2018 ජුලි 28 වන සෙනසුරාදා

නළු පරපුරකට මඟ පෙන්වූ තිස්ස සර්

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

ඔහු අද දෑස් පියාගෙන අවසන් ගමන් ගියත් තවමත් ඔහු බිහි කළ ගෝල පරපුර සමාජයේ කලාකරුවන් ලෙසින් සේවයක් කරමින් සිටිති. මොරටුව වේල්ස් කුමර විදුහලේ හිටපු චිත්‍ර සහ නාට්‍ය ගුරුතුමා වූ තිස්ස ගුණවර්ධන මෙලොවට බිහිවන්නේ 1933 වසරේ ඇල්පිටිය ප්‍රදේශයේදීය. මූලික අධ්‍යාපනය ඇල්පිටිය ඕපාත ප්‍රාථමිකයෙන් හා ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන් ද ලැබූ තිස්ස ගුණවර්ධන උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වුණේ කළුතර විද්‍යාලයටය. පාසැල් අධ්‍යාපනයෙන් පසුව හේවුඩයේ චිත්‍ර කලා විෂය හැදෑරූ ඔහුගේ මුල්ම පත්වීම වූයේ මොරටුව වේල්ස් කුමර විදුහලය. එතැන් පටන් ඔහු වේල්ස් කුමර විදුහලේ චිත්‍ර හා නාට්‍ය ගුරුවරයා ලෙසින් තම ගුරු වෘත්තිය ඇරඹීය.

 

ජීවිතේ ඔහු හරිහම්බ කළ දෙයක් නොමැත. ඔහු  මුදලට තම හැකියාව බාල්දු නොකළේය. චිත්‍ර ශිල්පය, කැටයම් හා මූර්ති ශිල්පය යන බොහෝ අංශවලින් නිපුණතාවය ලද තිස්ස සර් පසුගිය කාලය පුරාවට නාට්‍ය අනූ තුනකට අධික ප්‍රමාණයක් නිර්මාණය කළේය. 

තිස්ස ගුණවර්ධනයන් වේල්ස් කුමර විදුහලට සම්ප්‍රාප්ත වීමත් සමඟ වේල්ස් කුමර විදුහලේ ද නාට්‍ය උද්‍යෝගයක් ඇතිවිය. ඔහුගේ පළමු නාට්‍ය කණ්ඩායම වූයේ 1962 වසරේදී වේල්ස් කුමර එළිමහන් වේදිකාවේ වේදිකාගත වූ 41 දෙනෙක් රඟපෑ කැකිල්ලේ රජ්ජුරුවෝ නම් වූ වේදිකා නාට්‍යයි. මෙය දින 14ක් පුරා වේදිකාගත වුණි.

තිස්ස සර් ගතින් වයසට ගියත් කිසිමදාක තම වැඩවලින් වයසට ගියේ නැහැ. සර් අවුරුදු 85ක් ජීවත් වුණා. ඒ අවුරුදු අසූ පහෙත් අවසන් අවුරුදු දෙකහමාර අතර කාලෙදි සර් යම් තරමට දුර්වල වුණත් එතකන් ඔහු කලාවට සේවය කළා. ඔහු අවුරුදු අසූවේදී දුටුගැමුණු නාට්‍යය නිර්මාණය කළා. සර්ගේ මේ කලාවෙන් බිහිවුණු දරුවෝ මෙතෙකැයි කියන්න බැහැ. ඔහුට හුරු අත වුණේ වම් අතයි. නමුත් කාලයක් යද්දී ඔහුගේ වම් අත අඩපණ වුණා. කවදාවත් සර් අධෛර්යමත් වුණේ නැහැ. ඔහු තමන්ගේ දකුණු අත වම් අත මෙන්ම හුරු කරගත්තා. ඒ අතින් ඔහු අනන්තවත් බුදු පිළිම නෙළුවා. හරි අපූරුවට චිත්‍ර ඇන්දා. ඔහුගේ ශිෂ්‍යයකු වූ රෙක්ස් හැමිල්ටන් පැවසීය.
අපේ රටේ ඉතා දක්ෂ, ලෝක සම්මානයට පාත්‍රවූ ජගත් චමිල ද තිස්ස ගුණවර්ධනයන්ගේ ගෝලයකි.

“තිස්ස සර් පාසැලට පැමිණ වසර පනහක් සපිරුණා. ඔහු වසර පනහක් මේ පාසැලේ ඉගැන්නුවා. මෙම පාසැලේ වැඩිම කාලයක් ගුරු සේවයේ ලබාදුන් ගුරුවරයා ලෙසින් බොහෝ දෙනා තිස්ස සර්ව හැඳින්නුවා. ඒ කාලයම ඔහු කළ සේවය මෙතකැයි කියන්නට බැහැ. චිත්‍ර ගුරුවරයෙක් ලෙස පත්වීම ලැබුණත් ඔහු ගුරු සේවය පමණක් ඉෂ්ඨ කරපු ගුරුවරයෙක් නෙමේ. ඉන් එහාගිය විශාල සේවයක් ඔහු දරුපරපුරට ලබලා දුන්නා.

මීට අමතරව තිස්ස ගුණවර්ධනයන් බිහිකළ ගෝලයින් බොහෝය. ඒ අතරින් රුක්මල් නිරෝෂ්, රජිත හිරාන්, රුවන් වීරසේකර, ශ්‍රීනාත් මද්දුමගේ, ශිරාන් දිල්රැක්, නොයෙල් මීපගේ, චින්තක පීරිස්, කංචන කොඩිතුවක්කු, නිවන්ත ප්‍රසාර වැනි කලාකරුවන් ඔහුගේ ගෝලයන් වූහ.තිස්ස ගුණවර්ධනයන්ගේ වමත අප්‍රාණික වූ විට ඔහු කැටයම් කිරීමට අපූරු ක්‍රමයක් සොයාගත්තේය. ඔහු දකුණතින් නියන අල්ලද්දී ඔහුගේ ගෝලයකු නියනට මිටියෙන් ගැසුවේය. ඔහු හරි අපූරුවට ලී කොටය හැඩ කරමින් නියන රැගෙන ගියේය. අවසානයේදී කදිම කැටයමක් බිහි විය.

බෙන්තර ගමෙන් තමයි මම කොළඹට ආවේ. ඒ කාලේ ඒක හද්ද පිටිසර ගමක්. අපේ ගමේ තිබුණේ තනි දොර බස් විතරයි. මම දැකලා තිබුණේ ඒ බස් විතරයි. ඉතින් කොළඹට ආපු ඒ කාලේ මම පාරේ අයිනේ ඉඳගෙන දොර දෙකේ බස් ගණන් කරනවා. ඒ තරමටම හද්ද පිටිසර ගමෙන් ආපු කාගෙවත් හව්හරණක් නොතිබුණ කාලෙක තිස්ස සර් මට මුණගැහුණා. සර් අපිට හැම දෙයක්ම ඉගැන්නුවා. ඒක පොතකට විෂයකට සීමා වුණේ නැහැ. තේ එකක් හදන එකේ ඉඳන් බඩගින්නේ ඉන්න, හම්බවෙන දේ කාලා ඉන්න පවා කියලා දුන්නා. ඒක ඇඟිල්ලෙන් කියලා දෙනවට වඩා සර්ගේ ජීවිත ඇසුරේ ඉඳිද්දී අපි ඉගෙනගත් දෙයක්.. යැයි ඉන්දික ලෙනින් නම් කලාකරුවා දේශයට පැවසීය.

තිස්ස ගුණවර්ධනයන්ගේ අකුරු ප්‍රමාණයට වඩා විශාලය. මේ නිසා පේළි හතරකින් පහකින් එක කොළයක් අවසන් වේ. ඔහු ලියූ නාට්‍යය පිටපත් කොළ කුඩා අකුරුවලින් පිටපත් කිරීමට බාර දෙන්නේ ඉන්දිකටය. ඔහු ඇතැම් දිනවලදී ඉන්දික ළඟින් හිඳවාගෙන නාට්‍ය පිටපත් ලීවේය. ඒ නාට්‍ය පිටපත් ගෙන ඔවුන් වේදිකාවේ පුහුණු වූවෝය. ඒ බොහෝමයක් නාට්‍ය විවිධ තරගවලින් ජයග්‍රහණය කළේය. බොහෝ දරුවන් පාසැල අවසන් වී නිවසට ගොස් පොත් බෑගය තබා නැවත පාසැල් භූමියට දිව ආහ.

එකල අද තරම් නාට්‍ය පුහුණු වන්නට පහසුකම් තිබුණේ නැත. වේදිකාවේ මෙන්ම ඇතැම් දිනවල පාසැල් භූමියේදී ද සර්ගේ කණ්ඩායම් පුහුණුවීම් කළේය.
පුතේ.. බඩගිනිද.. මම තේ හදාගෙන එන්නම්.. තිස්ස ගුණවර්ධනයන්ට දරුවන්ගේ කුසගිනි දැනුණි. ඔහු හීටරය ගැසීමට පුටුවෙන් නැගිට යද්දී එක පොදියට ඔහුගේ ගෝලයෝ හීටරය ගැසීමට ඉදිරිපත් වූහ. ඇතැම් දිනවලදී තේවලට ප්‍රමාණවත් සීනි නොලැබුණු විට තම කමිස සාක්කුවෙන් ගන්නා මුදල දරුවකු අත තබන ගුරුතුමා සීනි ගෙන ඒමට පිටත් කර යැවීය. දරුවන්ගේ කුසගිනි දැනෙනා අපූරු පියකුගේ සෙනෙහස තිස්ස සර්ගේ හදවතේ හැමදාම තිබුණේය. ගුරු වැටුප අතට ලැබුණ දා තිස්ස ගුරුතුමා තම ගෝලයන්ට බනිස් හෝ වඩේ ගෙන දුන්නේය. බොහෝ විට තිස්ස සර් හවස් කාලයේදී නාට්‍ය පුහුණුවීම් කරනු ලැබුවේ කමිසය ගලවා තම බැනියම පිටිනි. ඔහුට නාට්‍ය පුහුණුවීම්වලට වෙලාවක් නොතිබුණේය. ඇතැම් දිනවල මහ රූ වෙනතුරුම ඔහු දරුවන්ට නාට්‍ය පුහුණුවීම් කළේය. 

සර්ගේ නාට්‍ය කණ්ඩායමේ ඉදිද්දී එක ෂෝ එකකින් පස්සේ අපිට ලියුම් කවරයක දාලා රුපියල් එකසියවිසිපහක් දෙනවා. ඒ කාලේදී ඒක අපිට ලොකු දෙයක්. මම මගේ බෝඩිමට දෙන රුපියල් සීය හොයාගත්තේ සර්ගේ නාට්‍යවල රඟපාලා ලැබෙන සල්ලිවලින්. අද පරම්පරාවට තමයි උදේ කෑම, දවල් කෑම, රෑ කෑම කියලා තියෙන්නේ. හැබැයි ඒ කාලේ අපිට නිශ්චිත කෑම වේලවල් තිබුණේ නැහැ. අපි මොනවා හරි කෑවත් නැතත් අපි නාට්‍ය පුහුණුවීම් කළා. බඩගිනි නිව්වේ අපේ තිස්ස සර්. ඉන්දික ලෙනින් වැඩිදුරටත් පැවසීය

තිස්ස ගුණවර්ධන යනු අපූරු මූර්ති ශිල්පියෙකි. මොරටුව වේල්ස් කුමර විදුහලේ බුදු මැදුර ඔහුගේ නිර්මාණයකි. එමෙන්ම රත්මලාන සොයිසාපුර බුදු පිළිමය ද, බුදු පිළිමය ද ඔහුගේ අතින් නිර්මාණය වූ ඒවාය. ඒවාට සිමෙන්ති අනමින් අත් උදව් දෙන්නේ ද ඔහුගේ ගෝලයන්ය. ඇතැම් දිනවලදී ඔහුගේ ගෝලයන්ට ක්‍රීස්... යන සියුම් ශබ්දයක් ඇසී බලනා විට දැකගැනීමට ලැබෙන්නේ තම ඇදුරුතුමන්ට පිළිමය අඹන අතරතුරේදී නින්ද ගොස් අතේ ඇති කුඩා සිමෙන්ති හැන්ද වදින හඬය. එවිට හදිස්සියේ නින්දෙන් ඇහැරෙන ඔහුගේ මුවේ ඇතිවන්නේ සියුම් සිනහවකි. දින ගණනාවකින් ඔහුගේ අතින් අපූරු මූර්තියක් නිමවී හමාරය.

එකල ජෝන් ද සිල්වා සමරු රඟහලට තිස්ස ගුණවර්ධන තම ගෝලයන් සමග මොරටුවේ සිට පාගමනින් පැමිණියහ. ඒ මඟ දෙපසදී ඔහු ගෝලයන් හා බොහෝ දේවල් කතාබහ කළේය. නාට්‍යවලට අවශ්‍ය ඇඳුම් පැළඳුම්වල දළ සටහන ද අඳිනු ලබන්නේ තිස්ස විසිනි. ඉන්පසුව ඔහු ළඟම ගෝලයන් කීපදෙනකු සමඟ පිටකොටුවේ පාරක් පාරක් ගානේ ඇවිද්දේය. තිස්ස ගුණවර්ධනයන්ට ඉතා වේගයෙන් ඇවිදීමට හැකියාව තිබුණි. මේ නිසාම ඇතැම් ගෝලයන් ඔහු සමඟ දුවමින් ගමන් කළහ.
මම සර්ගෙන් නාට්‍ය කලාව ඉගෙන ගන්න ආවේ 1985 අවුරුද්දේ. එතන ඉඳන් සමස්ත ලංකා දිනපු නාට්‍ය හතරක මට රඟපාන්න අවස්ථාව ලැබුණා. 1986දී අපෙ ජ්‍යෙෂ්ඨ නාට්‍ය කණ්ඩායම් සහ කනිෂ්ඨ නාට්‍ය කණ්ඩායම කියන දෙකම පළමු තැන ලබනවා මේක ජාතික පාසැලක් බවට පත් කළේ තිස්ස ගුණවර්ධනයන් විසින්. ඒ නාට්‍ය කණ්ඩායම් ඉදිරියට අරන් පදක්කම්, සම්මාන ලබාගත්ත නිසයි.. තිස්ස ගුණවර්ධන ඇතුළේ හිටපු නාට්‍යකරුවාවත්, චිත්‍ර ශිල්පියාවත්, මූර්ති ශිල්පියාත්, ගී පද රචකයාත්, සංගීතවේදියාවත් මේ රටේ බොහෝ මිනිස්සු දැක්කා. නමුත් ඔහු තුළ හිටපු මනෝ විද්‍යාඥයා කවුරුවත් දැක්කේ නැහැ. යැයි විශ්වනාත් අපෝන්සු අදහස් දැක්වීය.

අපේ පාසැලේ හිටපු මනෝ විද්‍යාඥයා වන්නේද තිස්ස ගුණවර්ධනයි. මේ ඉස්කෝලේ ඕනෑම පන්තියක හිටපු ළමයෙක් එළියට දැම්මත් තිස්ස සර්ගේ නාට්‍ය කණ්ඩායමෙන් එළියට දාපු එකම එක ළමයෙක්වත් නැහැ. එයා ළඟට ගියේ ගොඩාක්ම දඩබ්බර ශිෂ්‍යයෝ. ඒ වේදිකාවක කෙළින් හිටගන්නවත් බැරි සාමාන්‍ය කොල්ලො, ප්‍රේක්ෂකයන්ට බය දරුවෝ. නමුත් ඒ හැම දරුවෙක්ම අවසානයේදී දක්ෂ නළුවන් වී එළියට ආවා. ඔහු හැම වෙලාවෙම දරැවන්ගේ මනස ගැනයි හිතුවේ. ඉස්සර විනය විරෝධී දරුවෙක් බාර දුන්නෙත් තිස්ස සර්ටයි. ඒ බාරදෙන ශිෂ්‍යයා අවසානයේදී හොඳ නිර්මාණකරුවෙක් වෙලා එළියට ආවා.

තිස්ස ගුණවර්ධනයන්ගේ නාට්‍ය කණ්ඩායම පිට පිට වසර දහයක් සම්මානවලින් පිදුම් ලැබීය. ලංකාවේ භීෂණ කාලවලදී තරුණ සිසුන්ව ආරක්ෂා කරලීමේ වගකීම තිස්ස ගුණවර්ධනයන් තම අතට ගත්තේය. දරුවන් සිය දහසකගේ ජීවිතවල අවදානම දරාගත් පියාණන්ගේ දෙඇස අද පියවී හමාරය.

පුංචි පූස් පැටියෙක් තුරුළු කර එක වසරේ පුංචි දරුවෙක් තිස්ස ගුරුතුමා වෙත දිව ගොස් යහළුවන්ගේ කරදරයෙන් මේ අහිංසක පූස් පැටියාව බේරා දෙන්නට ඉල්ලීමක් කළේය. එවිට තිස්ස ගුණවර්ධනයන් පූස් පැටියාව අතට ගෙන තුරුළු කරමින් පුතා රඟපාන්න ආසද... කියා ඇසුවේය. රඟපෑම ගැන කිසිම දෙයක් නොදත් දරුවා සර්ගේ ආරාධනාව හිස මුදුනින් පිළිගත්තේය.

ඊට පස්සේ මම සර්ගෙන් රංගනය පිළිබඳව බොහෝ දේවල් ඉගෙනගත්තා. මගේ තිබුණ දක්ෂතාවය හඳුනාගත්තේ තිස්ස සර්. ඇත්තටම සර්ගෙන් ලැබුණ දේ වචනවලින් කියලා නම කරන්න බැහැ. මම අද කලාවෙන් යමක් ලබලා තියෙනවනම් ඒ මේ ගුරු පියාණන් නිසයි. යැයි සෝමරත්න දිසානායකගේ සූරිය අරණ චිත්‍රපටයේ කුඩා හිමි නමට රඟ පෑ දසුන් මධුසංඛ දේශයට පැවසීය.

මාව මිනිස්සු දැනගත්තේ හෝ ගානා පොකුණ චිත්‍රපටයෙන්. හැබැයි මගේ රංගන හැකියාව මුලින්ම හඳුනාගත්තේ මගේ තිස්ස සර්. අපිට බොහෝ දේවල් කියලා දුන්නා. මගේ හෝ ගානා පොකුණ චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්න විදුහල්පතිතුමාටයි, තිස්ස සර්ටයි ආරාධනා කළා. එදා තිස්ස සර් හිටියේ අසනීප වෙලා රෝහලේ නතරවෙලයි. ඒත්.. සර් එදාම ටිකට් කපාගෙන ඉස්පිරිතාලෙන් කෙලින්ම ආවේ මගේ චිත්‍රපටිය බලන්න. එදා සර් ගොඩක් සතුටු වුණා. හෝ ගානා පොකුණ චිත්‍රපටයේ රඟපෑ තිරාක්‍ය තම ගුරු පියාණන් සිහිපත් කරලීය.

1985දී තමයි මම තිස්ස සර්ගේ නාට්‍යවලට සම්බන්ධ වුණේ. අපේ ලාබාල වයසේදීම සර්ව මුණගැහුණට පස්සේ අපේ කොහේවත් තිබුණේ නැති රංගනයන් අපට උරුම කරලා දෙන්නට සර් ගොඩක් මහන්සියක් ගත්තා. අපිව හඳුනාගෙන අපේ ක්‍රමවේදයන් හඳුනාගෙන අපිව පුහුණු කළා. සර්ගේ ඒ මඟපෙන්වීම නිසාම තමයි අඹ යාළුවෝ ටෙලිනාට්‍යටත් මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ. වේල්ස් කුමර නම රැඳිලා තියෙන්නෙත් තිස්ස ගුණවර්ධනයගේ නාමයත් එක්කමයි. අශේන් මංජුල දේශයට පැවසීය.

ජීවිතේ මට මුණගැහුණ මනුස්සකම්වලින් සපිරි ගුරුතුමා තමයි තිස්ස සර්. එක දවසක් මගේ යාළුවා තරහා වෙයි කියන බයට මම පාසැලේ තිබුණ නාට්‍යයක පොඩි චරිතයක් රඟපෑවා. ඒක දැකලා මට සර් එන්න කියලා පොඩි මෑන් ඇක්ට් කරන්න ආස නැද්ද? කියලා ඇහුවා. රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටපු නැති මම ඔළුව වැනුවා. ඒ ආරම්භය තමයි මේ. රුක්මල් නිරෝෂ් පැවසීය.

සුවිසල් චණ්ඩි පුතුන් දාහක් මට වැඩි නැහැ.
මා ඇසුරෙම ලොකු වී රට දැය නංවාවි..

(තිස්ස ගුණවර්ධන)

 දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූ - සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02