
මෙරටට ගෙන්වන ලද ටින් මාළු පිළිබඳ ගැටලුවක් පසුගිය දිනවල රටපුරා කතාබහට ලක්විය. ඊට හේතුව වූයේ ආනයනය කරන ලද ටින් මාළු බහලුම්වල සාම්පල පරීක්ෂාවේදී ඉන් කිහිපයක පණුවන් සිටින බව සොයාගැනීමට ලැබීමය. ඒ සමඟම ටින් මාළු සහිත කන්ටේනර් 190ක් ඒවා ගෙන්වූ රටවලටම නැවත යවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය නියෝග කර ඇත. එහෙත් මේ දක්වා නැවත එම කන්ටේනර් හරවා යැවීම නිසි පරිදි සිදුවී නැත.
මෙම ගැටලුව ආරම්භ වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය. සාම්පල තුළින් පරපෝෂිත පණුවන් හමුවීම සමඟ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතය තවත් සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති එච්.එම්.බී.සී. හේරත් මහතා පවසන පරිදි ආහාර පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය මෙවැනි පරීක්ෂණ සිදුකිරීමේ බලය ප්‍රමිති ආයතනයට ලබාදී තිබේ. සාම්පල තුනක් මෙහිදී පරීක්ෂාවට ලක්වන අතර එම පරීක්ෂාවේදී මෙම පණුවන් පිළිබඳව සොයාගැනීමට හැකි වී තිබිණි.
ඔය ගැටලුව මතුවෙලා දැන් මාස දෙක තුනක් වෙනවා. අපට හම්බවුණා මැරිච්ච පණුවෝ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ මාළු නරක්වෙලා කියලා. මේ පණුවෝ හැදෙන්නේ මාළුවන්ගේ ඇතුලේ. ඒක ඒ පණුවන්ගේ ජීවන චක්‍රයේ අවස්ථාවක්. මෙතනදී වෙලා තියෙන්නේ මේ මාළු අල්ලපු කාලෙදි මේ පණුවෝ මාළු ඇතුලේ ඉඳලා තියෙනවා. මේ මාළුන්ගෙන් සැමන් හදද්දි අධික උෂ්ණත්වයෙන් රත් කරනවා. ඒ නිසා මේ පණුවෝ පණපිටින් නෑ මැරිලා. විසක් මුකුත් නෑ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙනවා ඒ වගේ දෙකක්- තිබුණට කමක් නෑ කියලා. නමුත් ලංකාවේ ආහාරවල එහෙම තියෙන්න බෑ. සමහර රටවල නම් හයි ප්‍රෝටීන් කියලා ලේබල් එකක් ගහලා දෙනවා. ලංකාවේ කවුරුත් ඒ විදිහට කැමති නෑ. ඉතින් අපි වාර්තාවක් දුන්නා ගැටලුව ගැන පැහැදිලි කරලා ඔහු පවසයි.
සභාපතිවරයා පවසන පරිදි මෙම තොගයෙන් වැඩි ප්‍රමාණයක් චීනයෙන් ද තවත් සුළු ප්‍රමාණයත් චිලී සහ තායිලන්තයෙන් ද ගෙන්වා තිබේ. මෙම නිෂ්පාදන සමාගම් හා එම රටවල ප්‍රමිති ආයතන දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කර තිබේ. තවද මෙම තත්ත්වය මැකරල් මාළුවල හටගන්නා තත්ත්වයක් වන අතර ලංකාවේ දේශීය ටින් මාළු නිෂ්පාදනය සඳහා යොදාගන්නා ලින්නෝ, මාළුවල මෙම තත්ත්වය ඇති නොවේ. මෙම තොගය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රධානතම ගැටලුව නම් මහජනයා මෙම ටින් මාළු දැකීමෙන් ඇතිවිය හැකි පිළිකුළ බව සඳහන් වෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශය අනුව මෙම තොග ආපසු යවන ලෙස රේගුව විසින් අදාළ ආනයනකරුවන් දැනුම් දී ඇත. එහෙත් මේ දක්වා එය සිදුවී ඇත්දැයි පවතින්නේ ගැටලුවකි. සාමාන්‍යයෙන් මෙරට ආනයනකරුවන් එලෙස නියෝග නොතකා හරින්නේ නම් ඊට ප්‍රධාන හේතුවන්නේ ඔවුන් මේවා රට තුළට ගෙන ඒමට උත්සාහ කිරීමයි. ටින් මාළු අර්බුදය ද දීර්ඝකාලයක් ඇදීයාමෙන් එවන් සැකයක් ඉපදීම සාධාරණය. තවද මෙම ගබඩාව හිස් කිරීම සඳහා මෙම තොග ඉවත් කිරීමට රේගුව කටයුතු කළහොත් නැවත ප්‍රතික්ෂේප කර ඇති සැමන් තොග වෙළෙඳ පෙළට එකතුවීමේ අවදානමක් පවතියි.
මෙම කන්ටේනර් 190 අතිහිටුවීමට පෙර රේගුව හරහා යම් ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට ආනයනකරුවන් කටයුතු කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව වෙළෙඳපොළේ පවතින සැමන් තොග පරීක්ෂා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ට උපදෙස් ලබා දී තිබිණි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් බී.එම්.එම්. බාලසූරිය මහතා මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ සැමන් වර්ග 28ක් මේ අතර ඇති බවයි. එමෙන්ම අදාළ නිෂ්පාදනවල නිෂ්පාදන දිනය, කල් ඉකුත්වීමේ දිනය හා කාණ්ඩ අංක සමාන බවද කියයි.
ටින් මාළු තුළ සිටි පරපෝෂිත පණුවන් පිළිබඳ ගැටලුව විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවුණේ මෙම මැරුණු පණුවන් හේතුවෙන් සෞඛ්‍ය ගැටලු මතුවන බවට අදහස් පළ නොවීම හරහාය. නමුත් යම් හෙයකින් මෙය සෞඛ්‍ය ගැටලුවක් වූවා නම් රට තුළ විශාල අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ තිබිණි. සැමන් ආශ්රිත නිෂ්පාදන වෙළෙඳපොළක් වෙනම පවතී. ඔවුන්ට සැමන් හිඟයක් ඇති වුවහොත් ගැටලු මතුවෙයි. එහෙත් මෙම සැමන් බහාලුම් සියල්ල වෙළඳපොළට නිකුත් වූවා නම් මහජනයාට එය ඉතා අප්‍රසන්න අත්දැකීමක් වන්නටද ඉඩ තිබුණි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ද මේ පිළිබඳ විමර්ශනයක් සිදුව තිබේ. ඒ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට මේ පිළිබඳව පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට වෙළෙඳපොළෙහි තිබෙන ටින් මාළු තොග පරික්ෂාවට උපදෙස් ලබා දී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රේගුවට සහ ආනයනකරුවන්ට මෙම තොග ගෙන්වන ලද රටවලට නැවත යවන ලෙස ද දැනුම් දී ඇතැයි ද කියයි. මෙම තොග ශ්‍රී ලංකාව තුළ දී විනාශ කිරීමේ ක්‍රියාදාමයට ගියොත් නැවත ඒවා වෙනත් ක්‍රමයකින් වෙළෙඳපොළට එකතු වීමේ අවදානමක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය බිය පළ කරන බවද ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය. වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තවදුරටත් කියන්නේ ටින් මාළු තුළ පණුවන් හෝ වෙනත් අපද්‍රව්‍ය නොමැති ගුණාත්මක ප්‍රමිතියක් පවත්වාගෙන යන සමාගම්වලින් එම ටින් මාළු ගෙන්වා ගැනීමට වගබලාගත යුතු බවය. ලාභ ලැබීමේ අරමුණින් යුතුව එවැනි ප්‍රමිතියෙන් බාල සමාගම්වලින් ටින් මාළු ආනයනය කිරීමට යාමෙන් මෙවන් තත්ත්වයක් මතු විය හැකි බවද ඒ මහතා පැවසීය.
ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ අදහස් දක්වන ටින් මාළු ආනයනකරැවෙක් වන එම්. එස්. එම්. සනීයර් මහතා පවසන්නේ වෙළෙඳපොළේ ටින් මාළු හිඟයක් පවතින බවයි. තමා විසින් ගෙන්වනු ලැබූ කන්ටේනර් 12කට අයත් මාළු ටින් දෙලක්ෂ පනස්දහසක් රේගුව විසින් රඳවාගෙන සිටින බව ද ඔහු කියයි. ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී එස්. එච්. එම් ෆ්රාස් මහතා ද ටින් මාළු ගැටලුව පිළිබඳ අදහස් දක්වමින් කියා තිබුණේ දේශීය ටින් මාළු තිබුණත් ආනයනික ටින් මාළුවල පණුවන් සම්බන්ධව මතුව ඇති ගැටලුව නිසා වෙළඳපොළේ ටින් මාළු හිඟයක් පවතින බවයි.
මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳී නැතත් එය නිරාකරණය උදෙසා නිලධාරීන් වෙහෙස වී වැඩකර ඇති බව පෙනෙන්නට තිබේ. නැතිනම් මෙවන් විශාල තොගයක් රඳවා තබාගැනීම පහසු නොවනු ඇත.
ඉදිරියේදී මෙවන් ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී නියැදි පරීක්ෂාවන් සුලබ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන බව කියවේ. ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා පවසා සිටියේ දැන් පැමිණෙන ටින් මාළු බහලුම්වල මෙම ගැටලුකාරී තත්ත්වය දක්නට නොමැති බවයි.
චමිඳු නිසල් ද සිල්වා