2018 ජුලි 28 වන සෙනසුරාදා

හොඳ පපුවාගෙන් පසු තොණ්ඩුව කාටද?

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 340

මරණ දඬුවම පිළිබඳ කතිකාව කරළියට එන හැමදාම එල්ලුම්ගහ හා අලුගෝසුවා පිළිබඳ කතාබහ රට දෙවනත් කරන්නට සමත් වෙයි. මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන ජාවාරම්කකරුවන් එල්ලා මරා දැමීම ස්ථිර වශයෙන්ම සිදුවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟම එල්ලුම් ගහට යළි පණ ලැබීමට පටන්ගෙන ඇත. වසර 42ක් තිස්සේම එල්ලුම්ගහ සහිත කුටිය ඉඳහිට විවෘත කර මකුළු දැල් කඩා දමා කළඑළි කරයි. ලීවරයට තෙල් දමා ක්‍රියාකරවයි. මිනිසකුගේ බරට පඹයකු සාදා කිරා මැන බලයි. මරණ දඬුවම පිළිබඳ කතාබහ පැතිරෙන්නට වීමත් සමඟම වැලිකඩ මරණ දඬුවම් සිර වාට්ටු ද හෙල්ලෙයි.

චැපල් වාට්ටුවේ සී 3 සිර මැදිරියේ පිහිටි පෝරකය පාමුලට වන්නට මත්ද්‍රව්‍ය වැරදිකරුවන් ද ළංවෙන්නට පටන්ගෙන ඇත. ඒ මේ පිළිබඳ මරණ වරෙන්තුව 18 දෙනකුගේ ලැයිස්තුව ජනාධිපතිවරයා අතට පත්වීමත් සමඟය. දැන් ඒ පිළිබඳ නීතිමය තත්ත්වය ගැන සොයා බලන්නටත් පෝරකයෙන් අවසන් ගමන් යන්නේ කවුරුන්ද යන්නත් තීරණය කරන්නට අධිකරණ නීති හා බන්ධනාගාර ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කමිටුවක් ද  පත්කර අවසන්ය. මරණ වරෙන්තුව ක්‍රියාත්මක කරන්නේ බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දඬුවම් ලබා ඇති සිරකරැවන්ට පමණක් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද එවැනි කිසිවකුත් එම ලැයිස්තුවේ නොමැති වීමද ප්‍රශ්නයකි. එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මරණ දඬුවමට සූදානම්ය.

මරණ වරෙන්තු ලැයිස්තුවේ මුලින්ම සිටිනුයේ කාන්තාවකි. ඇය මේ වනවිට  අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේය. තවත් සිරකරුවකු දුම්බර (බෝගම්බර) බන්ධනාගාරයේය. ලැයිස්තුවේ මුලට කාන්තාවක් සිටිය ද බන්ධනාගාර ඉතිහාසයේම කාන්තාවක් එල්ලා මරා දමා නැත. 1825 වසරේදී බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද පනතකින් ස්ත්‍රීන් සඳහා පනවා තිබූ දියේ ගිල්වා මැරීමේ දඬුවම අහෝසි කරනු ලැබීය. 1826දී එවකට සිටි ආණ්ඩුකාර සර් එඩ්වඩ් බාන්ස් විසින් මිනී මැරීමේ චෝදනාවට වරදකරු වූ පහළ ගෙදර ඩිංගිරි මැණිකාට නියම වූ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙසට ලිහිල් කෙරිණි. 1937 බන්ධනාගාර කොමසාරිස්වරයාගේ පාලන වාර්තාවෙන් ද කාන්තාවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නැත.

ඉංග්‍රීසි පාලනයෙන් බැහැරවූදා සිට මේ දක්වාම කාන්තාවන් එල්ලුම්ගහට ගොස් නැත. කුඩා දරුවකු මරා දැමීමේ වරදට එල්ලුම්ගහට නියම වූ පෝලින් ක්රූස් නැමැත්තියට 1977 රජය යටතේ ජීවිත, සමාව හිමිව ඇත. මෙවර මරණ දඬුවම් ලැයිස්තුවේ සිටින ප්‍රථමයා ද කාන්තාවක් වීම විශේෂත්වයකි. ඇය මට්ටක්කුලියේ පදිංචි 48 හැවිරිදි දෙදරු මවක් වන ශ්‍යාමලී පෙරේරාය. පාකිස්ථාන ජාතිකයන් සිව් දෙනෙක් ද මෙම ලැයිස්තුවේ සිටිති. ලැයිස්තුවේ දෙවැන්නා සී. ධර්මාකරන්ය. ඔහුට මරණ දඬුවම නියම වී ඇත්තේ 2003.12.14 දාය. සෙසු වරදකරුවෝ මෙසේය. එන්. එස්. එම්. ඉස්තාර් (2007.06.28), පී. ජී. බොල්සින් (2008.03.24), එස්. පුණ්‍යමූර්ති (2012.02.16), කේ. එන්. චමින්ද (2012.03.15), ඩබ්ලිව්. විනයාගමූර්ති (2013.02.06), එස්. ඒ. සුරේෂ් කුමාර් (2013.04.03), සිවනේෂන් රාජා (2009.02.11), එස්. කේ. ජයතිලක (2002.04.03), රංග සම්පත් ෆොන්සේකා (2015.12.09), එන්. ඒ. සුමනසිරි (2018.03.14), එස්. ගනේෂන් (2012.07.04), වේලායුදන් මුරලිදරන් (2007.02.22), ජී. ඒ. බූටි (පාකිස්ථාන්) (2007.07.19), එම්. කුමාර් (පාකිස්ථාන්) (2014.12.17), එම්. මදූර් (පාකිස්ථාන්) (2014.12.17), එස්. මොහොම්මද් (පාකිස්ථාන්) (2018.05.16) ඒ 18 දෙනා වෙති.

මේ වනවිට මෙම 18 දෙනා අතරින් අඩක් පමණ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ “සී 3” සිර මැදිරියේ රඳවා සිටිති. මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට රට පුරා  පැතිර යන ආරංචියත් සමඟම වඩාත්ම සසල වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සිරකරුවන් 18 දෙනා බව නිලධාරීහු පවසති.

මේ පිළිබඳ මුල්ම ආරංචියත් සමඟම මරණ දඬුවම නියම වී සිටින (ඉකුත් 12 දා වනවිට) 271 දෙනාම දැඩි කම්පනයට පත්ව ඇති බවද නොරහසකි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ 18 දෙනා ද ඇතුළුව එම සියලුම සිරකරුවන් මරණ දඬුවම පිළිබඳ ආරංචියෙන් විවිධ ශාරීරික හා මානසික ආතතීන්ට ලක්ව සිටින බවද, වැඩිදෙනකු වැඩි කතාබහක් නැතිව සිටින බවද සඳහන්ය. එල්ලුම්ගහ  පිළිබඳ කතිකාව හිර ගෙදරට එන හැම වතාවකම මරණ දඬුවම් ලබා සිටින කොයි කවුරුත් භීතියට පත්වන බව නම් නොකියා නොහැක්කේය. මරණ දඬුවම යළිත් කවදාවත් නොඑන බවට සිතාගෙන සිර ගෙදර “මහ ගෙදර” බවට පත් කරගත්තවුන් ද අඩු නැත.

මෙවරද එය එසේමය. සිපිරිගෙය සුරපුරයක් කරගත්තවුන් ද තවමත් එලෙසය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟම බන්ධනාගාර ප්‍රධානීන් ද ඊට අවශ්‍ය  කළමනා සකස් කරන්නට වූයේ ළහිළහියේය.

මුලින්ම මරණ වරෙන්තුව ලත් මත්ද්‍රව්‍ය වැරදි සහිත සිරකරුවන්ගේ මානසික ආතතිය, තැතිගැන්ම, කෑමබීම නොගෙන සිටීම අදටත් සුලභව දක්නට ලැබෙන්නකි. කොයි ජගතා වුවද මරණයට භයය. මත්ද්‍රව්‍ය වැරදිකරුවන් අතරින් මේ වනවිට “සී 3” සිර මැදිරිවල රඳවා සිටින්නන් තුළින් මෙම වෙනස්කම් සිදුවන්නේ ජනාධිපතිවරයාගේ තීන්දුව ලැබෙන දින තෙක්ය.

මෙම සිරකරුවන් 18 දෙනා අතරින් දෙදෙනෙක් පිළිවෙළින් වසර 15 හා 16 වශයෙන් සිපිරි ගෙයි ගත කරන්නෝ වෙති. අනිකුත් සිරකරුවන් වසර 10ට අඩු කලක් දඬුවමට ලක්වූවෝ වෙති.

මරණ දඬුවම ක්‍රියාත්මක වීමත් සමඟ පෝරකය ද සූදානම් වන්නේ සුදුසු අයුරින්ය.

පෝරකයට භාවිත වන කඹය ද සුවිශේෂී එකකි. ඊට හිමිවන විද්‍යාත්මක වටිනාකම ද ඉහළය. මෙම කඹය බෙල්ජියම හා පාකිස්ථානය යන රටවලින් ආනයනය කිරීමේ සුවිශේෂීත්වයක් ද ඇති බව පැරුන්නෝ කියති. අමෙරිකානු සම්මතයේ සඳහන් වන පරිදි “මැනිලා” හණ පැලෑටියෙන් හදාගන්නා මෙහි විද්‍යාත්මක නාමය “MUSA TEXTILES” යන්න වේ. එය අඩි 30ක් දිගින් යුක්ත විය යුතු අතර ඝනකම අඟල් ¾ක් 01ක් විය යුතුය. රැහැනේ ඇදීමේ ගුණය අවම කිරීම සඳහා එය හොඳින් තම්බා ගත යුතුවේ.

අවශ්‍ය වූ විටෙක රැහැන පුරාම ඉටි, සබන් හෝ ග්‍රීස් ගල්වනු ලබයි. ඒ තොණ්ඩුවේ ගැටය පහසුවෙන් ලිස්සා ගොස් සිරවීමට හැකි වීම සඳහාය.

මීට වසර කිහිපයකට පෙර බෙල්ජියමෙන් ගෙන්වන ලද නවීන කඹ දෙකක් බන්ධනාගාර මූලස්ථානය සතුව පවතී. අදාළ උපාංග ද ඊට ඇතුළත්ය. අත් බැඳීමේ උපකරණ (මෙය දෙකෙළවර මාංචු දෙකක් ඇති බඳ පටියකි.), තොප්පිය හා විශේෂ ඇඳුම (සුදු දිග කලිසමක්, කමිසයක් හා විශේෂ තොප්පිය), ඇඳුම් සහිතව සිටින සිරකරුවකුගේ බර හා සම බරක් සිටින සේ වැලි පිරවිය හැකි මල්ලක්, රට හුණු කෑල්ලක්, නූලක්, (නොකැඩී තොණ්ඩුව රඳවා තැබීමට මෙය ශක්තිමත් විය යුතුය.) ගම්, කකුල් පටියක් හා මැනුම් පටියක් හෝ මැනුම් පොල්ලක් ඊට අයත්ය.

එල්ලුම් ගහට අවසන් වරට ගිය තැනැත්තා වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ජේ. ඒ. එම්. චන්ද්‍රදාස නොහොත් “හොඳ පපුවා” නැමති 27 හැවිරිදි තරුණයා එල්ලා මැරූ දිනය වන 1976 ජූනි 23, බර ප්‍රමාණය - රාත්තල් 115, උස අඩි 5 අඟල් 06, එල්ලා මැරීමට සකස් කර තිබූ කඹයේ දිග අඩි 5 අඟල් 11 යන සියලුම විස්තර ඇතුළත් සටහනක් අදටත් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගහ සහිත කුටියේ දොරක අලවා ඇති බවද සඳහන්ය.

එල්ලා මරණ සිරකරුවකුගේ බර රාත්තල් 118 සිට 200 දක්වා වන අයුරින් පහත හෙළීමේ උස ප්‍රමාණයන් එකින් එකට වෙනස් වේ. බර රාත්තල් 200 ඉක්මවූ පුද්ගලයන් එල්ලා මරා දැමීමේදී ගැටලුවක් ඇති වී ඇති බැව් නොපෙනෙනුයේ තීන්දුව ස්ථිර වීමෙන් පසු සිය ජීවිත අපේක්ෂාව නැති වීමෙන් කායික බර ද පහත වැටෙන බැවිනි. දැන් ලංකාවටම ඇත්තේ එක් එල්ලුම්ගහක් පමණි. එහි එක් වරකට තිදෙනකු එල්ලා මරා දැමිය හැකි කොකු තුනක් දක්නට ඇත.

බෝගම්බර බන්ධනාගාරය මහනුවරින් ඉවත් කර පල්ලෙකැලේට රැගෙන ගිය පසු එල්ලුම්ගහ ද ගලවා ඉවත් කරනු ලැබුවේ 2002 වසරේදීය. මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සිරකරුවන් 17 දෙනාගෙන් (කාන්තාව ඉවත් කර) පළමුවෙන් එල්ලුම්ගහට යැවිය යුත්තේ කවුරුන්ද යන්න කිසිවකුත් දන්නේ නැත. ජනාධිපතිවරයා ඉකුත් දා පිහිටවූ මරණ දඬුවම් කමිටුවේ තීරණය කෙසේ වේදැයි කාටවත් කිව නොහැක.

බන්ධනාගාර නීති හා අධිකරණ ක්ෂේත්‍රයන්හි ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත වූ එම කමිටුවේ ප්‍රථම රැස්වීම ඉකුත් 24 දා පැවැත්විණි. මරණ දඬුවම ක්‍රියාත්මක කරන දිනය හා එම නාම ලේඛනය පිළිබඳ තීරණය ඊළඟ කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට එහිදී තීරණය වී ඇති බවද සඳහන්ය. වැලිකඩ බනධනාගාරයේ “සී 3” අංශයේ වම්පස මැද කොටසේ ඇති එල්ලුම් ගස ලී දඬු උපයෝගී කරගෙන ලෑලිවලින් සකස් කරන ලද්දකි. හිටපු කොමසාරිස්වරයකු මෙම  පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් එල්ලුම් ගහේ ලෑල්ල පවා ගලවාගෙන ගිය බවට කතා අදටත් ඇසෙන්නේය.

වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගස ඉදිකරන ලද්දේ 1871 මැයි 25 දාය. වැලිකඩ බන්ධනාගාරය බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඉදිකර විවෘත කර ඇත්තේ 1841 දින බවට වාර්තාවල සඳහන් වේ. අක්කර 48ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම සිර ගෙයි බොහෝ ද්‍රව්‍ය එකල ආනයනය කර ඇත්තේ බ්‍රිතාන්‍යයෙනි.

චැපල් වාට්ටුවේ මහල පුරා තැනින් තැන වීදුරු උළු කැට දමා තිබූ අතර, ඒ සිරකරුවන් අඳුරු සිර කුටිවල දීර්ඝ කාලයක් රඳවා තැබීමෙන් ඇස් අන්ධවීම වළක්වාලීම සඳහාය. පසුකලෙක වී.ඕ.සී (VOC) අගයක් ගත් මෙම වීදුරු කුටි සියල්ල වහළ පිළිසකර කිරීමේ මුවාවෙන් එම උසස් නිලධාරියා ගලවාගෙන ගොස් ඇති බවද නොදන්නා කෙනෙක් නැත.

මේ වනවිට විශ්‍රාම ලබා ගොස් සිටින මෙම නිලධාරියා ගලවාගෙන ගිය එම පෞරාණික වීදුරු කුටිවල වටිනාකම ලක්ෂ ගණනක් බවද සඳහන් වේ.

මේ වනවිට “සී 3” සිර වාට්ටුවේ වසර 20 ගණන් මරණීය දඬුවම් විඳිමින් සිටින වැඩි දෙනකු අර්ධ දෘශ්‍යාබාධිතයන්ය. මෙම සිරකරුවන් සියලුම දෙනා ඉඩමට, වැට මායිමට, පවුල් ආරවුල් හා පෙම් සබඳතා නිසා ඇතිවූ හදිසි කෝපය මත අනියම් මිනී මැරීමේ වරදට දඬුවම් විඳින බවද නොරහසකි. එහෙත් මත්ද්‍රව්‍ය චෝදනා මත මරණ දඬුවම් ලබා සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන බවට චෝදනා ලබා සිටින සුසෙයිලා, මහා පරමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදාලා, කෙසෙල්වත්තේ යසාලා, වැලිකඩ වයි. ඕ (YO) සිර වාට්ටුවේය. වෝඩ් පෙදෙසේ කුඩු සියාම්ලා, මහර කුඩු සිද්දික්ලා අභියාචනා ගොන්නේය. පොට්ට නවුෆර් බදුල්ල බන්ධනාගාරයේය. දෙමටගොඩ චමින්දලා දුම්බර බන්ධනාගාරයේය.

හෙරොයින් ග්‍රෑම් 2, 3ට මරණ දඬුවම් ලැබූවෝ වැලිකඩ එල්ලා මරණ ලැයිස්තුවේය. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නට අලුගෝසුවකු අදටත් නැත. ඒ සඳහා ඉල්ලුම්පත් කැඳවන්නට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම්ය.

ජයන්ත සමරකොන්