ලෝරේට් යන රසායනික ද්‍රව්‍ය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තකරුවන්ට නොලැබී යාම නිසා මේ තත්ත්වය උද්ගතව තිබේ. මේ හේතුවෙන් දේශීය ගිනිපෙට්ටි කර්මාන්තය මාස ගණනාවක සිට අකර්මණ්‍ය වීමේ තත්ත්වයකට පත්ව ඇති බව ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තකරුවෝ පවසති.
ලංකාවේ ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ආයතනවලින් වැඩිම කර්මාන්ත ශාලා පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කය තුළය. මහනුවර කර්මාන්ත ශාලා 08 ක් තිබේ. පස්යාල සහ නිට්ටඹුවේ කර්මාන්ත ශාලා දෙකක් පිහිටුවා ඇත.
මෙම සෑම කර්මාන්ත ශාලාවකටම ගිනිකූරු නිපදවීමට අවශ්‍ය වන ප්‍රධානම අමුද්‍රව්‍ය වන රතු පොස්පරස් හා පොටෑසියම් ක්ලෝරේට් ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා නිෂ්පාදනය ඇණහිට තිබෙන බව සමස්ත ලංකා ගිනිපෙට්ටි කර්මාන්තකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික යූ.එම්. රහුමාන් මහතා පවසයි.
දේශීය ගිනිපෙට්ටියට තිබෙන තැන නැතිවී පිටරටින් (ඉන්දියාවෙන් හා චීනයෙන්) ගිනිපෙට්ටි සහ ලයිටර් මෙරටට ගෙන්වන යුගයක් ඉදිරියට ඇතිවේ යැයි මෙරට දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදනයේ නියැලී සිටින කර්මාන්තකරුවෝ බියෙන් පසුවෙති. දේශීය කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට හේතු පාදක වී ඇති කරුණු සම්බන්ධයෙන් ඔවුන් රජයේ ඉහළම බලධාරීන් දැනුවත් කර තිබේ. මෙම කර්මාන්තය අතරමග ඇදවැටී ආර්ථිකයටද සිදුවන හානි පිළිබඳව ගිනිපෙට්ටි නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලී සිටින සෑම පාර්ශ්වයක්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සිට සෑම වගකිවයුත්තකුටම දැනුම් දී තිබේ.
රටේ ප්‍රධානතම ආගමික නායකයන් වෙතද මෙම අර්බුදය දැනුම් දී ඇත්තේ එම ආගමික නායකයන් හමුවීමට රජයේ පාලක ප්‍රධානීන් නිතර දෙවේලේ ඔවුන් හමුවී ආශිර්වාද අවවාද අනුශාසනා ලබාගන්නා බැවිනි.
ලංකාවේ ගිනිකූරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු සේවක සේවිකාවන් ඇතුළු සියලු කාර්ය මණ්ඩල සංඛ්‍යාව 8000 ක් පමණ වන අතර ඔවුන්ගෙන් යැපෙන්නන් සංඛ්‍යාවද තිස්දහසක් පමණ වෙතැයි එම සේවක සේවිකාවෝ කියති.
ලංකා ගිනිපෙට්ටි කර්මාන්තකරැවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික යූ.එම්. රහ්මාන් මහතා
අපේ කර්මාන්තකරුවන්ගේ ගිනිපෙට්ටි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රජය මගින් ගෙන්වා වැලිසර නාවික හමුදා කඳවුරු මූලස්ථානයේ ගබඩා කර තබා කිසියම් ක්‍රමවේදයකට අනුව ගිනිකූරු නිෂ්පාදනයේ නිරත වී සිටින්නන්ට බලපත්‍රයක් මත මාස දෙකකට සෑහෙන ප්‍රමාණයක් රතු පොස්පරස් හා පොටෑසියම් ක්ලෝරේඩ් අමුද්‍රව්‍ය බෙදා දෙනවා.
මේ අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වීමේදී කිසියම් ටෙන්ඩර් අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවටත් තොරතුරු ලැබුණා. රජය මගින් ගෙන්විය යුතු මෙම වෙඩිබෙහෙත් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දුෂ්කර තත්ත්වයක් මතුවී තිබෙනවා. මේ තත්ත්වය අප දැනගෙන සිටියා. අපි මේ සම්බන්ධව අදාළ අංශ වෙත දැනුවත් කළා. ඒත් දැන් ප්‍රශ්නය උග්‍රවෙලා තිබෙනවා. ගිනිකූරු නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නැතිකමත් සමඟ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු ඇණහිටියා. ඒ සමඟ සේවක සේවිකාවන්ට රුකියා ලබාදීමත් ප්‍රශ්නයක් වුණා. නිෂ්පාදනය අඩාල වුණ නිසා සේවක සේවිකාවන්ට පඩි දෙන්න බැරිවීමත් සමඟ ඔවුන් රැකියාවලින් ඉවත් වුණා.
දැන් අපට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබුණත් ප්‍රමාදවෙලා හරි ඉවත්ව ගිය සේවක සේවිකාවන් සොයාගෙන නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තවත් කාලයක් ගතවෙනවා.
අපි මේ අමුද්‍රව්‍ය ප්‍රශ්නය ගැන මාස තුනකට කලින් ජනාධිපතිතුමාවත් හමුවී දන්වා සිටියා. ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාටත් දැනුම් දුන්නා. කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාව හමුවී එතුමාටත් කරුණු දැනුම් දුන්නා. අමාත්‍යවරයා අවශ්‍ය කටයුතු කළා. ජනාධිපතිතුමා මාර්ගයෙන් කැබිනට් මණ්ඩලය දක්වා දැනුවත් කිරීම් කළා. අවසානයේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් ගෙන්වීමට සාකච්ඡා කළා. ඒවා සාර්ථක වුණේ නැහැ. දැන් ඉතින් ලංකාවේ රජය සතු ගබඩාවල අමුද්‍රව්‍ය නැහැ. මාස තුනකට අවශ්‍ය අමුද්‍රව්‍ය රජය විසින් ගෙන්වාගෙන ගබඩා කරල තිබුණා නම් මේ අර්බුදය මතුවන්නේ නැහැ.
පුපුරන ද්‍රව්‍ය නිසා මේ අමුද්‍රව්‍ය පෞද්ගලික සමාගම්වලින් මෙරටට ගෙන්වීමට බලයක් නැහැ. එම නිසා රජය දැන්වත් වහා මැදිහත් වී ගිනිකූරු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය (රතු පොස්පරස් හා පොටෑසියම් ක්ලෝරේඩ්) රටට ගෙන්වා අපට ලබාදිය යුතුයි.
ගිනිකූරු - ගිනිපෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ඉන්දියාව, චීනය වැනි රටවල්වලින් මෙරටට ගෙන්වීමේදී ඒ සඳහාද රජයට සියලු බදු තමන් ගෙවන බවද පැවසූ රහුමාන් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද කීය.
අපි රජයට මුදල් ලබාදෙන්නත් කැමතියි. අපට ගිනිකූරැ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටොන් 100ක්වත් දැනට ලබාදිය යුතුයි. නැත්නම් ගිනිපෙට්ටි කර්මාන්ත ශාලා සියල්ල වැසීගොස් දස දහස් ගණනකට රැකියා අහිමි වී ඔවුන්ට මහපාරට බහින්න සිද්ධවේවි.
දැනට ලංකාවේ ඉතිරි වී තිබෙන්නේ දේශීය සුළු කර්මාන්ත ව්‍යාපාර කිහිපයක් පමණයි. මේ තත්ත්වය ඉදිරියට පැවතියහොත් කර්මාන්ත සියල්ල වැසී යාමට ඉඩ තිබෙනවා. අපේ මිනිස්සුන්ට රස්සා නැතිවී පිටරටවල්වලින් ගිනිපෙට්ටි හා ලයිටර් ගෙන්වන්න සූදානම් වනවද? කියල අපට සැකයක් මතුවෙනවා. ආණ්ඩුව එක් පැත්තකින් කර්මාන්ත දියුණු කරන්න උත්සාහ දරමින් සිටියදී මේ විදියට අවශ්‍ය රසායනික අමුද්‍රව්‍ය නොමැති වීම නිසා ගිනිකූරු නිෂ්පාදන කර්මාන්තය අතරමග කඩා වැටුණොත් රජයට ලැබෙන ආදායමක් නැතිවී විශාල පිරිසකට රැකියාත් නැතිවනවා.
අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ ප්‍රශ්නයට මැදිහත් වී දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන්න සහාය දෙන්න කියල. දැනටමත් මෙම කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්ත හිමිකරැවන් බැංකුවලින් විශාල ලෙස ණයට මුදල් අරගෙන ඒ මුදල්වලට පොලී ගෙවනවා. යන්ත්‍ර සූත්‍ර පමණක් නෙවෙයි කල්බදු ලීසිං ක්‍රමය යටතේ යන්ත්‍ර සූත්‍ර හා වාහන මිලදී ගෙන තිබෙනවා. ඒවාට මුදල් ගෙවීමත් ඇණහිටින තත්ත්වයක් උද්ගතවෙලා තිබෙනවා. අවසානයේ මේ කර්මාන්තකරැවන්ට ඔවුන්ගේ කර්මාන්ත ශාලා වසා දමල පාරට බහින්න තමයි සිද්ධවෙන්නේ. දැන් ආණ්ඩුවේ සමහරැන් මේ ප්‍රශ්නයට විසඳුම් දෙනවා වෙනුවට එක එක පැත්තට බෝලේ පාස් කරනවා. ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නේ නැහැ.
වෙළෙඳපොළේ දැනට තිබෙන ගිනිපෙට්ටි විකිණී අවසන් වීමත් සමඟ වෙළෙඳපොළේ ගිනිපෙට්ටි හිඟයක් ඇතිවී ගිනිපෙට්ටි මිල අධික ලෙස ඉහළ යාමටත් මෙම අමුද්‍රව්‍ය කර්මාන්තකරුවන්ට නොසැපයීම නිසා සිදුවිය හැකි බවට තමන් රජයට දන්වා සිටින බවද ගිනිකූරු නිෂ්පාදන කර්මාන්ත ආයතන හිමිකරුවෝ පැවසූහ.
ගිනිකූරු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය පිළිබඳව කර්මාන්තකරුවන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදෙන බවකි.
තම කර්මාන්ත ශාලා රැකගැනීමටත් එම කර්මාන්තය තුළින් ජීවනෝපාය මාර්ග සලසා ගන්නා දස දහස් සංඛ්‍යාත රැකියාවෙහි නියුතු පිරිස් සහ ඔවුන්ගෙන් යැපෙන දරුපවුල් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර දැනට අඩපණ වී තිබෙන රසායනික අමුද්‍රව්‍ය කඩිනමින් ගෙන්වා තමන් වෙත ලබාදීමට මැදිහත් වන්නැයි ගිනිකූරු නිෂ්පාදන කර්මාන්තකරැවෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.
පසුගියදා (17) ගිනිකූරු නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු දහස් ගණනක සේවක සේවිකාවෝ විරෝධතා පුවරු හා බැනර් රැගෙන මහනුවර නගරයට එක්රොක් වී දැවැන්ත උද්ඝෝෂණයක්ද පවත්වා අවසානයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් රජයට බාරදෙන ලෙස දන්වා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සංදේශයක්ද බාරදුන්හ.
ඔවුන්ගේ මෙම දැවැන්ත විරෝධතාවය නිසා මහනුවර නගරයේ ජනතාවගේ දෛනික කටයුතුවලටද පැය කිහිපයක් බාධා එල්ලවී නගරයේ සියලුම මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී මහජනතාවටද දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවිය. ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ලංකා ගිනිපෙට්ටි හා ගිනිකූරු නිෂ්පාදන කර්මාන්තකරැවන්ගේ සංගමය විසින් ආරක්ෂක ලේකම්වරයාටත්, ආනයන අපනයන පාලකවරයාටත්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාටත්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත්, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය පුපුරණ ද්‍රව්‍ය පාලකවරයාටත් දැනුම් දී එම නිලධාරීන්ද දැනුවත් කර තිබේ.
ජේ.ඒ.එල්. ජයසිංහ