2018 ජුලි 21 වන සෙනසුරාදා

ජවිපේ ගේන්න හදන ව්‍යවස්ථා සංශෝධනය

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ මහත් කතාබහට ලක්ව ඇති උණුසුම් මාතෘකාවක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශොධනය හැඳින්විය හැකියි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා සංශෝධන 19ක් පමණ සිදු කොට ඇති අතර එකී සංශෝධන බහුතරයක් සිදුවී ඇත්තේ එක් එක් ආණ්ඩු විසින් තීරණය කරන ලද දේශපාලන අවශ්‍යතා මත වීම විශේෂ සිදුවීමකි. ඉන් සංශෝධන කිහිපයක් පමණක් රටේ සමාජ අවශ්‍යතාවයන් මත සිදු වූවද බහුතරයක් සිදුව ඇත්තේ එක් එක් ආණ්ඩුවල නායකයන්ගේ බල දේශපාලන ව්‍යාපෘතියක් සඳහා වීම දකින්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි.

“එක්දහස් නමසිය හැත්තෑ අටේ සිට ක්‍රියාත්මක වන්නට පටන්ගත් විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථානූකූලව අහෝසි කර දමන බවට 1994 වසරේ සිට රටටත් ජනතාවටත් වූ පොරොන්දු ඉටු කිරීමට අපි අපොහොසත් වී සිටින්නෙමු. එම අරමුණ ඉටුකර ගැනීමට නොහැකිවීම අප පාර්ශවයෙන් සිදුවූ බරපතළ පරාජයකි. එය තවදුරටත් කල් දැමිය හැක්කක් නොවේ.”

2014 නොවැම්බර් මාසයේදී එවකට ආණ්ඩුවෙන් එළියට බට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වී රට හමුවේ තැබූ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු කොට යොදා ඇති සටහන එවැන්නකි. එක් පැත්තකින් මෛත්‍රීපාල සිරිසේන මහතා රටට දුන් විශාලතම පොරොන්දුව ද එය විය.

“මෛත්‍රී යුගයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අවධාරණය කරමින් කියා තිබුණේ අසීමාන්තික බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය “අහෝසි කර දමන” බවකි. නමුත් 19 වැනි සංශෝධනයකට ලක්කොට අවසානයේදී ජනාධිපතිවරයාගේ බලයට අභියෝග කළ හැකි අගමැතිවරයකු ද බිහිකර රටේ විධායක බලය අයාලේ යාමට සැලැස්වීමකි. විධායක ජනාධිපති ක්‍රමය රටට හොඳද නරකද යන්න වෙනම සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාවකි. එහෙත් ජන නායකයකු ජනතා පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් ඇති බැඳීම සුළුපටු කාරණයක් නොවේ.

අවුරුදු තුනක් පුරාවට ප්‍රමාද වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් රටේ අවධානයට ලක් කිරීමට සැරසී සිටින්නේ මේ මොහොතේදීය.

ආණ්ඩුවේ ප්‍රධානියා යන වචනය මෙන්ම ජනාධිපති සමාව ලබාදීමේ බලතල ඉවත් කිරීම ඇතුළු විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉකුත් මැයි මස 25 වැනිදා කතානායක කරැ ජයසූරිය මහතා වෙත බාරදුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයා වෙත මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස බාර දී තිබිණි.

ආණ්ඩුවේ ප්‍රධානියා යන වචනය ඉවත් කොට ඒ වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරනු ලැබිය යුතුය යන වචනය එකතු කිරීමට මේ සංශෝධනයෙන් යෝජනා කර තිබේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන අයකු වන අතර පාර්ලිමේන්තුව රැස් වී සති 4ක් ඇතුළත සාමාන්‍ය බහුතරයකින් ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුතු වේ. අවශ්‍යනම් රහස් ඡන්දයකින් ජනාධිපතිවරයා තෝරා පත්කර ගත හැකි අතර පවතින ව්‍යවස්ථාව ප්‍රකාරව තනතුර සඳහා නුසුදුස්සකු නොවන ඕනෑම අයකු පත්කර ගත හැකිය.

එසේම ජනාධිපතිවරයා ඡන්දයෙන් පත්කරගත හැකිය යන වගන්තිය ඉවත් කර තිබේ. ඇමැති මණ්ඩලය පත් කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් මත පත් කළ යුතුවේ. පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් නව රජයක් බිහිවූ අවස්ථාවකදී තවදුරටත් ජනාධිපති ධූරය දැරිය හැකිව තිබුණ ද නව ජනාධිපතිවරයකු පත්කිරීමේ බලය පාර්ලිමේන්තුව සතු වන්නේය.

අගමැතිවරයා මියගියහොත්, ඉල්ලා අස්වුවහොත් හෝ අග්‍රාමාත්‍ය ධූරය දැරීම නතර වූ විට ඔහු පත් කිරීමේ බලය ද පාර්ලිමේන්තුව වෙත පැවරීමට ද මෙමගින් යෝජනා කර තිබේ. එමෙන්ම ඇමැති මණ්ඩල සාමාජිකයකු රාජ්‍ය අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වීමත් සමඟම අදාළ අමාත්‍යවරයා ඉල්ලා අස්වී ඇති අයකු ලෙස සැලකිය යුතුය යන වගන්තියක් ද මෙම 20 වැනි සංශෝධනයට ඇතුළත්ව ඇත. එසේම ජනාධිපතිවරයා සතුව පැවති පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ බලය මෙන්ම පාර්ලිමේන්තුව විසිරවීමේ බලයද ඉවත් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වෙනකොට අපි කථානායකවරයාට බාරදීලා තියෙනවා. ඊට පස්සේ කථානායකවරයා සහ නීතිපතිවරයාට යවලා තියෙනවා. නීතිපතිවරයා සති 06ක් ඇතුළත නිරීක්ෂණය කරලා එව්වට පස්සේ මේ වෙනකොට එය ගැසට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මේකට කිසිදු විරෝධයක් පළකරලා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රසිද්ධියේ අවස්ථා ගණනකදීම කියලා තියනවා මේකට පක්ෂයි කියලා. එජාපය මේ සම්බන්ධව විවෘත අදහසක් දක්වලා නැහැ. නමුත් අවස්ථා ගණනකදී ඔවුන්ගේ නායකයන් යම් යම් තැන්වලදී ප්‍රකාශ කරලා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඔවුන්ගේ ඡන්ද පොරොන්දුවක් කියලා. ටී.එන්.ඒ සංවිධානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් හදන එක කරන්න බැරි නිසා මේකට පක්ෂයි කියලා. මේකට විරුද්ධව ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ කල්ලියේ ඉන්න ඡන්ද පදනමක් නැති වීරවංශ, ගම්මන්පිල වගේ අය. අනෙක් කිසිදු පක්ෂවල නායකයන් පක්ෂවලින් මේකට විරුද්ධත්වයක් ප්‍රකාශ කරලා නැහැ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ මේකට කැමතියි. මේක අමුතු දෙයක් නොවේ. 94 ඉඳලා ජනවරම් 5ක් තියනවා මේකට. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට. ඉතින් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කැමතිනම් 20 සංශෝධනයට අකමැති වෙන්න හේතුවක් නෑ. ඉතින් අපි විශ්වාස කරනවා මේ ගැන ජනමතයක් සංවාදයක් ඇති වුණාට පස්සේ මේක හරිහට දැනගන්න පුළුවන් කියලා.

හසිත් අංජන