
ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ දේශපාලන නායකයන්ගේ චරිත ආශ්‍රය කොට නිර්මාණය වූ සිනමා නිර්මාණ දෙකක් මේ වනවිට රූගත කිරීම් අවසානයේ ප්‍රදර්ශනයට සූදානම් කර තිබේ. ඒ සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කළ “නිදහසේ පියා ඩී.එස්.” සහ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ “ගින්නෙන් උපන් සීතල” සිනමා පට දෙකයි.
වරක් යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විජේවීර දැවැන්ත රැස්වීමක් අමතමින් සිටියේය. ඒ අවස්ථාවේදී විජේවීරගේ හිසට ගල් ප්‍රහාරයක් එල්ල වුණි. එම කොටස ඉතා අපූරුවට අධ්‍යයනය කොට කමල් ඉතා තාත්විකව රංගනයේ නියැලිණි. ඒ මොහොතට විජේවීර මුහුණදුන් අන්දමත්, ඒ මුහුණේ සෑම ඉරියව්වක් පාසා හරි අපූරුවට කමල් අද්දරආරච්චි “ගින්නෙන් උපන් සීතල” නම් සිනමා නිර්මාණයේ රංගනය තුළින් පෙන්වා තිබුණි. මේ නිසා අදද විජේවීරගේ චරිතය සඳහා එකම සුදුස්සා කමල් යැයි පවසන්නේ ඒ දක්ෂතාවය හේතුවෙනි.
මෙයින් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වූ ඩී.එස්. සේනානායක චරිතය කේන්ද්‍රය කොට නිර්මාණය වූ “නිදහසේ පියා ඩී.එස්.” චිත්‍රපටය පිළිබඳව එහි අධ්‍යක්ෂක සුනෙත් මාලිංග හා කළ කතාබහ පසුගිය සතියේ පළ කළෙමු. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර චරිතය අළලා නිර්මාණය වූ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ අධ්‍යක්ෂණ අනුරුද්ධ ජයසිංහ හා කල සාකච්ඡාව මෙවර පළවෙයි.
අනුරුද්ධ ජයසිංහ නම් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයාගේ හිතේ ඇඳුණු අපූරු සිනමා සිත්තමක් ලෙසින් “ගින්නෙන් උපන් සීතල” සිනමා නිර්මාණය හැඳින්විය හැක. පාසල් යන කාලයේ සිටම ඔවුන් මෙම ව්‍යාපාරයට යම් හෝ මට්ටමකින් සම්බන්ධයක් තිබුණි. 1986 වසරේදී අනුරුද්ධ ඇතුළු කණ්ඩායම ශිෂ්‍ය ව්‍යාපාරවලට යම් මට්ටමක සම්බන්ධයක් තිබුණි. ඔවුහු පීඩිත ජනතාව වෙනුවෙන් පෝස්ටර් ගැසීමට උදව් වූහ. එකල රටේ තිබූ දේශපාලන වාතාවරණයත් මේ පැවති තත්ත්වයත් නිසා අනුරුද්ධට යම් කුකුසක් ඇතිවිය. පාසල් ශිෂ්‍යයන් ලෙසින් ඔවුහුද වීරත්වයක් ආරෝපණය කර ගැනීමට උත්සාහ ගත්හ. රාත්‍රී කාලයේදී කාටත් හොරා තාප්පවල පෝස්ටරයක් ඇලවීමද එකල වීරත්වයක් ලෙස සැලකිණි. දේශපාලන පන්ති කිහිපයකටද ඔවුහු සහභාගි වූහ. එවැනි පසුබිමක ඔවුන්ද පසුකාලීනව මෙහි කොටස්කරුවෝ වූහ. වරක් අනුරුද්ධ පොලිස් අත්අඩංගුවටද පත් විය.
1988 නුගේගොඩ පැවති දැවැන්ත රැළිය බැලීමටද අනුරුද්ධ ඇතුළු සගයෝ සම්බන්ධ වූහ. දේශපාලනයට සම්බන්ධ පොත පත කියවූහ. එබැවින් රෝහණ විජේවීරගේ කාලයේ සිදුවූ බොහෝ දේ අනුරුද්ධ අත්වින්දේය. අත්දැක්කේය. රෝහණ විජේවීර ඇතුළු පක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් මුහුණට මුහුණ හමුවී නොතිබුණද ඔවුන්ගේ දර්ශනය පිළිබඳව යම් අවබෝධයක් ඇති පුරුකක් නිසාම අනුරුද්ධටද කවදාක හෝ දවසක මේ ව්‍යාපාරයේ නොපෙනුණු පැතිකඩ අළලා විජේවීර සම්බන්ධව සිනමා නිර්මාණයක් කිරීමට ඇල්මක් ඇතිවිය. ඒ වන විටත් විජේවීර ගැන කවි ඇතුළු කතා පළවෙමින් තිබිණි. කිසිම සිනමාකරුවෙක් විජේවීර චරිතය සිනමාවට නැගීමට උත්සාහ නොගත්හ. ඒ හිස්තැන පිරවීමට අනුරුද්ධට අවශ්‍ය විය.
අනුරුද්ධගේ උපන් දිනය යෙදෙන දිනයකදීම රෝහණ විජේවීරයන්ගේ මරණයද සිදුවිය. එය අනුරුද්ධට විශාල කම්පනයක්ද විය. මේ නිසා රටක පුරවැසියකු ලෙසින් රටේ කැළඹීමක් ඇතිකළ පුද්ගලයකු පිළිබඳව නිර්මාණයක් කිරීමට අනුරුද්ධ තුළ තිබූ ආශාව තවත් දැඩි විය.
සැබැවින්ම මෙය අභියෝගයක් විය. ඔහු සමාජය තුළ ඉතිරි කළ සාක්ෂි සහ තොරතුරු සමාජගත කර තිබුණි. ඔහු ආශ්‍රය කළ පුද්ගලයෝ අදටත් ජීවත් වෙති. මේ නිසා විජේවීර සම්බන්ධ වැරදි තතු හෝ තොරතුරු අළලා නිර්මාණයක් සිදුකළ නොහැක. ඒ සම්බන්ධව ඇඟිල්ල දිගුකිරීමට ඕනෑ තරම් සාක්ෂි අදද ජීවත් වෙති. මේ නිසාම මෙම නිර්මාණය බිහිකිරීම අභියෝගයකි.
විජේවීරගේ සෑම ඉරියව්වක්ම තියුණු ලෙස සලකා බැලීමත් චිත්‍රපටය පුරාවට විමසිල්ලෙන් සිදුකර තිබුණි. “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ රෝහණ විජේවීරගේ චරිතයට තෝරාගනු ලැබුවේ රටේ ප්‍රවීණ කලාකරැවකු, නළුවකු වන කමල් අද්දරආරච්චිය. ජනතා විමුක්ති පෙරමුණෙහි නායක රෝහණ විජේවීරට ඇලුම් කළ අය මෙන්ම විරුද්ධවාදීන්ද බොහෝ සිටියහ. නමුත් පක්ෂයේ සිටි පාක්ෂිකයෝ ඔහුට ජීවිතය පූජා කිරීමට තරම් ආදරය කළහ.
පාක්ෂිකයෝ බොහෝ දෙනා විජේවීර දැනගෙන සිටියහ. ඔහුව ඇසුරු කර තිබුණි. මේ නිසා සිනමා නිර්මාණයෙන් ඔවුන්ට අසාධාරණයක් කිරීමට අනුරුද්ධ මැලිවිය. කමල් අද්දරආරච්චි නම් රංගවේදියාගේ රංගනය පිළිබඳව අනුරුද්ධට විශ්වාසයක් තිබුණි. කමල් රඟපෑ සෑම නිර්මාණයකදීම ඔහු ඒ ඒ චරිතයන්ට සාධාරණයක් ඉෂ්ට කළේය. ඔහු කළ සෑම චරිතයකම විශේෂත්වයක් තිබුණි. කමල් අද්දරආරච්චි පිළිබඳව විශ්වාසය තබා අනුරුද්ධ මේ සඳහා ඔහුට ආරාධනා කළේය. මෙය ඔහුට අභියෝගයක් විය. යම් ආකාරයක හැදෑරීමක් කොට සිදුකළ යුතු චරිතයක් බව කමල්ටද පසක් විය. මේ නිසාම චරිතයට ආරාධනා කොට පිටපත කමල්ට බාරදීමට අවුරුදු එකහමාරක් වැනි කාලයක් ගත විය. ඒ අතරතුර කාලය තුළදී කමල්ද මේ චරිතය පිළිබඳව ස්වයං අධ්‍යයනයක නියැලී සිටියේය. සිනමා නිර්මාණය රූගත කිරීම ආරම්භ කරන විටදී විජේවීරගේ චරිතය පිළිබඳව යම් අවබෝධයක් ඔහු ලබා සිටියේය. ශරීරයේ අත පය පාවිච්චිය, කතාබහ, කථිකත්වය පිළිබඳවද කමල් තුළ හොඳ අවබෝධයක් තිබුණි. ඔහු ඒ චරිතයට ඉතා සාධාරණයක් ලබා දුන්නේය. අධ්‍යක්ෂ ලෙසින් අනුරුද්ධ ඔහුගේ රංගනය පිළිබඳව ඉතා සතුටු විය.
වරක් යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විජේවීර දැවැන්ත රැස්වීමක් අමතමින් සිටියේය. ඒ අවස්ථාවේදී විජේවීරගේ හිසට ගල් ප්‍රහාරයක් එල්ල වුණි. එම කොටස ඉතා අපූරුවට අධ්‍යයනය කොට කමල් ඉතා තාත්වික රංගනයේ නියැලිණි. ඒ මොහොතට විජේවීර මුහුණදුන් අන්දමත්, ඒ මුහුණේ සෑම ඉරියව්වක් පාසා හරි අපූරුවට කමල් අද්දරආරච්චි “ගින්නෙන් උපන් සීතල” නම් සිනමා නිර්මාණයේ රංගනය තුළින් පෙන්වා තිබුණි. මේ නිසා අදද ඔවුන් විජේවීරගේ චරිතය සඳහා එකම සුදුස්සා කමල් යැයි පවසන්නේ ඒ දක්ෂතාවය හේතුවෙනි.

“ගින්නෙන් උපන් සීතල” සිනමා නිර්මාණයේ රූගත කිරීම් මුලින්ම තංගල්ල, හම්බන්තොට, රන්මිණිතැන්න වැනි දකුණු පළාත්වලත්, කොත්මලේත් සිදුවිය. කලක් ඔහු මැණික් මුදලාලි කෙනකු ලෙසින් එලියස් ප්‍රනාන්දු නම් අනුවර්ත නාමයකින් වෙස්වලාගෙන සිටියේය. ඔහු දොස්තර මහතකුගේ බංගලාවක නවාතැන් ගනී. නමුත් කාලයක් ගතවෙද්දී දොස්තර මහතාත් ඔහුගේ බිරියත් මේ “රෝහණ විජේවීර” බව හඳුනාගනී. නමුත් ඔවුහු ඉතා කාරැණික මිනිසුන් වූහ. ඔවුන් රෝහණ විජේවීර ආරක්ෂා කිරීමට කැපවූයේය. ඔය අතරේ උලපනේ, ගම්පොල, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවල රූගත කිරීම් සිදුවිය. විජේවීර රුඳීසිටි සැබෑ දර්ශන තලවලම මෙම රෑගත කිරීම් සිදුවිය. ඔහු ගිය මංමාවත් දිගේ රූගත කිරීම් කෙරුණි.
විජේවීර ජීවත්ව සිටින කාලයේදී ඔහුව ඇසුරු කළ ඇතැම්හු අදද ජීවිතය බේරාගෙන ජීවත් වෙති. ඔවුන්ද අනුරුද්ධ ඇතුළු කණ්ඩායමට මේ සිනමා නිර්මාණය හරහා මුණගැසී තිබේ. විජේවීර වටා සිටි සාමාජිකයන් අතරේ බොහෝ දෙනෙක් එල්ලා මරනු ලැබූහ. ඒ චරිත සිනමා නිර්මාණයේදීද එල්ලා මරණ ලද්දේ ඒ අතීතයේ මැරූ තැනදීමය. ඇතැම් මරණ සිදුකළ පුද්ගලයන්ද මේ රූගත කිරීම් බලන්නට පැමිණ සිටියෝය. එය දෛවෝපගත සිදුවීමකි. කෙනකුට දකින්නට ලැබෙන දුර්ලභ අවස්ථාවකි.
“ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය පසුගියදා ඔස්කාර් සම්මාන උළෙලද නියෝජනය කළේය. එහිදී මෙම සිනමා නිර්මාණය මූලික වටයට සුදුසුකම් ලැබීය. මින් පෙර මේ උළෙල ලංකාවෙන් චිත්‍රපට දෙකක් නියෝජනය කර තිබේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ වෑකන්ද වලව්ව (2003) සහ චන්ද්‍රරත්නම් මහතාගේ අලිමංකඩ (2008) එම චිත්‍රපට දෙකයි.
“ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් ලෙසින් තේරීපත්විය. All light film services ආයතනය මගින් මෙම චිත්‍රපටය තෝරා තිබුණි. බොහෝ දුරට මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී මෙම “ගින්නෙන් උපන් සීතල” දින හතක් තිරගත වනු ඇත.
සැප්තැම්බර් මස අමෙරිකාවේදී තිරගත වීමට නියමිතව තිබුණද අප රටේ දේශපාලන නායකයකු වටා ගොඩනැගුණු අපේ කලාකරුවකුගේ නිර්මාණයක් ශ්‍රී ලාංකිකයන්ට දැකබලාගන්නට තවමත් කාලයක් තීරණය කර නොමැත. අද ක්‍රමවේදයක් නොමැතිකම නිසාම කවදා මෙය අප රටේ ප්‍රේක්ෂකයන්ට දැකබලාගැනීමට හැකිවේදැයි තවමත් මෙහි අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහට නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැක. කෙසේ හෝ මේ වසරේ මෙය තිරගත වේ යැයි රටේ සිනමාලෝලීන්ගේ බලාපොරොත්තුවය.
►දිශානි ජයමාලි කරුණාරත්න