
“කුඩ්ඩන් බේරන්න දේශපාලන බලපෑම් නෑ”
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර
“මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ කණ්ඩායම් යොදවා තිබෙනවා. එම නිලධාරීන් අවශ්‍ය නිදහස සහ බලය ලබාදී තිබෙනවා. ඔවුන්ට දේශපාලන බලපෑමක් නෑ. කුඩු ජාවාරම්කාරයින් බේරන්න කියලා කිසිම දේශපාලන බලපෑමක් ඇත්තේ නෑ. නීතිය හා සාමය පිළබඳ අමාත්‍යාංශයත් පොලීසියත් ස්වාධීනව ඒ කටයුතු කරනවා. මේ සඳහා දායකවන නිලධාරින්ට ත්‍යාග මුදල් ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම තොරතුරු ලබාදෙන අයටත් තෑගි ලබාදෙන්න සූදානම්. මේ සඳහා උපරිම පහසුකම් ලබාදුන්නා. මේ නිසා දැන් මත්ද්‍රව්‍ය මිල තුන් ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. ඒත් සමඟ පුනරුත්ථාපනය කිරීමට ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරගෙන යනවා. මත්ද්‍රව්‍ය මර්දනයට යුද හමුදාවේ සහායත් අවශ්‍ය පරිදි ලබාගන්නවා.”

ගතවූ සතිය ඇතුළුව මෑත කාලය තුළදී රටේ විවිධ ප්‍රදේශවලින් හොරොයින්, ගංජා, අයිස් වැනි මත්ද්‍රව්‍ය රාශියක් අත්අඩංගුවට ගැණින. වාර්තා වූ සිද්ධීන් හේතුවෙන් රට පුරා මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමේ හා ජාවාරම් කිරීමේ ප්‍රමාණාත්මක වර්ධනයක් ඇතැයි පෙන්නුම් කරයි. දිගින් දිගටම මත්ද්‍රව්‍ය හා ජාවාරම්කරුවන් කොටුවෙද්දී ජාවාරමේ බලය තහවුරු කරගැනීමට පාතාලයන් කරන සටනේදී වෙඩිතැබීම් හා ඝාතනය කිරීමේ රැල්ලක් ද වාර්තා වී තිබේ.
පොලීසිය, රේගුව, ත්‍රිවිධ හමුදාව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවලින් සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම් නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය අඩාලව පැවතීම හේතුවෙන් මේ වනවිට ලංකාවේ මත්කුඩු මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඊට ප්‍රධාන හේතුව වශයෙන් වැටලීම් හරහා කුඩු තොග අත්අඩංගුවට ගැනීම හා ජාවාරමේ නිරත සැකකරුවන් බහුලව අත්අඩංගුවට ගැනීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ ආකාරයට ජූලි 2 සිට 23 දක්වා පමණක් අත්අඩංගුවට පත්ව තිබෙන මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 149 ඉක්මවයි. ඒ අතරට මෙරට ගොඩබිමේදී හසුවූ විශාලතම හොරෝයින් මත්ද්‍රව්‍ය තොගය වූ රුපියල් කෝටි 125ක් වටිනා හෙරොයින් කිලෝ 103 ඇතුළත්ය. 2018 ජනවාරි 1 සිට ජූලි 22 දක්වා, හොරොයින් කිලෝ 167 ග්‍රෑම් 832ක් සහ මිලිග්‍රෑම් 522ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට වැටලීම් 18,993ක් සිදුකර සැකකරුවන් 19000ක් අත්අඩංගුවට පත්ව කේරළ ගංජා හා ගංජා කිලෝ 2841යි ග්‍රෑම් 513යි මිලිග්‍රෑම් 343ක් වැටලීම් 28,011 කදී අත්අඩංගුවට ගත් බවත් එහිදී සැකකරුවන් 28,030 දෙනකු පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ හැර කොකේන් කිලෝ 13යි ග්‍රෑම් 78ක් සහ මිලිග්‍රෑම් 546ක් වැටලීම් 8කදී සැකකරුවන් 8 දෙනකු සමඟත් හෂීස් කිලෝ 2යි ග්‍රෑම් 427යි මිලිග්‍රෑම් 660ක් වැටලීම් 24කදී සැකකරුවන් 25 දෙනෙක් සමඟ අත්අඩංගුවට ගත්බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජූලි මාසය ආරම්භයේ සිට මේ දක්වා අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොග අතර රුපියල් ලක්ෂ 96ක් වටිනා “අයිස්* මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806ක් සිය ගමන් බෑගයේ සඟවාගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙක් ද විය. ඔහු පසුගිය 20 වැනිදා කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය සමත්ව තිබුණි. සැකකරු ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ සිට පැමිණි අයෙක් වන අතර සී.ඩී. තැටි කීපයක් අතර මේවා රහසිගතව සඟවා තිබියදී සොයාගෙන තිබුණි. ඔහුගෙන් හෙළිකරගත් තොරතුරු අනුව එම මත්ද්‍රව්‍ය ලංකාවේදී බාරගැනීමට පැමිණි මෝදර කිඹුලාඇළ ප්‍රදේශයේ පුද්ගලයෙක්. අත්අඩංගුවට පත් විය.
පසුගිය 14 වැනිදා මහරගම පොලීසියේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී හෙරොයින් පැකට් කිරමින් සිටි එකම පවුලේ මව, පියා, දියණියන් දෙදෙනා හා තවත් ඥාති පුත්‍රයකු කුලී නිවසක් තුළදී අත්අඩංගුවට ගනු ලැබ තිබුණි. ඔවුන් මහරගම වීර මාවතේ පදිංචිකරුවන් පිරිසකි. එහිදී රුපියල් කෝටියකට ආසන්න වටිනා හෙරොයින් ග්‍රෑම් 482ක් සමඟ පැකට් කිරීමට භාවිත කළ උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබුණි.
ත්‍රිකුණාමලය සාම්පූර් ඉලක්කන්ද වෙරළේ ස්ථාන කීපයක වළදමා තිබූ රුපියල් කෝටි හතක් පමණ වටිනා හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 500ක් සාම්පූර් පොලීසිය විසින් සොයාගෙන තිබුණේ පසුගිය 13 වැනිදාය. මේවා ඇසුරුම් පහක අසුරා වෙන වෙනම වළදමා තිබී ඇත. මෙම හෙරොයින් තොගය විදේශයක සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් රටේ විවිධ ප්‍රදේශවලට යැවීම සඳහා මෙසේ සඟවා තිබී ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණි. රුපියල් කෝටි 12කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් පසුගිය 11 දින ත්‍රිකුණාමලය සේරුනුවර ලංකා පටුන පාරේ වී මෝලක තිබියදී සොයාගෙන තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව අදාළ වී මෝල වැටලීමේදී වී ගෝනි දෙකක් අතර සඟවා තිබියදී එම හොරොයින් තොගය සොයාගෙන ඇත. එහිදී පාර්සල් 22ක් තුළ හෙරොයින් කිලෝ 9යි ග්‍රෑම් 900ක් හමුව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.
ශ්‍රී ලංකාවේ ගොඩබිමෙන් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය බවට පත්වෙමින් රුපියල් කෝටි 125ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 103ක් සැකරුවන් දෙදෙනෙක්ද පමණ කළුබෝවිල හා බත්තරමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන් සමත්ව තිබුණි. ඒ පසුගිය 07 දින සිදුකළ වැටලීමකදීය. ඔවුන්ට ලද තොරතුරක් මත කළුබෝවිල ප්‍රදේශයේදී පළමු සැකකරු හෙරොයින් කිලෝ 33යි ග්‍රෑම් 374ක් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 70ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබුණි.
පසුගිය දිනෙක මත්තේගොඩ පොලීසියේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී රුපියල් 90,000ක් වටිනා හෙරොයින් මිලග්‍රෑම් 3560ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඊෂි කෑෂ් ක්‍රමයට කුඩු බෙදූ අයෙකි. ඔහු වසර 12ක් බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණි අයෙකු බවත් දෙහිවල “පැටියා” නැමැත්තෙකු විසින් මෙහෙයවූ අයෙක් බවටත් අනාවරණය වී ඇත.

කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව බ්‍රසීලයේ සිට මෙරටට පැමිණි බ්‍රසීල ජාතිකයන් දෙදෙනකු පරීක්ෂාවට ලක්කිරීමේදී ඔවුන් ගිලදමා තිබූ කොකෝන් ගුලි තොගයක් සොයාගැනීමට මීගමුව රෝහලේ වෛද්‍යවරු සමත්ව තිබුණි. එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් 4,85,00,000ක් බව හඳුනාගෙන තිබූ අතර ඒවා විරේක කිරීමෙන් අනතුරැව පිටතට ගෙන තිබුණි. එක් සැකකරුවෙක් ගුලි 91ක්ද අනෙක් සැකකරු ගුලි 72ක්ද වශයෙන් ගිල ඇති අතර එහි බර කිලෝ එකයි ග්‍රෑම් 950කි.
මේ ආකාරයටම තවත් කොකේන් ගුලි 58ක් ගිල කටුනායක ගුවන්තොටු පළෙන් පැමිණි බ්‍රසීල ජාතිකයෙක් පසුගිය 30 දා අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලීමකදීය. එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් බවට වාර්තා විය. සියලු ආරක්ෂ අංශ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැටලීම් සිදුකළද පොලීසියේ කාර්යභාරය කැපීපෙනේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ උපදෙසින් පොලිස්පතිවරයා ලබාදී ඇති නියෝග ප්‍රකාරව ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රධානව සියලු පොලිස් ස්ථාන, විශේෂ ඒකක, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු දෙපාර්තමේන්තු මේ සඳහා සක්‍රියව දායකව සිටිති. එහිදී පැතිකඩ කීපයක් ඔස්සේ එනම් වැටලීම්, නඩු කටයුතු පවත්වාගෙන යාම හා විමර්ශනය ඇතුළු ක්‍රියාවලින් රැසක් ඔස්සේ මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙහිදී ජාවාරම් ජාලය මෙහෙයවන්නන්, ඒ පසුපස සිටින පුද්ගලයන් පිළිබඳ විමර්ශනයේදී බොහෝ විට හෙළිවී ඇත්තේ ජාවාරම් සම්බන්ධයෙන් වරදකරු වී රාජ්‍ය බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන් බන්ධනාගාරය තුළ සිට ජාවාරම් මෙහෙයවා ඇති බවය. එසේම මත්ද්‍රව්‍ය ජාලය හරහා මුදල් ඉපයූ ප්‍රබලයෝ 23ගේ නම් හඳුනාගෙන ඇති බවත් ඉන් පිරිසක් විදේශ ගතව සිටින බවත් ඔවුන්ගේ දේපල රාජසන්තක කිරීමට මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය වැටලීම්වලට සමගාමීව වැළැක්වීමේ සහ නිවාරණය කිරීමේ කාර්ය ක්‍රමවත්ව සිදුකරන බවය. ඒ අනුව දැනුවත් කිරීම, ප්‍රදර්ශනය, දේශන, පාඨමාලා සංවිධානය කරයි. 2018 ජනවාරි සිට ජූලි 22 දක්වා දේශන 69ක් පවත්වා ඇති අතර සහභාගී වූ පිරිස 62,601කි. ප්‍රදර්ශන 8ක් පවත්වා ඇති අතර ඊට සම්බන්ධ වූ පිරිස 47400කි. එසේම ජූනි 26 සිට ජූලි 2 දක්වා පැවැත් වූ “මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිසිය එක්ව වැඩසටහන් 2283ක් පවත්වා තිබෙන බවත් ඊට ජනතාව 151,561ක් සම්බන්ධ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
►සමන්ත ප්‍රදීප් විල්තෙර