2018 ජුලි 28 වන සෙනසුරාදා

අල්ලස් දැලේ පැටලුණ ආනයන අපනයන ලොක්කා!

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 326

ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව යම් සීමිත පිරිසක් ගනුදෙනු කරන ඔවුන්ට සමීප ආයතනයකි. ඇතැමුන් මේ ආයතනය හඳුනනවා වුවත් සමහරුන් එවැන්නක් ගැන දන්නේ නැති ගාණය. දන්නා නොදන්නා කාගේත් අවධානය ඒ වෙත යොමු වූයේ ආනයන අපනයන පාලකවරයා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ට කොටුවීමෙන් පසුවය. රාජ්‍ය පරිපාලන සේවයේ දෙවැනි ප්‍රධාන තනතුර වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මෙන්ම රාජ්‍ය සංස්ථාවක සභාපතිකම ද රජයේ ඉහළම තනතුරැය. මෙවැනි ධූර දරන්නෝ උගත් බුද්ධිමත් හා විනයගරුක රාජ්‍ය නිලධාරීහු විය යුතු බව ජනතාවගේ විශ්වාසයයි. ඔවුන් සොරුන් හෝ දූෂිතයන් බවට කිසිවෙක් සැක නොකරති. එහෙත් පසුගිය දිනෙක ඒ ඉහළ නිලධාරීන් ද අල්ලස් ගැනීම හෙළිවීමත් සමඟ එම වෘත්තීය ගරුත්වය දියවී ගියේය. මේ ගොඩට එක්වූ අලුත්ම තනතුර ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලන හා ප්‍රතිපත්ති පාලකවරයාය.

ආනයන හා අපනයන බලපත්‍ර පාලනයට යටත් කළ භාණ්ඩ සඳහා ආනයන හා අපනයන බලපත්‍ර නිකුත් කිරීම සහ හර කිරීම මේ ආයතනය මගින් සිදු කරයි. ඒ අනුව ඖෂධ, විදෙස් රටවල භාවිතා කළ වාහන හා අමතර කොටස්, රසායන ද්‍රව්‍ය, සන්නිවේදන උපකරණ, විවිධ ආනයන ද්‍රව්‍ය හා විවිධ ද්‍රව්‍ය ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ආනයන අපනයන බලපත්‍ර සංශෝධනය කිරීම මෙන්ම ප්‍රමිතිකරණයක් ගැසට් කිරීම වාණිජ බැංකුවලට ආනයන පාලන රෙගුලාසි සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීම සහ ආනයන හා අපනයන පිළිබඳව රජය විසින් කලින් කලට ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට අදාළව රෙගුලාසි සකස් කිරීම හා ප්‍රසිද්ධ කිරීම මේ ආයතනය සතු වගකීමකි.

මේ කතාවේ කෙළවර ඇත්තේ වාහන සහ වාහන අමතර කොටස් සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීමයි. මෙහිදී විදේශයක වසර දෙකක පමණක් භාවිත කොට ඉවත් කළ වාහන ගෙන්වීම සඳහා අවසර ලබාදෙයි. ඒවා ගෙන්වීම සඳහා අවසර ලැබෙන්නේ මෙරට ලියාපදිංචි ආයතන වෙත පමණි. ඒ සඳහා අනුමැතිය ලැබෙන්නේ ආනයන අපනයන පාලක ජෙනරාල්වරයාගේ අත්සන යටතේය. නොඑසේනම් ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරිට ඉහළ තනතුරකින් කරන නියමයකට අනුව අවසරය දීම සිදුකෙරේ. මේ හැර වාහන ගෙන්වන ආයතනයක් නොමැතිව පෞද්ගලික වශයෙන් විදේශයෙන් වාහනයක් ගෙන්වීම සිදු කළ නොහැකිය.

ආනයනය සහ අපනයන පාලන දෙපාර්තමෙන්තුවට සම්බන්ධ දේශපාලනඥයකුට සහ ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයට හිතවත් ආධාරකාරිනියකි. ඇයට හදිසියේ පිළිකා රෝගය වැළඳිණි. ප්‍රතිකාර සඳහා අධික වියදමක් දැරීමට සිදුව ඇති අතර එය සොයා ගැනීමට ක්‍රමයක් තිබී නැත. අදාළ කාන්තාව මේ බව දේශපාලනඥයාට දැන්වූ පසුව ඔහු උපකාරයක් කිරීමට ඉදිරිපත්ව ඇත. ඒ අනුව ජපානයේ භාවිත කළ වාහනයක් මෙරටට ගෙන්වා අලෙවි කර මුදල් ලබාගෙන ප්‍රතිකාර සඳහා යොදවන්නට ඔහු ඇයට අවස්ථාව සලසා දී ඇත. 

ඒ අනුව කාන්තාවට කරුණු දක්වා වාහනය ගෙන්වීමට අවසරය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු ඔහු විසින් සම්පාදනය කොට ඇත. ඉන් පසුව පෙර කී කාන්තාව වාහනය ගෙන්වීමට කටයුතු කර තිබුණේ ජපානයෙනි. ඒ සඳහා නියමිත ක්‍රමවේදය අනුව මෙරට ලියාපදිංචි වාහන ආනයන සමාගමක් වෙත යොමුවිය යුතුය. අදාළ කාන්තාව ඒ සඳහා වැලිගම ප්‍රදේශය ආයතනයක් තෝරාගෙන ඊට අවශ්‍ය ලියකියවිලි ලබාදුන්නාය.

එම ආයතනයේ ඉදිරි කටයුතු සිදුකෙරෙන්නේ අතරමැදියකු මාර්ගයෙනි. ඔහු බ්‍රෝකර්වරයෙකි. ජපන් රටේ සිට ලංකාවට වාහන එවන එරට ලියාපදිංචි ආයතනයකි. ඒ අනුව ලංකාව හා ජපානය අතර අයතන දෙක තුළ ගනුදෙනුවක් සිදු කෙරෙන අතර දෙපාර්ශවයම ඉන් ලාභයක් උපයා ගනී.

මේ අයුරින් වැලිගම ව්‍යාපාරික ආයතනයේ බ්‍රෝකර්වරයා වාහනය ගෙන්වීම සඳහා වන බලපත්‍රය ලබාගැනීම සඳහා කොළඹ කොටුව පිහිටි ආනයන අපනයන දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබුණි. ඔහු යොමු කර තිබුණේ ආනයන අපනයන දෙපාර්තමේන්තු ඉහළ නිලධාරිනියක වෙතය. මොහොතකින් ඇය ඔහුව යොමුකර තිබුණේ වෙනත් පුද්ගලයකු හමුවටය. එහිදී බ්‍රෝකර්වරයාගෙන් කරුණු විමසා ඔහුගේ ජංගම දුරකථන අංකය ඉල්ලාගත් ඔහු බ්‍රෝකර්වරයා එතැනින් පිටත් කර ඇත. හෝරා දෙකකට පසුව එම අංකය ඇමතූ ආනයන අපනයන පාලකවරයා කියා ඇත්තේ මේකනම් ලෙඩක් වැටෙන වැඩක්. නිකම් කරන එක අමාරුයි. රුපියල් ලක්ෂ දෙකක් දෙන්න. කොහොමහරි වැඩේ කරන්නම් යනුවෙනි.

බ්‍රෝකර්වරයාට ගතමනාවක් ලැබෙන්නේ සිය රාජකාරිය සාර්ථකව ඉටු කළ විටය. එහෙත් මෙහි තත්ත්වය දැන සිටි බ්‍රෝකර්වරයා පිළිකා රෝගී කාන්තාවගේ තොරතුරු හෙළිකර එවැනි මුදලක් ගෙවීම අපහසු බව ප්‍රකාශ කර තිබේ. අවසානයේ බ්‍රෝකර්වරයාගේ ඉල්ලීම අනුව පෙර කී මුදල රු.100,000ක් දක්වා අඩු කරගෙන ඊට එකඟ වී ඇත. වඩාත් කල්පනාකාරී වූ බ්‍රෝකර්වරයා ගනුදෙනුව සඳහා කාලයක් ඉල්ලා ඇත. එම එකඟතාව මත බලපත්‍රය ලබාදුන් ආනයන අපනයන පාලකවරයා නියමිත දිනයේ බ්‍රෝකර්වරයා අමතා ඇත.

අපේ පොරොන්දුව මතකයි නේද? ඔයා විශ්වාස කරලා මම පර්මිට් එක දුන්නේ.. සල්ලි නැතුව දැන් මාර අවුලක්නේ.. අර නිලධාරීතුමිය කියපු නිසයි මම එහෙම කළේ.. දැන් එයා හිතන් ඉන්නේ මම ලක්ෂ දෙක අරගෙන තියාගෙන එයාට දීලා නෑ කියලනේ.. ඒ නිසා ඔයා ඉක්මනට සල්ලිත් අරගෙන එන්න. නාවොත් මම පර්මිට් එක කැන්සල් කරනවා. යැයි කියා තිබේ.

ආනයන අපනයන පාලකවරයාගේ දුරකථන ඇමතුම මත දෙදෙනා ගිවිසගෙන තිබුණේ පසුගිය 20 දින සවස 5ට පාර්ලිමේන්තුවට ආසන්න කිඹුලාවල හන්දියේදී හමුවීමටය. මේ අතර තීරණයක් ගත් බ්‍රෝකර්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ගොස් සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර සිටියේය. පැමිණිලිකරුගේ තොරතුරු ව්‍යාකූලය. කෙනකුට පැහැදිලිව නොවැටහෙන තරමය. ඊට හේතුව ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ සේවය පිළිබඳ තොරතුරු හෙළි වීම අවම වීමය.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීහු පැමිණිල්ල සටහන් කරගෙන ඉදිරි පියවර ගත්හ. පෙර කී බ්‍රෝකර්වරයාට  සමාන රුව සහිත නිලධාරියෙක් උපාය දූතයෙක් වශයෙන් යොදවනු ලැබීය. අනතුරැව ගිවිසගත් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ආවේශණ රාජකාරියේ නිරතව සිටි අතර බ්‍රෝකර්වරයා කිඹුලාවල හන්දිය අසල රැඳී සිටියේය.
සර්... දැන් ආනයන අපනයන පාලකගේ කැබ් එක මෙතනින් ගියා..

මේ ඇමතුම බ්‍රෝකර්වරයා විසින් ලබාදුන්නේ විමර්ශන නිලධාරීන් වෙතය. ඔහු තවදුරටත් එතැන රැඳී සිටියේ නිලධාරීන්ගේ උපදෙස් මතය. ගතවූයේ පැය බාගයක් පමණය. බ්‍රෝකර්වරයාට ඇමතුමක් ආවේ ආනයන අපනයන පාලකගෙනි.
තලවතුගොඩ සුපර්මාකට් එක ළඟට එන්න. මම එතැන වාහනයේ ඉන්නවා.

බ්‍රෝකර්වරයා එතැනට යන්නට මත්තෙන් අල්ලස් කොමිසමේ නිලධාරීහු එතැනට ගියෝය. එහෙත් කැබ් රථය එතැන නොවීය. මොහොතකට පසුව යළිත් බ්‍රෝකර්වරයාට ඇමතුමකි.
ඔහොමම එන්න බත්තරමුල්ල පාරේ වම් පැත්තේ තියෙන හෝටලය ළඟට.. මම වාහනය නවත්තලා ඉන්නවා.

යළිත් වරක් ආනයන අපනයන පාලකවරයා බ්‍රෝකර්වරයාට දුරකථන ඇමතුමකින් පැවසුවේය. වහාම ක්‍රියාත්මක වූ නිලධාරීහු එතැන ස්ථානගතවූහ. බ්‍රෝකර්වරයාත් උපාය දූතයාත් එතැනට ගියේ ඉන්පසුවය. දෙදෙනාම කැබ් රථය අසලට ගිය අතර බ්‍රෝකර්වරයා රියදුරු අසුනට වම් පසින් නැග වාඩි වූවේය. විමර්ශන නිලධාරීන් පෙර කතා කරගත් පරිදි බ්‍රෝකර්වරයා ලෙසින් යොදාගත් උපාය දූතයා කැබ් රිය අසල සිට සංඥාවක් ලබා දුන්නේය. එසැණින් පැමිණි විමර්ශන නිලධාරීහු කැබ් රථයේ දොර ඇර සිය අනන්‍යතාවය පැහැදිලි කර කියා සිටියේ 

අප අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන්... කරුණාකරලා දැන් ගත්ත සල්ලි ටික එළියට ගන්න යනුවෙනි. ආනයන අපනයන පාලකවරයාට තවත් යමක් කීමට ඉතිරි වූයේ නැත. ඕනම ගාණක් දෙන්නම්. මාව නිදහස් කරන්න. ඔහු කළේ මේ ඉල්ලීම පමණය.

වැඩිදුර විමර්ශනයේදී හෙළිව ඇත්තෙ ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරිනියක සහ අත්අඩංගුවට පත් පාලකවරයා අතර පමණක් අදාළ බලපත්‍ර ගනුදෙනුව සිදුව ඇති බවත් එය සැබෑවටම සිදු කළ යුතු ආයතනයේ පාලක මෙහෙයුම් තනතුර දරන නිලධාරියා මඟහරවා ඔහුට හොරෙන් මේ අනුමත කිරීම සිදුකර ඇති බවත්ය.

සැකකරු අධිකරණයට යොමු කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රධාන විමර්ශන නිලධාරීහු වැටලීම සිදු කළහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර