
ජනප්‍රිය රංගන ශිල්පියෙක්ව සිටි ඉන්දික ගිණිගේ නම් කලාකරැවා සදහටම දිවි රඟමඩලින් නික්ම ගොස් අවසන්ය. 2001-2010 කාල වකවානුවේ මෙරට ජනප්‍රිය නළුවෙක් වූ ඔහු ටෙලිනාට්‍ය හැටකට වඩා වැඩි ප්‍රමාණයකට සහ චිත්‍රපට තුනකට පමණක් රංගනයෙන් දායකත්වය ලබාදී ඇත. පසුකාලීනව රංගන ජීවිතයෙන් ඈත් වූ ඔහු මෙලොවින් වෙන්වන විට දිවි ගමනේ 37 වන කඩයිම පසුකර තිබුණි. දිවි ගමනේ හැල හැප්පීම් බාධක මැද ඉදිරියට ආ මේ කලාකරුවා ගැන අප මේ සටහන තබන්නේ දහස් සංඛ්‍යාත මිනිසුන් පිනවූ කලාකරුවකුට හිමිවිය යුතු ගෞරවය පිණිසය.
ඉන්දික ගිණිගේගේ මරණය සිදුවන්නේ යම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් ලබාගත් නිසාවෙන් බව කියැවේ. ඒ පිළිබඳ තොරතුරු වාර්තා වෙන පරිදි මරණය සිදුවීමට දින කිහිපයකට පෙර ඉන්දික ත්‍රිරෝද රථ අනතුරකට මුහුණ පා ඇත. ඒ හේතුවෙන් ඔහුට තුවාල සිදු වී ඇති අතර පසුගිය දිනවල ඔහු ගමන්කර ඇත්තේ කිහිලිකරු උපකාරයෙනි. මරණය සිදුවන දිනයේ දී ඔහු යම් ගමනක් ගොස් නිවසට පැමිණ ඇති අතර රාත්රියේදී තුවාල නිසා ඇතිවූ වේදනාව හේතුවෙන් අධි මාත්‍රාවෙන් වේදනා නාශක ලබා ගැනීමෙන් මෙම මරණය සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මිය යනවිට ඉන්දික ගිණිගේ මහනුවර දොඹවෙල අනියවත්ත ප්‍රදේශයේ තම පියා සමඟ ජීවත් වී තිබේ. පියා ඉන්දික සිටි කාමරය තුළින් ප්‍රතිචාරයක් නොවීම නිසා ඔහු ගැන සොයාබලා තිබේ. කාමරය විවෘත කර බලන විට සිහිසුන්ව සිටි ඔහු පසුව අසල්වාසීන් සමඟ එක්ව මහනුවර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවක් සඳහන් වෙයි.
ඉන්දික ගිණිගේ මෙලෙස දිවි අඹරෙන් බැස ගියද ඔහු පිළිබඳ මතක කලා ලෝකයේ ඉතිරිව පවතී. ප්‍රකට කලාකරුවෙකු වන බුද්ධික රඹුක්වැල්ල ඉන්දික ගිණිගේගේ පාසල් වියේ පටන් මිතුරෙකි. ඉන්දික පිළිබඳව මතකයන් අවදි කරන්නට බුද්ධික රඹුක්වැල්ල අප සමඟ එකතු විය.
බුද්ධිකට අනුව ඉන්දික ගිණිගේ යනු ජීවිතය සැහැල්ලුවෙන් ගතකළ හොඳ පවුල් පරිසරයකින් පැමිණි චරිතයකි. ඉන්දික මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දෙදහස වර්ෂයේ උසස් පෙළ කණ්ඩායමේ සිසුවෙකි. බුද්ධිකට ඉන්දික හමුවන්නේ 1998 වර්ෂයේ දීය. එම කාලයේ ඩ්‍රැගන්ස් නමින් සංගීත කණ්ඩායමක් ඉන්දික ගිණිගේ, බුද්ධික ඇතුළු තවත් මිතුරන් කිහිප දෙනෙක් එකතුව ආරම්භ කර තිබේ. එම සංගීත කණ්ඩායමේ ඉංග්‍රීසි ගීත හා වේරලියැද්ද මහතාගේ ගීත ගායනා කර ඇත්තේ ඉන්දිකය. ඉන්දිකගේ වාහනවලින් ගමන් බිමන් ගිය හැටි, ගිණිගේගේ නිවසේ නැවතී එම පවුලේ උදවිය සමඟ ගතකළ කාලය හා ඔවුන් සමගින් ඒ කාලයේ සිටි මිතුරන් පිළිබඳවද බුද්ධික රඹුක්වැල්ල මහතා සිහිපත් කරයි.
අනූ අටේ ඉඳන් ජීවිත රෝදෙ වගේ එක එක නාට්‍යවලට ගියා. මේ කාලේ ඉන්දික කිය කියා හිටියා මටත් මොකක් හරි රඟපාන්න චාන්ස් එකක් තිබ්බොත් කියපන් කියලා. නමුත් මටත් මුල් අවස්ථාවේ තව කෙනෙක්ව නිර්දේශ කරන්න අවස්ථාවක් තිබුණේ නෑ ඇත්තටම. කොහොම හරි 2002 වගේ වෙනකොට ඉන්දිකත් විවිධ අධ්යක්ෂවරු සමඟ මිතුදම් ඇති කරගෙන ක්ෂේත්රයට ආවා. මට ඉන්දිකට උදව්වක් කරන්න හම්බවුණේ නෑ. නමුත් ඉන්දික ජීවිතේ උදව්වක් ඉල්ලුවා නම් ඉල්ලුවේ මගෙන්.
ගායන කුසලතාවය නිසා ඔහු විවිධ වැඩසටහන් හරහා රෑපවාහිනී කලා ක්ෂේත්රයේ ඉදිරියට ගියේය. පසුව ඇතිවූ ගැටලු කිහිපයකටද ඉන්දිකට මුහුණදීමට සිදුවිය. එහෙත් ඒ සියල්ල පිටුපස ඉන්දික කන බොන මිනිහෙකු වීම පවතින බව බුද්ධිකගේ අදහසයි. පසුකාලීනව රංගනයෙන් වෙන්වූ ඉන්දික ගිණිගේ ඇඟලුම් කම්හල් ආශ්‍රිතව මානව සම්පත් කළමනාකරණ අංශයේ රැකියාවල නිරත වූ බව පැවසේ.

සෙනසුරු මාරුව, සැලමුතු පින්න වැනි චිත්‍රපටවල ඉන්දික ගිනිගේ රංගනයෙන් දායක වූ අතර මායා සේයා, සිටුමැදුර, පූජාසනය ආදී වූ ටෙලි නිර්මාණ රාශියකටද ඔහු දායක වී තිබේ. ඔහු ගායන ශිල්පියකු ලෙස සංයුක්ත තැටියක් ද එළිදක්වා තිබේ. මියයන විට ඔහු එක්දරු පියෙක් ද විය. ඉංග්‍රීසි, සිංහල, දමිළ යන භාෂාවන් හොඳින් හැසිරවිය හැකි වූ මෙම කලාකරුවාගේ හදවත තුළ යහපත් සුන්දර මිනිසෙකු ජීවත්ව ඇත. ඔහුගේ දේහය අභියස දෑස් දන්දුන් බවට තබා තිබූ සහතිකය එහි එක් සාක්ෂියක් පමණි. ඔහුට ඔහු හඳුනාගන්නටත් රටට ඔහු හඳුනාගන්නටත් ඇතැම් විට කාලය මදිවූවා විය හැකිය.
චමිඳු නිසල් ද සිල්වා