
මෙරට මුල්ම ගම් සලකුණු කළ පාලකයා වූයේ පණ්ඩුකාභය රජතුමාය. පණ්ඩුකාභය රජතුමාගේ පාලන යුගයේ නගරය පාලනයට නිලධරයන් යෙදුවාක් මෙන්ම ගම්මානද බෙදා වෙන්කොට පාලනය කරනු ලැබීය. එකල ගම් දහයක් එක්කොට “දසගම්” යනුවෙන් තරමක පුළුල් පාලන ඒකකයක්ද විය. ගමේ පාලකයා හැඳින්වූයේ ගමික, ගම්ලද්දා හා ග්‍රාමභෝජක යන නම්වලිනි. රොබට් නොක්ස්ට අනුව ඔහු මහනුවර ප්‍රදේශයට යනවිටද එහි ගම් සභා ක්‍රමය ක්‍රියාත්මක වූ බව කියයි.
එදා මහජන සේවය සඳහා පිවිසියේ ඒ ඒ ප්‍රදේශවල උගතුන්, බුද්ධිමතුන්, දානපතියන් යමක් කමක් තිබූ සමාජයේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රභූන්ය. ගම් සභාවල සභාපතිවරු නියෝජිතයන් (මැම්බර්) අතලොස්සක් වූ නගර සභාවල නගරාධිපතිවරුන් හා නාගරික මන්ත්‍රීවරුන්ද සිය මහජන සේවාවන් ඉටුකළේ වැටුප් දීමනා නොමැතිවය. ඒවා ලබාගැනීම මදිපුංචිකමක් ලෙස ඔවුන් විසින් සැලකිණි. සමාජයේ ගෞරවයට පාත්‍ර වී ප්‍රභූන් ලෙස ඔවුන් ලැබූ බුහුමන්වලට දැඩි ගරුත්වයක් මෙන්ම ආදරයක් දැක්වූ බව නොරහසකි.
නමුත් මේ තත්ත්වය අද වනවිට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. රටේ උත්තරීතර ආයතනය වූ පාර්ලිමේන්තුවේ සිටිනා ඇතැමුන් කරන විවිධ අකටයුතුකම් මේ වනවිට පුංචි ඡන්දයෙන් පත්ව ආ ගම්මානයේ ජනතාවගේ නියෝජිතයන්ද සිදු කිරීමට පටන්ගෙන ඇති බව අද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අනාවරණය කරන අයුරුද අපි දකිමු.
ඡන්දයට පෙර ඡන්ද වේදිකාවල ගමේ පාලම, බෝක්කුව, පාර හදා දෙනවා යැයි පොරොන්දු වූ බොහෝ දෙනෙකු ඡන්දයෙන් තේරී පත්වූවාට පසු තමන්ගේ ඡන්දදායකයා හමුවීමට යන්නේද කලාතුරකිනි. තමන්ගේ දීමනා වැඩිකර ගැනීම මිස ජනතාවට ගමට සේවයක් කරන්නට ඔවුන් පෙළඹෙන්නේ කලාතුරකිනි. නමුත් මහජන සේවයට සිය වැටුප පරිත්‍යාග කරන මන්ත්‍රීවරුද ඒ අතර සිටිති.
මෙරට ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ගත්කළ කොළඹ මහ නගර සභාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නගරාධිපතිනියගේ නිල නිවසේ වැසිකිළි අලුත් වැඩියාවට ලක්ෂ 57ක් ඉල්ලීම, කොළඹ නගරයේ අයාලයේ යන සුනඛයන් අල්ලා විනාශ කිරීම යන පුවත් ජනතාව අතර කාලයෙන් කාලයට කතාබහට ලක්විය. මෙවර ජනතාව අතර නැවතත් කොළඹ මහ නගර සභාව පිළිබඳ කතාබහක් නිර්මාණය වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී දීමනා වැඩි කිරීමට පුරපතිනිය ගෙන ආ යෝජනාවත් සමඟය.
කොළඹ මහ නගර සභා ජනතා විමුක්ති පෙරමුණ නාගරික මන්ත්‍රී වෛද්‍ය රනිල් ජයසේන ඒ ගැන මෙසේ අදහස් දැක්වීය.
“ඇත්තටම කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී දීමනා වැඩිකරන්න යන රාවයක් තිබුණා. ඒ සම්බන්ධ වැඩිකරපු ගණන් දාලා යෝජනාවක් ආවා. අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට ඒකට විරුද්ධයි. මොකද මහජනතාවගේ බදු මුදල් මේ විදියේ මන්ත්‍රීවරුන්ගේ සුඛවිහරණයට හිතුන හිතුන වෙලාවට වැඩිකරන එක අපි අනුමත කරන්නේ නැහැ. මොකද අපි ජනතාවට කියලා එන්නේ මහජන සේවයක් කරනවා කියලා. නමුත් තේරිලා ඇවිල්ලා මේ දීමනා වැඩිකර ගන්නවා. කලින් මන්ත්‍රීවරු 53ක් හිටියේ. නමුත් දැන් 119ක් ඉන්නවා. එහෙම වැඩිකරාම කීයක් වැඩි වෙනවද? අනික කොළඹ වගේ තැනක මේ විදියට වැඩිකරපු ගමන් අනෙක් ප්‍රාදේශීය සභාවලත් ඔය විදියට යෝජනා ගෙනල්ලා මුළු ලංකාව පුරාවටම එන්න පුළුවන්. ඒ නිසා අපි මේ යෝජනාවට විරැද්ධයි.”
පුරපතිනිය ගෙන ආ මේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති අතර එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනා පමණි.
මේ අනුව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට ලබාදෙන මාසික දීමනාවට අමතරව මාසිකව ලබාදෙන දුරකතන දීමනාව, ගමන් දීමනාව සහ තැපැල් ගාස්තු දීමනාව වශයෙන් මෙතෙක් ලබාදුන් රුපියල් 13,000ක මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නංවා ඇති අතර නාගරික මන්ත්‍රීවරයෙකුට මෙතෙක් දුරකථන දීමනාව ලෙස රුපියල් 6000ක් ලැබුණු අතර එම දීමනාව රුපියල් 10,000ක් දක්වා ඉහළ නංවා තිබේ.
එසේම ගමන් වියදම ලෙස ලැබුණු රුපියල් 6000ක දීමනාව රුපියල් 12,000ක් දක්වාත් රුපියල් 1000ක්ව තිබූ මුද්දර හා තැපැල් දීමනාව රුපියල් 3000 දක්වාත් වැඩිකරගෙන ඇත. ඒ අනුව මන්ත්‍රීවරයෙකුට සිය මාසික දීමනාව වන රුපියල් 20,000ක මුදල සමග වැඩි වූ මෙම රුපියල් 25,000ක් සමග රුපියල් 45,000ක මුදලක් සම්පූර්ණ දීමනා ලෙස ලැබේ.
කොළඹ නගර සභා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ:
කොළඹ මහ නගර සභාව තමයි ලංකාවේ තියෙන ලොකුම මහ නගර සභාව. ඒ මහ නගර සභාව රුපියල් ට්‍රිලියන වැඩකටයුතු ජනතාව වෙනුවෙන් කරනවා. මිලියනයකට අධික ජනතාවට සේවය සපයනවා. ඉතින් ලංකාවේ තියෙන අනෙක් සභා එක්ක මේක සංසන්දනය කරන්න බැහැ. බොහොමයක්. අපේ මේ මන්ත්‍රීවරු පූර්ණකාලීනව නගර සභාවේ වැඩකරනවා. ඉතින් ඒ අයට ලොකු සාධාරණයක් ඉටුකරන්න තමයි ඔය දෙන දීමනා සුළු මුදලකින් වැඩිකළේ. මම ඒක වැරුද්දක් විදියට දකින්නේ නැහැ.”
මෙම දීමනා වැඩි කිරීමට පෙර කොළඹ මහ නගර සභාවට අලුතින් පත්වන මන්ත්‍රීවරැන්ට වැටුප් ගෙවීමට රුපියල් ලක්ෂ 22ක් පමණ වැයවන බව ගණන් හදා තිබිණි. මෙම නව දීමනාත් සමගම එම මුදල තවත් ඉහළ යනු ඇත.
කොළඹ මහ නගර සභා මන්ත්‍රී හේමන්ත වීරකෝන් ජනතා විමුක්ති පෙරමුණ:
“මහ නගර සභාවෙන් යෝජනාවක් ගෙනාවා. මේ මන්ත්‍රීවරුන්ට දෙන දීමනා වැඩි කරන්න ඕන කියලා. නමුත් ඒකට ජනතා විමුක්ති පෙරමුණේ සිටින මන්ත්‍රීවරු ඇරෙන්න එම යෝජනාවට අනිත් සියලුම දෙනා කැමැත්ත පළකළා. අපි පක්ෂයක් හැටියට කිව්වේ මේ වැඩිවීම අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා මේ මුදල යොදවමු කියලා. ජනතාවගේ වැඩකටයුතු කරගෙන යන අවස්ථාවේදී තව තවත් ඒ කටයුතු කරනවා නම් එලෙස වැඩි කරාට කමක් නැහැ. නමුත් ජනතාවගේ වැඩ එහෙම ඉටු නොකර මේ විදියේ දීමනා වැඩිවීම අපි අනුමත කරන්නේ නැහැ.
මෙම මන්ත්‍රී දීමනා සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී අසාද් සාලි මහතාගෙන්ද දේශයේ අපි විමසීමක් කළෙමු.
“මේක මන්ත්‍රීවරුන්ට දෙන දීමනාව. ඒක වැඩිකරා නම් හොඳයි කියලා හිතනවා. කොහොමත් ගමන් වියදම් එහෙම ටිකක් වැඩිවුණා නම් හොඳයි. ඊළඟ සභාවාරයේදී අපි මේක කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
මෙම යෝජනාව සම්බන්ධව වැඩිදුර තොරතුරැ දැනගැනීමට කොළඹ පුරපතිනිය වූ රෝසි සේනානායක මහත්මිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කිහිපවිටකදී උත්සාහ දැරුවද අපගේ එම උත්සාහය ව්‍යර්ථ විය.
►හසිත් අංජන