
අපේ රට වටේ මුහුද තිබුණත් අපට අවශ්‍ය මත්ස්‍ය සම්පත මහ මුහුදෙන් ලබාගැනීමට තවමත් අපොහොසත්ය. ඒ නිසා සෙසු ආහාර ද්‍රව්‍ය මෙන් මසුන්ද ආනයනය කිරීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යාලේඛන අනුව 2017 වසරේදී පිටරටින් ගෙන ආ මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හය දහස (1,06,000) කි. රටේ ජනගහනය අනුව සලකා බලන විට එක් පුද්ගලයකු වෙනුවෙන් මාළු කිලෝ පහ බැගින් ආනයනය කර ඇත. මසුන් ආනයනය කිරීම සඳහා 2017 වසරේදී වැයකර ඇති මුදල රුපියල් මිලියන 33969 ක් වේ.
2017 අවුරුද්දේ රටේ මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් පන්ලක්ෂ තිස්එක් දහස් තුන්සිය දහයක් (5,31,310) වී ඇත. එසේම විදේශවලට මසුන් මෙට්‍රික් ටොන් විසිහතර දහස් අටසිය විසිහතක් (24,827) අපනයනය කර තිබෙන බවද සඳහන්ය.
2016 වසර හා සැසඳීමේදී 2017 රටේ මත්ස්‍ය නිෂ්පාදනය බොහෝ දුරට නොවෙනස්ව තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 2017 වසරේදී මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය සමස්ත නිපැයුමෙන් සියයට 84.6ක අගයක් පෙන්නුම් කර ඇති අතර එය මෙට්‍රික් ටොන් 449.440 ක් දක්වා 2016ට සාපේක්ෂව සියයට 1.7ක අඩුවීමක් පෙන්නුම් කළ බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. වෙරළ ආශ්‍රිත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 259,720 දක්වා සියයට 5.3කින් පහළ ගොස් ඇති බව හෙළිවේ. එසේම මිරිදිය ජලජීවී වගාව මෙට්‍රික් ටොන් 8740 දක්වා සියයට 7.9කින්ද කූනිස්සන් හා ඉස්සන් නිෂ්පාදනය ටොන් 4620 දක්වා සියයට 23.4කින්ද අඩුව තිබෙන බව වාර්තා කරයි.
මේ අනුව පෙනී යන්නේ රටේ මත්ස්‍ය නිෂ්පාදනය වර්ධනය කිරීම කෙරෙහි වගකිවයුත්තන් එතරම් අවධානයක් යොමුනොකරන බවය. ධීවර සංස්ථාවද අලෙවි ප්‍රවර්ධන කටයුතුවලින් මේ කාලයේ වැළැකී සිටින බවක් දක්නට ඇත. එක් සමයක මත්ස්‍ය සිල්ලර අලෙවිහල් ඇතැම් නගරවල විවෘත කළද මේ වන විට ඒවා වසා දමමින් යන ස්වරූපයක් පෙනෙන්නට ඇත. ධීවර සංස්ථාවෙන් ධීවර කාර්මිකයන්ට මෙන්ම මත්ස්‍ය පාරිභෝගිකයන්ටද සහන සැලසිය යුතුව තිබියදී වැසූ වෙළෙඳසල්වල සේවකයන් ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කර ඔවුන්ට වැටුප් ගෙවමින් සිටින බව දැනගන්නට ඇත.
පසුගියදා වර්ධනය වූ මිල වැඩිවීමේ රැල්ලට මාළු, මස්, බිත්තර, කරවල හා එළවළු අසුවී තිබේ. අද වන විට තලපත් මාළු හා කෙලවල්ලා මාළු කිලෝව රුපියල් 1200ට ආසන්නය. එසේම තෝර මාළු කිලෝව රුපියල් 2000ට ආසන්නව තිබේ. ලින්නා, සුරාපරා, සාලයා, පියාමැස්සා, සූඩයා, හුරුල්ලා ආදී පහළ මිලට තිබූ කූරි මාළුද කිලෝව රුපියල් 100කට ආසන්නයේ මිල වැඩිවී තිබේ. මිල වැඩිවීමට හේතුව මුහුදේ මසුන් අඩුවීම නොව මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තය හරිහැටි කළමනාකරණය නොකිරීමයි. ඒ නිසා මාළු අපතේ යාම වැඩිව තිබේ.

අපේ රට වටේම ඇති මුහුද වටේ නාවුක සැතපුම් 12ක ප්‍රමාණයේ ඍජු අයිතිය ඇත්තේ අපටය. වෙරළේ සිට නාවුක සැතපුම් 200ක අනන්‍ය ආර්ථික කලාපයක් ප්‍රකාශයට පත් කර ඇත. රටේ වර්ග ප්‍රමාණය මෙන් අටගුණයක් විශාල මුහුදක් අපට හිමිව තිබේ. එහෙත් දුප්පත් පාරිභෝගිකයාට සාධාරණ මිලකට මාළු කැබැල්ලක් කෑමට ඇති අයිතිය අහිමි වී තිබේ. ධීවර විෂයට අදාළව ඇමැති, නියෝජ්‍ය ඇමැති, පළාත් සභා අටේ ඇමැතිවරැන්, අධීක්ෂණ ඇමැති වශයෙන් ඇමැතිවරුන් එකොළොස් දෙනකු සිටියත් ධීවරයාට හෝ පාරිභෝගිකයාට සිදුව ඇති යහපතක් නොමැත. ධීවර කර්මාන්තය එදා මෙන්ම අද වන විටද අතරමැදි ව්‍යාපාරිකයන් කිහිපදෙනකුගේ ග්‍රහණයට නතුව තිබේ. ඒ බොහෝ දෙනා දේශපාලනඥයන්ට සම්බන්ධය.
පසුගියදා ඉන්ධන සහනාධාරයක් පතා ධීවරයෝ උද්ඝෝෂණ ව්‍යාපාරවලට එළඹුණහ. එය මේ වන විට යම් පමණකට සමථයකට පත්වුවද ආණ්ඩුවට සෑම දිනම මෙලෙස සහන සැලසිය නොහැකිය. ධීවර කර්මාන්තයේ ගැටලුවලට රජය විසඳුම් ලබාදෙනවා නම් මෙලෙස විශාල පිරිවැයක් දරාගෙන ඉන්ධන සහනයක් ලබාදිය යුතු නොවේ.
පසුගිය සමයේ යුරෝපා සංගමය මගින් අපට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම මේ වන විට ඉවත් කර තිබේ. එම තහනම ගැන ඒ දිනවල බොහෝ දෙනා කතා කළද තහනම ඉවත් කර ගැනීමෙන් පසු ධීවර අපනයනය ප්‍රවර්ධනය කිරීමට මෙතෙක් කළ දෙයක් දක්නට ඇත. 2017 වසරේ අපනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 24,827 ක් වැනි සුළු ප්‍රමාණයකි. දැනට ඇති පහසුකම් උපයෝගී කරගෙන විදේශ රටවල වෙළෙඳපොළ ප්‍රවර්ධනය කළ යුතුව ඇත. එසේම රටේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට මෙයට වඩා උනන්දුවක් දැක්විය යුතුව තිබේ. විදේශිකයන් අතර ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්ට වැඩි ඉල්ලුමක් පවතී.
එසේම මත්ස්‍ය ආනයනය සීමාකර හෝටල් කර්මාන්තවලට සහ විවිධ ආයතනවලට අපේ නිෂ්පාදන සැපයීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇත. විවිධ ආනයනයට වැයවන විදේශ විනිමය අවම කරගත හැකිය. අපේ මුහුදෙන් ඇල්ලූ අලුත් මසුන් මෙරටට එන සංචාරකයන්ට ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇත. විශේෂයෙන් සංචාරකයන්ගේ වැඩි ඉල්ලුමට පවතින ඉස්සා, පොකිරිස්සා, දැල්ලා, කූනිස්සා වැනි මසුන් සංචාරක හෝටල් සඳහා අඛණ්ඩ ලෙස සැපයීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතුව ඇත.
පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය තොග වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ. ජයසිරි
“මේ දිනවල කොහොමත් මසුන් මිල ඉහළ ගොස් ඇත්තේ සාමාන්‍යයෙන් වසරේ ජූනි, ජූලි, අගෝස්තු මාසවල අස්වැන්න අඩුවීම නිසයි. බෝට්ටු යාමත් අඩුයි. වර්ෂය අවසන් මාසවල මිල අඩුවීම තමා සාමාන්‍යයෙන් සිද්ධවෙන්නේ. තවද ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා අනවසරයෙන් අපේ මුහුදු සීමාවේ උතුරු නැගෙනහිර මසුන් ඇල්ලීමේ කටයුතුවල යෙදීමද මසුන් බෝවීම අඩුවීමට හේතුවක්. ඒ අය මහා පරිමාණයෙන් ජාවාරම සිදුකරන අතර ඉවක් බවක් නැතිව කුඩා මසුන් පවා ඇල්ලීම නිසා අනාගතයේ මසුන් බෝවීම අඩුවීමට හේතුවෙනවා.
කොප්පරා, තලපත්, කෙලවල්ලා, පරා ආදී මාළුවල විශාල හිඟයක් පවතිනවා. සැමන් නිෂ්පාදනයට ලින්නා මාළු පාවිච්චි කරනවා. ඒවා මැකරල් ටින්මාළු ලෙසයි වෙළෙඳපොළට එන්නේ. මුහුදු ඉස්සෝ බෝවීම අඩුයි. අද වැඩිපුර තියෙන්නේ කලපු හා ෆාම් ඉස්සොයි. මෙහෙ තලපත් කිලෝවේ තොග මිල රුපියල් 700 ක්, කොප්පරා 500 ක් කෙලවල්ලා 700 පමණ වෙනවා. පරා මාළුන් ඒ හා සමාන මිලයි. ඒත් පිටරටින් ගෙනෙන මාළු මිල මෙයට වඩා කිලෝව රුපියල් 200 පමණ අඩුයි. එම මාළු විශාල ලෙස ලාභ තබාගෙනයි විකුණන්නේ. මෙහිදී සිදුවන්නේ අපේ වෙළෙන්දන්ද පිටරට මාළුවලට සමාන තත්ත්වයට මිල නැංවීමයි. ඒ අනුව පෙනී යන්නේ ආනයන මාළු අපේ රටේ මාළු මිල තීරණය කිරීමට බලපාන බවයි.
අනිත් අතට රජයේ ආයතනවලට මාළු සපයන කොන්ත්‍රාත්කරැවන් ආහාර සපයන අය ඒ සඳහා මසුන් ආනයනය කරනවා. ඒ අය ගෙනෙන මාළු කෙළින්ම වෙළෙඳපොළට නොදමා එම අවශ්‍යතා සඳහා යොදාගන්නවා. එයද මිල ඉහළ යාමට හේතුවක්. ආනයන මාළුවලට සමානව රටේ මාළු මිල ඉහළ යාම වළක්වන්න බැහැ. පුරුදුවෙලා ඉන්නේ එහෙමයි. ආනයනය කරන මාළුවලට තීරුබදු හා විවිධ බදු ගැහිල්ලත් මිල ඉහළ යාමට හේතුවෙනවා.
එසේම මාළු අපනයනය කිරීමද රටේ මිල ඉහළ යාමට හේතුවෙනවා. ගල්මාළු, තෝරා මාළු, ඉස්සෝ, දැල්ලෝ ආදිය රට යවනවා. ඒ නිසා ඒ මාළුවල මිල ඉහළයි. රටේ අයට පහසු මිලකට ගන්නට ලැබෙන්නේ නැහැ. සමහර මාළු වර්ග ඇත්තේම නැහැ. මසුන් අපනයනය කිරීම හොඳ වුවත් එය රටේ මාළු මිල ඉහළ යාමට හේතුවෙනවා නම් එයින් රටේ ජනතාව අමාරුවේ වැටෙනවා. මාළු අපනයනය කිරීම විශාල සමාගම්වලින් තමා කරන්නේ. මාළු අල්ලන ධීවරයාට වඩා විශාල ආදායමක් අතරමැදි ඔවුන් ලබනවා.

අද වන විට ඉන්ධන මිල ඉහළයි. යාත්‍රාවල අමතර කොටස් මිල වැඩියි. නඩත්තුවට විශාල මුදලක් වැයවෙනවා. කාලගුණ විපර්යාසත් නිෂ්පාදනය පහළ යාමට හේතුවෙනවා. ධීවරයන් ඉතාම අපහසුවෙන් තමා මෙම කර්මාන්තය කරන්නේ. ලාභය ඉතාම සීමිතයි. වියදම වැඩියි. ඒ නිසා බොහෝ විශාල යාත්‍රා පවා මුහුදු නොගොස් ගැටගසා තබනවා දැකගත හැකියි.
ආනයනය කරන මාළු එවිගසම වෙළෙඳපොළට යන්නේ නැහැ. ඒ අය ශීතාගාරවල විශාල වශයෙන් ගබඩා කර තබාගෙන ටිකින් ටික තමා වෙළෙඳපොළට දමන්නේ. එසේම මාළු මුදලාලිලා අස්වැන්න වැඩි කාලයට මසුන් වැඩි වශයෙන් මිලට ගෙන ගබඩා කර තබාගෙන මිල වැඩිවූ විට වෙළෙඳපොළට දමනවා. පහුගිය කාලයේ බලයා කිලෝව රුපියල් 150-200ට ගියා. ඒත් ඒ ලාභය ජනතාවට ලැබුණේ නැහැ.
මෙම තත්ත්වය අඩුකිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතු වෙනවා. මුදලාලිලාට බාරනොදී ධීවර සංස්ථාවට පුළුවන් මසුන් ගබඩා කර තබාගෙන මිල වැඩිවූ විට වෙළෙඳපොළට මුදාහරින්න. ඒත් ධීවර සංස්ථාව එම රාජකාරියෙන් බැහැරවෙලයි ඉන්නේ. ඒ නිසා සංස්ථාවට ආදායම අහිමි වී ඇති අතර පාරිභෝගිකයාටද විශාල වැඩි මිලට මාළු ගන්න සිදුවෙලා තියෙනවා.
පුත්තලම දිස්ත්‍රික් ධීවර සංවිධානයේ සභාපති දේශමාන්‍ය ඩබ්ලිව්.ජේ. කැමිලස් පෙරේරා පවසන්නේ මාළු නිෂ්පාදනය කළමනාකරණය කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි. එසේ නොවන තාක් මත්ස්‍ය වෙළෙඳපොළ පාලනයට පෞද්ගලික අතරමැදියන් සම්බන්ධ වීම නැවැත්විය නොහැකි බව කියයි. එසේම මත්ස්‍ය අස්වැන්න විශාල ලෙස අපතේ යාම සහ අවිධිමත් ලෙස මසුන් ඇල්ලීම නිසා මත්ස්‍ය සම්පත විනාශ වීමේ තර්ජනයකට මුහුණපා ඇති බවද ඔහු පෙන්වා දෙයි. ප්‍රමිතියෙන් තොර දැල් නිසා කුඩා මසුන් විශාල ලෙස විනාශයට පත්වෙයි.
“ආණ්ඩුව දැන් බොහෝ කාලයක සිට ධීවර කර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්නට උත්සාහ කරනවා. එහෙත් එහි අග මුලක් තවම නැහැ. මෙහිදී අදාළ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රායෝගිකව හඳුනන ධීවරයන් මේ සඳහා සම්බන්ධ කරගත යුතුයි. එහෙම නැතුව රාජ්‍ය නිලධාරීන් හදන ප්‍රතිපත්තිවලින් වැඩක් නැහැ. නාරා ආයතන නිලධාරීන් ධීවර ප්‍රදේශවලට පැමිණ හෝටල් කාමරවල දිගුකල් නැවතී සැලසුම් සකස් කරනවා. ඒ සඳහා විශාල මුදලක් වැය කරනවා. එහෙත් සිදුවූ දෙයක් නැහැ.
එසේම අපේ රටේ අල්ලන මාළු අපතේ යනවා වැඩියි. මසුන් වැඩිපුර අහුවෙන කාලවල ඒවා අලෙවි කරගන්න අමාරුයි. කරවල කිරීමට, ජාඩි දැමීමට යම් ක්‍රියාමාර්ග ගන්නවා නම් මෙලෙස අපතේ යන්නේ නැහැ. අහුවෙන මාළු අලෙවි කරගන්න බැරිව ආපසු මුහුදට හලන අවස්ථා තිබෙනවා. වගකිවයුත්තන් මැදිහත් වී අතිරික්ත මත්ස්‍ය අස්වැන්න කල්තබා ගන්නා ක්‍රමයක් සකස් කළ යුතුයි.
ඉන්දියානු ධීවරයන් අපේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීම අපට විශාල ගැටලුවක් වී තිබෙනවා. මේ පිළිබඳ ඉන්දියාව සමඟ පැවැති සාකච්ඡාවලට මමත් සහභාගි වුණා. ඉන්දියාව ඉල්ලා සිටියේ කිලෝමීටර් 5ක පමණ දුරක් අපේ මුහුදු සීමාවට ඇතුළු වෙන්න ඉඩ දෙන්න කියලයි. ඒ සඳහා අවුරුදු 3ක කාලයක් දෙන ලෙස ඉල්ලූ අතර ඒ කාලය තුළ ක්‍රමයෙන් අපේ මසුන් ඇල්ලීම අඩු කරලා වසර 3කින් පසු සම්පූර්ණයෙන් අත්හරින බව කීවා. අපිත් එයට කැමැති වුණත් සාකච්ඡාවට ගිය ආණ්ඩුවේ නිලධාරීන් එයට අකමැති වීම නිසා සාකච්ඡාව අසාර්ථක වුණා.
යසවර්ධන රුද්රිගු