
1. අපට ගහලා නිදහස නැතිකරගෙන පස්සේ අඬන්න එපා කියලා ජනාධිපතිවරයා මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමට එක්වෙමින් මාධ්‍යයට කළ ප්‍රකාශය ගැන මොකද කියන්නෙ?
2. වෙළෙඳ ගිවිසුම්වල නව බදු පනත වගේම තවත් කාරණා කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයකට යන බවට අනතුරු අඟවලා තියෙනවා. මේ වෙළෙඳ ගිවිසුම්වලට මේ තරම් විරෝධයක් ඇයි?
3. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල බාධක ඇවිත් තියෙනවා. මේ තත්ත්වය යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන එක අත්හිටුවිය යුතුද?
4. පළාත් සභා ඡන්දය ප්‍රමාදයි කියලා දේශපාලන පක්ෂ කියනවා. නමුත් පළාත් පාලන ඡන්දය ඉවරවෙලත් දැන් මාස පහක් ඉවරයි. ඒත් කිසිම ප්‍රාදේශීය සභාවක සංවර්ධන කටයුත්තක් කෙරෙන බවක් පේන්න නැහැ. මොකද මෙහෙම වෙලා තියෙන්නෙ?
මාධ්‍යයට තර්ජනය කළේ නැහැ
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්
1. ඒක කිසිසේත්ම මාධ්‍යයට කරපු තර්ජනයක් නෙවෙයි. එතුමා කරපු ප්‍රකාශය හරියට තේරුම්ගන්න ඕන. ඒ කියන්නෙ මේ ආණ්ඩුව ලබාදුන් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය උපයෝගී කරලා ආණ්ඩුවේ කිසිම හොඳක් දකින්නෙ නැතුව මේ ආණ්ඩුව වට්ටලා නැවත පෙර සේ ඒකාධිපති ආණ්ඩුවක් ගෙනත් ඒ කාලේ විදියට පස්සෙ දුක් විඳින්න එපා කියන එක තමයි ඒකෙ අර්ථය.
2. නෑ. ඒක ඇවිල්ලා වෙළෙඳ ගිවිසුමට තියෙන විරෝධයක් නෙවෙයි. ඒක වෙනම එකක්. ඕනෑම කෙනකුට තේරෙනවා ආයෝජකයෙක් ලංකාවට ආවම ඔහු බිලියන ගණන් ආයෝජන කරලා ඔහු නිපදවන නිෂ්පාදනවලට ලංකාවේ වෙළෙඳපොළ කුඩයි. එතකොට ප්‍රතිඅපනයන වෙළෙඳපොළක් හදලා දුන්නම තමයි ඔවුන් ආයෝජන ගේන්නෙ. දැන් ජී.එම්.ඕ. එක ගැන නම් කතා කරන්න දෙයක් නෑ. එයාලගේ දේශපාලන න්‍යාය පත්‍රය මුළු රටම දන්නවා.
3. මම ඒ ගැන පුරවැසියෙක් ලෙස මැද තැනක ඉන්නෙ. කොළොන්නාවේ මන්ත්‍රීවරයා හැටියට යම්කිසි කාලෙකට මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවට මම කැමතියි.
4. ඒ වෙලා තියෙන්නෙ පොහොට්ටුවේ අය පළාත් පාලන ආයතනවලට ඡන්ද ඉල්ලුවේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කරන්න නෙවෙයි. මහින්ද මහත්තයා අගමැති කරන්නනේ. ඉතින් ඒ අයට මහින්ද මහත්තයා අගමැති කරන්න බැරිවුණු නිසා සංවර්ධන කටයුතු කරන්න බැරිවෙන්න ඇති. ඒ නිසා අපි ගම්පෙරළිය වැඩසටහන ගෙනත් ගමේ සංවර්ධන කටයුතු සිදුකරනවා.
මාධ්‍යයට බණින්න එපා ගිහිල්ලම බලාගන්න
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන (ඒකාබද්ධ විපක්ෂය)
1. මාධ්‍යයට නිදහස දීලා තියෙනවා. ඒක නිසා මේ සත්‍ය හෙළිකරන්න එපා කියලා තමයි මේ වක්‍රව මෙතුමා ප්‍රකාශ කළේ. දැන් ඉස්සර රජ කාලේ රටවැසියන්ට තියෙන ප්‍රශ්න ගැන හොයලා බලන්න රටේ නායකයා වෙස්වලාගෙන ගමෙන් ගමට ගිහින් තොරතුරු හොයනවා. ජනාධිපතිවරයාට මමත් කියන්නෙ මාධ්‍ය මගින් හෙළිකරන දේවල් පිළිගන්න බැරි නම් රටේ දුෂ්කර ප්‍රදේශයකට වෙස්වලාගෙන ගිහින් බලන්න, මාධ්‍යයට දෝෂාරෝපණය කරන්නෙ නැතුව.
2. මේ එට්කා ගිවිසුම නතරවුණෙත් වෛද්‍යවරුන් කරපු කැපවීම නිසා. ඒ නිසා මුලින්ම ජනතාව වෙනුවෙන් අපේ ප්‍රණාමය පුදකරනවා වෛද්‍ය නිලධාරී සංගමයට. ඒ වගේම සිංගප්පූරු ගිවිසුම හරහා රටට හානියක් වෙනවා. මේකෙ වැඩි වාසියක් සිංගප්පූරුවට දීලා අපි හූරාගෙන කන වැඩපිළිවෙළක් තියෙන්නෙ. මම හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා විදියට දන්නවා මේ ගිවිසුමෙන් කෘෂිකර්මයට දැඩි පහරක් වදිනවා. මේ ගිවිසුම්වලින් ජනතාවට වෙන සෙතක් නැහැ.
3. මරණ දඬුවම ගැනත් දෙපැත්තක් තියෙනවා. එකක් තමයි දඬුවම් වලින්ම රටක් හදන්න බැහැ. රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. නමුත් එහෙම පේන්නෙ නැහැ. ඒ වගේම තමයි මේ කුඩු ගෙනෙන ජාවාරම්කාරයෝ බොහෝ දෙනෙක් මේ රජයේ ඇතැම් මැති ඇමැතිලාගේ ගෝලයෝ බවට හෙළිවෙලා තියෙනවා. අනිත් කාරණය තමයි බන්ධනාගාරයේ ඉඳලා තමයි ජාවාරම මෙහෙයවන්නෙ. ඒක නවත්වන්න ඕන. මොනව වුණත් මරණ දඬුවම දෙන එකට අපේ කිසිම අකැමැත්තක් නැහැ. නමුත් මේක ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මාධ්‍ය සංදර්ශනයක් විතරයි.
4 ඉතිහාසය දිහා බලපුවාම පවතින රජය තමයි මේ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරලා තියෙන්නෙ. නමුත් මේ පාර ඒක වෙනස් වුණා. මේ රජය ප්‍රතිපාදන වෙන් කරපු ගමන්ම ඒ ඒ ප්‍රාදේශීය සභාවල වැඩ කෙරෙයි අනිවාර්යයෙන්ම. අපේ රජයක් යටතේ තිබුණා නම් මේ වෙනකොට ඒ ගම්වල සංවර්ධන කටයුතු අපි පටන් අරගෙන ඉවරයි.
හොර ගිවිසුම්වලට එරෙහි වෙන්න ඕන
ජනතා විමුක්ති පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
1. එතුමා අදහස් කරන්න ඇත්තේ මාධ්‍ය නිදහස දැන් දීලා තියෙනවා. මේ පාලනය වෙනස් කළොත් මාධ්‍ය නිදහස නැතිවෙන්න පුළුවන්. ඒක මාධ්‍යයට එල්ලවන තර්ජනයක් කියන එක මම හිතන්නෙ. ජනාධිපතිවරයා හරියට මොකක්ද කිව්වේ අපි දන්නෙ නැහැ. නමුත් එතුමා කියන්න ගියේ පෙර ප්‍රකාශය ඇත්ත කතාව ගත්තොත් සාපේක්ෂ වශයෙන් යම් යම් වෙනස්කම් තියෙනවා තමයි. නමුත් මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් වක්‍රව නීති මගින් මාධ්‍ය පාලනය කරන්න මේ රජයත් උත්සාහ කළා.
2. එකක් මේ ගිවිසුම හොර රහසේ අත්සන් කරපු එකක්. ඒක රටේ ජනතාවට පෙන්නුවේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ඉතින් ඒ ගිවිසුම හරහා රටට වෙන ආර්ථික බලපෑමක් තියෙනවා. ඒ බලපෑමට එරෙහිව කටයුතු කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. බදු පැනවීමත් එහෙම තමයි. දරාගන්න බැරි බදු බරක් ජනතාවට තියෙනවා. ඉතින් ඒකට විරුද්ධ වීමේ යුක්තිසහගත අයිතියක් මේ රටේ ජනතාවට, වෘත්තිය සමිතිවලට තියෙනවා.
3. කවුරුහරි කියන හින්ද නෙවෙයි, අපි නම් දකින්නෙ එක්කෙනෙක් දෙන්නෙක්ට මරණීය දණ්ඩනය දීලා මේක විසඳන්න බැහැ. මොකද? මේකෙ පතුලේ තියෙන්නෙ ආර්ථික ප්‍රශ්නයක්. මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැතිවුණාම ඔවුන් බල්ලෝ මරලා හරි සල්ලි හොයනවා. කුඩු විකුණනවා, ගංජා විකුණනවා. කප්පම් ගන්නවා. මේ ඔක්කොම සල්ලිවලට කරන්නෙ. මේ ආර්ථිකය කඩා වැටෙනකොට සමාජ අර්බුදය වැඩිවෙනවා. දැන් මේ උත්තර දෙන්න යන්නෙ පලයට. හේතුව නෙවෙයි. හේතුවට තමයි අපි විසඳුම් දෙන්න ඕන.
4. ප්‍රාදේශීය සභා විතරක් නෙවෙයි, රටේම සංවර්ධනයක් නැහැ. මේ ආර්ථිකය එක තැන පල්වෙනවා. කුණුවෙනවා. ආණ්ඩුව රටේ තියෙන ඒවා විකුණනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි මහ ආණ්ඩුවලට කරන්න දෙයකුත් නැහැ. පළාත් ආණ්ඩුවලට කරන්න දෙයකුත් නැහැ. ප්‍රාදේශීය සභාවලට කරන්න සල්ලි නැහැ. ඔළුගෙඩි මාරුකරලා පක්ෂවලට බලය දුන්නම රටක ආර්ථිකය කඩාගෙන වැටුණම සිදුවන දේ තමයි මේ වෙලා තියෙන්නෙ.
ඔය ස්ට්‍රයික් දේශපාලන කොන්ත්‍රාත්තු
ජාතික හෙළ උරුමයේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන
1. ජනාධිපතිතුමා ඒක නෙවෙයි කිව්වේ. එතුමා කිව්වේ මාධ්‍ය නිදහසක් ඇතිකළා. එහෙම කළාට පස්සෙ දැන් ඇතැම් මාධ්‍ය ඒක වැරදියට පාවිච්චි කරනවා. ඒ වගේම වෙනත් ඒකාධිපති ආණ්ඩුවක් ඇවිල්ලා බලයට මාධ්‍ය නිදහස නැතිකරගන්න එපා කියලා තමයි එතුමා කියලා තියෙන්නෙ. සමහරු එය වැරදියට වටහාගෙන.
2. ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කිරීමේදී දෙපැත්තටම තියෙනවා වාසි අවාසි. එහෙම නැතුව මේ ගිවිසුම් ඇතිකරගන්න බැහැ. වෛද්‍ය වැඩවර්ජනය කරන්න යන්නෙ දේශපාලන කොන්ත්‍රාත් එකක් මත. මේ අය මේ දේවල් කරන්නෙ. ඒ කොන්ත්‍රාත් නිසා.
3. මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු නැහැ කියන එක තමයි මගේ අදහස. මොකද මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල්වල අපරාධ අඩුවෙලා කියන එකක් වෙලා නැහැ. බන්ධනාගාරය ඇතුළේ ඉඳන් කෙරෙන කුඩු ජාවාරම තමයි නවත්වන්න ඕන. ඒක නැවැත්තුවේ නැතුව මරණ දඬුවම දුන්න පමණින්ම මේ කටයුත්ත නවත්වන්න බැහැ.
4. ප්‍රාදේශීය සභාවල කටයුතු කෙරෙන්නෙ නැති එක ඒ ප්‍රාදේශීය සභාවල තියෙන ප්‍රශ්නයක්. අනික දැන් වැඩි හරියක් ඒ ප්‍රාදේශීය සභාවල බලය තියෙන්නෙ පොහොට්ටු පක්ෂයේ. ඒ අයට මේ රටේ ගම්මානවල සංවර්ධන කටයුතු සිදුකරන්න බැහැ කියලා තමයි ඒකෙන් ඔප්පුවෙලා තියෙන්නෙ. මොකද? රජය විසින් ප්‍රතිපාදන සපයලා තියෙන්නෙ. එහෙම තියෙද්දි සංවර්ධන කටයුතු වෙන්නෙ නැහැ නම් ඒක ඒ අයගේ ප්‍රශ්නයක්.
අපේ රටට තනි ගමනක් නැහැ
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්
1. එතුමා කියපු එක හරි. මාධ්‍ය නිදහස තහවුරු වුණේ මේ ආණ්ඩුව ආවට පස්සෙ. ගිය ආණ්ඩුවේ මාධ්‍ය නිදහස තිබුණ විදිය කොහොමද කියලා හැමෝටම මතක ඇති කියලත් මම හිතනවා.
2. රටක් දියුණුවෙන්න අනිත් රටවල සහයෝගය අපි ලබාගන්න ඕන. එහෙම කාගෙන්වත් උදව් නැතුව අපිට තනියම ගමනක් යන්න තරම් ශක්තියක් නැහැ. මේක රටට ආයෝජන ගෙනෙන වැඩපිළිවෙළක්. ඇතැම් සංගම් මේවට විරෝධය පළකරන්නෙ විවිධ දේශපාලන පක්ෂවල වුවමනාවක් මත.
3. ජාත්‍යන්තරයට ඕන විදියට තීරණ ගන්න බැහැ. මේ වගේ දේවල්වලට අපි තමයි ඒ තීරණ ගන්න ඕන. මගේ පෞද්ගලික මතය නම් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට රටේ තියෙන අපරාධ සංස්කෘතිය අඩුවෙලා යයි.
4. ගමේ සංවර්ධන කටයුතුවලට අපි රජය මගින් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒත් සංවර්ධන වැඩ කටයුතු ප්‍රමාදවෙන එක ගැන නම් කියන්න දන්නෙ නැහැ.
කලින් ආණ්ඩුවේ තිබුණු මාධ්‍ය නිදහසේ හැටි තමයි ජනාධිපතිතුමා මතක් කළේ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලී සහීර් මවුලානා
1. මම හිතන්නෙ එතුමා මේකෙන් කළේ මාධ්‍යයට තර්ජනය කිරීමක් නෙවෙයි. එතුමා ඒ මතක් කරලා දෙන්න ඇත්තෙ පහුගිය රජය කාලයේ මේ වගේ දේවල් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කළා නම් ඒ අයට ඒ මාධ්‍ය ආයතනවලට වුණු දේවල් ගැන. එහෙම නැතුව මාධ්‍ය මර්දනය කරන බවට නෙවෙයි එතුමා මේ ප්‍රකාශ කළේ.
2. දියුණු වෙමින් පවතින රටක් හැටියට අපි දියුණු රටවලින් උදව් අරගෙන සංවර්ධන කටයුතු සිදුකරන්න ඕන. රජය සංවර්ධන කටයුතු රාශියක් මේ වෙනකොට අරඹලා තියෙනවා. ගම්මාන දියුණු කරන්න, සුළු හා මධ්‍යම ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සපයන්න මේ වෙනකොටත් වැඩ කටයුතු කරගෙන යනවා. ඇතැම් සංවිධාන ඒවා නවත්වන්න උත්සාහ කරන්නෙ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න.
3. රටට කුඩු ගෙනෙන වගේම රටේ අපරාධ සිදුකරන හැමෝටම නීතිය එකම විදියට ක්‍රියාත්මක කළ යුතුයි. දැඩි දඬුවම් එක්කෙනකුට දෙන්නකුට ලබාදුන්නම ඒක ඉබේටම අඩුවෙලා යනවා. මගේ මතය නම් වැරදි කරන සමාජයට පිළිලයක් වෙලා තියෙන හැමෝටම මේ වගේ දැඩි දඬුවම් ලබාදිය යුතුයි.
4. රටේ සංවර්ධන කටයුතු සිදුවෙනවා. රජය නව සංවර්ධන ව්‍යාපෘති මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. ඒක නාගරික වශයෙන් සහ ග්‍රාමීය වශයෙනුත් සිදුකෙරෙනවා.