
වැවිලි කර්මාන්තයෙන් පසුව ඇඟලුම් කර්මාන්තයක් පැමිණීමට ප්‍රථම මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බවට පත්වී තිබුණේ කෘෂිකර්මාන්තයයි. අද වන විට රටේ ආර්ථිකයට කෘෂි ආර්ථිකයෙන් ලැබෙන දායකත්වය අල්ප වුවද සමස්තයක් ලෙස රටේ ස්වයංපෝෂිතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තයේ දායකත්වය අදටත් දැවැන්ත ශක්තියකි. විශේෂයෙන්ම වී ගොවිතැන මෙරට ප්‍රධානම කෘෂිභෝගය වන පසුබිමක වී ගොවිතැනට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය රජයේ වගකීමක් බවට පත්ව තිබේ.
ජලාශ ඉදිකිරීමටත් ඒ ආශ්රිත ජලය ප්‍රයෝජනයට ගෙන ගොවිතැන් කිරීමටත් උපන් හපන්කම් දක්වන ජාතියක් ලෙස සිංහල ජාතිය හැඳින්විය හැකිය. එවන් පරපුරකින් පැවත එන ජාන මුසුවූ ජන කොටස් අදද මේ රටේ ඉතිරි වී සිටින බැව් පෙන්වන කදිම කැඩපතක් වන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ ඉදිවූ මහා ජලාශයි. ලොව මවිත කරවන දැනුමින් පොහොසත් මෙරට තරුණ ඉංජිනේරුවන්, තාක්ෂණික ශිල්පීන් මෙන්ම ක්ෂේත්රයට අදාළ වෘත්තිකයන්ගේ උත්සාහයෙන් ඉදිවූ ජලාශ අතර මොරගහකන්ද කළුගඟ ජලාශයට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි.
මොරගහකන්ද සහ කළුගඟ යනු එකිනෙකට සම්බන්ධ ව්‍යාපෘති දෙකකි. එහෙත් මොරගහකන්ද ව්‍යාපෘතිය කළුගඟ ව්‍යාපෘතියට පෙර ඇරුඹි අතර කළුගඟ ව්‍යාපෘතියේ රන් දියවර රුඳවුම සිදුවූයේ පසුගිය 23 වැනිදාය. මොරගහකන්ද ව්‍යාපෘතිය කළුගඟ ව්‍යාපෘතිය මෙන් දෙගුණයක් විශාල ව්‍යාපෘතියකි. එමගින් පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාල ජලාශයක් නිර්මාණය වේ. කළුගඟ ව්‍යාපෘතියද පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාල ව්‍යාපෘතියකි. ඒ අනුව මෙම ව්‍යාපෘති ද්විත්වයම එකට ගත් විට පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල වාරි සංකීර්ණයක් නිර්මාණය වනු ඇත.
කළුගඟ ව්‍යාපෘතිය යැයි කී විට කෙනකුට මතක් වන්නේ කළුතරින් මුහුදට වැටෙන කළු ගඟ කියාය. එම කළු ගඟ සමනළ කඳු මුදුනින් ආරම්භ වී සාගරයට සම්බන්ධ වේ. එහෙත් මොරගහකන්ද ව්‍යාපෘතියේ සඳහන් වන කළුගඟ අඹන් ගඟේ අත්තකි. අඹන් ගඟ පෝෂණය කරන අතුගංඟාවක් වන මේ කළු ගඟේ ආරම්භය වන්නේ නකල්ස් සංරක්ෂිත වනාන්තරයයි. නකස්ල්හි සිට ගලා යන මෙකී කළු ගඟ ලග්ගලදී මහා වේලි දෙකක් මගින් හරස්කර ජලාශය නිර්මාණය කර ඇත.

කළු ගඟ ප්‍රධාන වේල්ලේ උස මීටර 68 කි. දිග මීටර 568 කි. මුදුනත පළල මීටර් 08 ක් වන අතර එය ඉදිකරනු ලබන්නේ ගල් පිරවීමෙනි. කළුගඟ ජලාශයට ජලය ගබඩා කිරීම පිණිස සදැලි වේල්ලක් ඉදිකර ඇත. එහි උස මීටර 28 ක් වන අතර දිග මීටර 719 කි. කළුගඟ ජලාශය වර්ග කිලෝමීටර 14 ක් පුරා පැතිරෙන අතර ධාරිතාව අක්කර අඩි 216000 කි. එසේත් නැත්නම් ඝනමීටර මිලියන 248 කි. කුවේට් සංවර්ධන අරමුදල යටතේ රුපියල් මිලියන 4888.03 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 33.13 ක් සහ සෞදි සංවර්ධන අරමුදල මගින් අමෙරිකානු ඩොලර් මිලියන 46 ක් සහ ඔපෙක් ජාත්‍යන්තර අරමුදල මගින් අමෙරිකානු ඩොලර් මිලියන 16 ක් මේ සුවිසල් ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කර තිබේ.
පසුගිය 23 වැනිදා ආරම්භ කෙරුණු මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය ප්‍රධාන කොටස් තුනකින් ව්‍යාපෘති තුනක් ලෙස ක්‍රියාවට නැංවෙයි. මෙම ව්‍යාපෘතිය ආරම්භක ස්ථානයේ සිට මහකනදරාව දක්වා දිග කිලෝමීටර 96 ක් වන අතර එය කිලෝමීටර 28ක උමං මාර්ගයකින්ද සමන්විත වාරි ඇළ මාර්ගයකින්ද යුක්තය. වයඹ සංවර්ධනය සඳහා දිවෙන ඇළ මාර්ගය කිලෝමීටර 93 කි.
මූලික වශයෙන් මොරගහකන්ද යටල්ල දක්වා මෙම ඇළෙන් ජලය රැගෙන යන අතර විවෘත හා භූගත ලෙස මෙය ක්‍රියාත්මකය. යටල්ල ප්‍රදේශයේදී කොටස් තුනකින් මෙම ඇළ මාර්ගය ක්‍රියාත්මක වේ. ඒ අනුව පානීය ජලය හා වගා සඳහා හුරුළු වැවට වාර්ෂිකව ඝනමීටර මිලියන 124ක්ද, හුරුළු වැව, මාන්නකට්ටිය, ඒරා වැව, නාච්චදූව හා තිසා වැව හරහා මහකනදරාව දක්වා කිලෝමීටර 96 ක් දිග ඇළක් මගින් ජලය බෙදාහරිනු ඇත. මෙමගින් වයඹටත් ඇහැටු වැව කලාපයටත් අතිරික්ත ජලය යොමුකෙරෙන අතර ඒ අනුව තවත් මහ වැව් හා කුඩා වැව් මාර්ග 350 ක් පෝෂණය කිරීමට නියමිතය. මේ අනුව මහ ඇළි ව්‍යාපෘතිය මගින් ලොකු කුඩා වැව් 1200 ක් පමණ පෝෂණය කෙරේ.
තෙවැනි ව්‍යාපෘතිය ලෙස මිණිපේ වැව් අමුණ මීටර් තුනයි දශම පහක් දක්වා තවත් උස් කර විදුලි උත්පාදනයට ජලය යොදාගැනීමත් ඉන් මුදාහැරෙන අතිරික්ත ජලය වස්ගමුව දක්වා ගොවිබිම් සාරවත් කරමින් ගලා ගොස් අවසානයේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන සතුන් සඳහා ජලය ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් අක්කර ලක්ෂ දෙකක් දෙකන්නයට වගාකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව වසරකට කුඹුරු අක්කර ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් වගාකිරීම මෙහි ඉලක්කය වී තිබේ.
වගා තීව්‍රතාවය 200%කින් ඉහළ නැංවීම, පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලීම කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇති අතර මෙම ප්‍රදේශවලට ගැටලුවක්ව පවතින වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහාද මෙම ව්‍යාපෘතිය පිළියමක් වනු ඇති බවට විශ්වාස කෙරේ.
මෙම මහා ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම රුපියල් කෝටි 23,000 කි. එහි මූල්‍යමය ප්‍රතිපාදන සම්පූර්ණව ලැබී ඇත. මෙම ව්‍යාපෘතියෙන් වසරකට රුපියල් කෝටි 650 ක් කෙළින්ම ප්‍රතිපාදන ලැබෙන අතර වක්‍ර ප්‍රතිලාභද රුපියල් කෝටි 200කට අධිකව ලැබෙනු ඇතැයි මහවැලි අධිකාරිය අපේක්ෂා කරයි. දැනට මොරගහකන්ද ව්‍යාපෘතිය සියයට 100 ක් අවසන්ය. කළුගඟ ව්‍යාපෘතියේ කටයුතු සියයට 88 ක් අවසන් කර ඇත. විදුලි බලාගාරයද සක්‍රීය ලෙස ක්‍රියාත්මක කළ හැකිය.
සම්පත් කන්දක් අප රටට ලබාදෙන මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය පොදුවේ මුළු රටේම ජනතාවගේ සුබසිද්ධියට ඉවහල් වන ජනතා හදවත්වල මුල්බැසගත් මහා සංවර්ධන ක්‍රියාදාමක් වනු ඇත.
►හසිත් අංජන