2018 ජුලි 21 වන සෙනසුරාදා

කුඩු කප්පිත්තන්ට පෝරකය හොඳද? නරකද?

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 281

මරණ දඬුවමට ලක් වූ වරදකරුවකුගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක් ගෙලට තොණ්ඩුව සිරකර එල්ලා මැරීම මෙරට අවසන් වරට ක්‍රියාත්මකව ඇත්තේ 1976 වසරේ ජූනි 23 වැනිදාය. ඒ තිස්සමහාරාම යෝධකණ්ඩිය ප්‍රදේශයේ විසූ ඒ.ජේ.එම්. චන්ද්‍රදාස හෙවත් “හොඳ පපුවා”ය. එදා සිට අද දක්වා එල්ලා මැරීම ක්‍රියාත්මක නොවුණද එල්ලා මැරීමේ කතිකාව දිනෙන් දින මතුවූයේ වැඩිවන අපරාධ රැල්ලත් සමඟය.

මීට වසර 42කට පෙර සිට එනම් 1976 වසරින් පසු ලංකාවේ ක්‍රියාත්මක නොවූ එල්ලුම් ගහට යළිත් පණ දෙන්නට මේ වනවිට රජය සූදානමින් සිටියි. රජය මේ පිළිබඳව පසුගියදා තීන්දුව ගත්තේ දිනෙන් දින සමාජය වෙළාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට එරෙහිව ගත හැකි හොඳම පියවර මෙය බව සැලකිල්ලට ලක් කරමිනි. පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ආ මේ යෝජනාවට අමාත්‍යවරුන් බහුතරයකගේ කැමැත්තද හිමි විය.

වර්තමානයේ කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දඬුවම ක්‍රියාත්මක වුවද සිරගත වූ ඔවුන් බොහෝ දෙනෙකු බරපතළම දඬුවම තමන්ට හිමි වුවත් මෙතෙක් සිදුකළ කුඩු ජාවාරම් නිමකළේ නැත. සිපිරි ගෙය තුළදී යම් යම් ඉඩ ප්‍රස්ථා ලද නිසා මේ මරණීය දඬුවමට ලක්වූවෝ සිය බාහිර සම්බන්ධකම් යොදාගෙන කුඩු ජාවාරම ජයටම මෙහෙයමින් සිටිති. මේ හේතුවෙන් මේ වනවිට රටට සිදුව ඇති ව්‍යසන බොහෝය. දැන් බොහෝ දෙනෙකු බලා සිටින්නේ යළිත් මේ අපරාධකරුවන්ට හිමි නිසි දඬුවම එල්ලුම් ගසෙන් හෝ විසඳන තෙක්ය.

මෙලෙස එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම පිළිබඳව එදිනෙදා මගතොටේ ගමන් ගන්නා කිහිප දෙනකුගෙන් දේශයේ අපි මත විමසුමක් කළෙමු.

හොඳ තීන්දුවක්

- ප්‍රේමසිරි - අංගොඩ
අනිවාර්යයෙන්ම කුඩු ජාවාරම් කරන හැමෝටම මරණ දඬුවම ලබාදෙන්න ඕන කියලා ජනාධිපතිවරයා ගන්නා මේ තීරණය ගැන අපි බෙහෙවින්ම සතුටු වෙනවා. මේ කුඩු ව්‍යසනයෙන් රටේ තරුණ පරපුර අද වෙනකොට විනාශවෙලා ඉවරයි. එක්කෙනෙක් දෙන්නෙක් එල්ලලා මැරැවම මේක ගොඩක් දුරට අඩුවෙයි. එහෙම නැතත් පොඩි හරි බයක් හිතට එයිනේ ඔය බිස්නස් කරන පුද්ගලයින්ට. අනාගතයේ තරුණ පරපුර බේරාගන්න රජය, ජනාධිපතිවරයා ගන්නා මේ තීන්දුව ගැන අපි ඇත්තටම සතුටු වෙනවා.

 

විදෙස් කුමන්ත්‍රණකාරයෝ එළවන්න ඕනෑ

විජිත් අරුණසිරි  - බොරලැස්ගමුව
අපේ රට සුද්දන්ගෙන් නිදහස් කරගත්තා කිව්වට තවම එහෙම වෙලා නැහැ. ඒ අධිරාජ්‍යවාදීන් රට තුළ නැතත් ඔවුන්ගේ රහස් ඔත්තු සේවාවන් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඔවුන් තමයි මේ රටේ මේ මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කරමින් රට තුළ පතුරවන්නේ. අධිරාජ්‍යවාදීන්ගේ ඔත්තු සේවා රට හැර නොයන තාක් කල් මරණ දඬුවම නෙවෙයි මොන දඬුවම දුන්නත් මේක නතර කරන්න බැහැ. අපේ රටට ජාතියට අටවපු උගුල්වලින් තමයි මේ විදියට රටට මත්ද්‍රව්‍ය එන්නේ. මේවා පාලනය
කරන්න මේ රහස් ඔත්තු සේවා මේ රටින් අයින් කරන්න ඕන.

 

මුලින්ම දඬුවම් දෙන්න ඕනෑ කුඩු ගේන දේශපාලනඥයන්ට

රත්නායක - ගම්පහ
මරණ දඬුවම ක්‍රියාත්මක කළා කියලා මේ බිස්නස් නතර වෙන්නේ නැහැ. මේවා රටට ගෙන්වන ලොකු උදවියට තමයි දඬුවම් දෙන්න ඕන. මේ පොඩි මිනිස්සුන්ට දඬුවම් දීලා හරි යන්නේ නැහැ. දේශපාලකයෝ ඉන්නවා මේ රටට කුඩු ගේන. ඒ අයට තමයි මුලින්ම දඬුවම් කරන්න ඕන. මම කියන්නේ මේ වැරදිවලට මරණ දඬුවම හරියන්නේ නැහැ. ඒක දැන් රටට හරියන ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා මුලක ඉඳලා මේකට සම්බන්ධ අයට වෙනත් දඬුවමක් දෙන්න ඕන.

 

එල්ලන්නම ඕනෑ

බෙනඩික් - හැඳල
කුඩු බිස්නස් කරන, කුඩු රටට ගෙන්වන හැමෝම එල්ලන්න ඕන. පාට පක්ෂ බේද බලලා වැඩක් නැහැ. වැරදි කරන අය ඉන්නව නම් දඬුවම් දෙන්න ඕන. ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දුන්නත් වැඩක් නැහැ. ඔය තෝරු මෝරු ඔක්කොම හිරේ ඉඳන් තමයි ඕවා කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම කුඩු බිස්නස් කරන හැමෝටම මරණ දඬුවම දෙන එකට කැමතියි.

 

 

ස්ත්‍රී දූෂණ - ළමා අපචාරවලටත් මේ දඬුවම ඕනෑ

විනීතා - මාතර
ඇත්තටම කුඩු දැන් රටපුරා වසංගතයක් වගේ පැතිරිලා ඉවරයි. කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදෙන්න ගත්ත තීරණය ගැන අපි බෙහෙවින්ම සතුටු වෙනවා. අපේ දරුවෝ විනාශකරන කුඩු බිස්නස්කාරයෝ ජීවත්වෙලා වැඩක් නැහැ. කුඩුවලට විතරක් නෙවෙයි ස්ත්‍රී දූෂණ, ළමා අපචාර කරන මේ වගේ වැරදි කරන හැමෝටමත් මරණ දඬුවම දෙන්න ඕන. එක්කෙනෙක් දෙන්නෙක් එල්ලලා මරද්දී ඔය ප්‍රශ්න ටික ටික විසඳගන්න පුළුවන්. කල් යව යව ඉන්නේ නැතුව අද හෙටම ඕක ක්‍රියාත්මක කරන්න ඕන.

 

රට බේරාගන්න පුළුවන් ඕකෙන් විතරයි

සමන්මලී - වැල්ලවාය
මේ කුඩු නිසා තමයි අද තරුණ පරපුර නැත්තටම නැතිවෙලා තියෙන්නේ. ඒ වගේම රටේ දරුවෝ, ගැහැණු කී දෙනෙක් අසරණ අනාථවෙලා ඉන්නවද කුඩු නිසා. මේක දැන් වසංගතයක් වෙලා ඉවරයි. රටේ හැමතැනම දැන් මේ විෂබීජය පැතිරිලා තියෙන්නේ. මේ කියන ප්‍රශ්නවලට විසඳුමක් හොයන්න පුළුවන් මරණ දඬුවම ක්‍රියාත්මක කළොත් විතරයි. තවත් පරක්කු නොවී මේක ක්‍රියාත්මක කරන්න ඕනා.

 

තරාතිරම නොබලා දඬුවම දිය යුතුයි

දේවින්ද - අම්බලන්ගොඩ
කුඩුවලට විතරක් නෙවෙයි අනික් බරපතළ වැරදිවලටත් මරණ දඬුවම දෙන්න ඕන. ඒ වගේම මේ වගේ වැරදි කරන උදවිය තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. මේ කුඩු විකුණන ජාවාරම් කරන අයට මරණ දඬුවම ගේනවට මම කැමතියි.