2018 ජුලි 21 වන සෙනසුරාදා

බුදුන් වැඩි කතරගමදී පුද ලබන කදසුරිඳු

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3270

කතරගම දෙවියන් කදිර සුරිඳුන් ලාංකික ජනතාවගේ දේව විශ්වාසයේ මුලසුනේ වැඩවසයි. මේ ගෙවෙන්නේ රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර සමයයි. ලක්ෂ සංඛ්‍යාත ජනයා කතරගම වන්දනාවේ යන්නේ මේ සමයේදීය. කඳ සුරිඳුන් පිළිබඳව දේවකතාවන්, විශ්වාසයන්, ජනප්‍රවාදයන් සහ ඓතිහාසික තොරතුරු ඔබට දැන කියාගන්ට බැති සිතින් මේ සටහන තබමු. කතරගම දෙවියන් පිළිබඳව ඇති ජනප්‍රියතම ප්‍රවාදය භාරතයේ සිට මෙහි එන කඳ කුමරුන්ගේ කතාවයි. ඒකමතික නොවන කතාන්දර රාශියක් හින්දුන්ගේ බ්‍රහ්ම පුරාණය, මත්ස්‍ය පුරාණය වැනි දේව කතා සාහිත්‍යයේ දී හමුවේ. ස්කන්ධ, මුරුගන්, කාර්තිකේන, ෂන්මුගම් ආදී විවිධ නම්වලින් හින්දු බැතිමතුන් හඳුන්වන කතරගම දෙවිරදුන් යුද්ධාධිපති දෙවි කෙනෙකුන් ලෙසද ඔවුහු හඳුන්වති.

හින්දු බැතිමතුන්ට අනුව කතරගම දෙවියන්ගේ ප්‍රභවය සම්බන්දව ඇති මතවාද බොහෝය. ශිව දෙවියන්ගේ හා පාර්වතියගේ පුත්‍රයකු ලෙස කඳසුරිඳුන් හඳුන්වනු ලබන අතර තවත් තැනක ඉන්දු සහ දේවසේනාණිගේ පුත්‍රයකු ලෙසද හඳුන්වයි. ඊට අමතරව ප්‍රජාපතිය හා ඌෂස් යන දෙදෙනාගේ පුත්‍රයකු ලෙසද හඳුන්වනු ලබයි. මෙහි එන එක් කතාවකට අනුව සුරාසුර යුද්ධයේ පරාජයත් සමඟ සුරයන්ට යුද දෙවියකු අවශ්‍ය වෙයි. එවිට ශිව සහ පාර්වතියගේ දීර්ඝකාලීන එකතුවෙන් හටන් බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට භාරදෙයි. අග්නි දෙවියන් එම බීජය ගංඟා දේවියගේ ගර්භයේ තැන්පත් කරයි. අනතුරුව ගංඟා දේවිය ද එය මහාමේරු පර්වතයේ තැන්පත් කරන අතර කන්‍යාවන් සය දෙනකු විසින් එය පෝෂණය කරනු ලබයි. එයින් උපන් මුහුණු සයකින් යුත් දරුවා ස්කන්ධ හෙවත් කඳසුරිඳුන් ලෙස හඳුන්වයි.

මෙහි එන තවත් කතාවකට අනුව මහේෂ්වරයා බක හා උමා අතර පුවතක ප්‍රතිඵලයක් ලෙස කතරගම දෙවිඳු උපත ලබයි. මහානුභාවසම්පන්න මන්ත්‍රයක් මහේෂ්වරයාගෙන් උගත් බක නම් අසුරයා මහේෂ්වරයාව මරා උමාව ලබා ගැනීමට තැත් කරයි. මෙහිදී විෂ්ණු දෙවියන් ඉදිරිපත් වී ස්ත්‍රී වේශයකින් බක අසුරයා රවටා විනාශ කරයි. මහේෂ්වරයා ද ස්ත්‍රී වේශයකින් සිටි විෂ්ණුට යෝජනා ගෙනෙයි. මෙහිදී ස්ත්‍රී වෙසින් සිටින විෂ්ණුගේ පිළිතුර වී ඇත්තේ උමාගෙන් අවසර ලබාගත යුතුයි යන්නයි. අවසර ලබාගෙන පැමිණෙන විට ස්ත්‍රිය පවසා සිටියේ තමා දරුවකු ලබා සිටින නිසාවෙන් නැවතත් උමාවගෙන් අවසර ලබාගත යුතුය යන්නයි. මෙසේ සය වරක්ම දරුවන් ලැබූ නිසාවෙන් සය වරක්ම උමාවගෙන් අවසර ලබාගැනීමට මහේෂ්වරයාට සිදුවිය. මෙය විෂ්ණුගේ මායාවක් බව දැනගත් උමා එහි පැමිණ කුමාර කන්දක් යැයි කියා මහත් ප්‍රීතියෙන් දරුවන් සය දෙනා එකවිට බදාගත් අතර දරුවන් එකට ඇලුණු බව එම කතාවට අනුව කියවේ. ඒ ස්කන්ධ කුමරාය. මෙවන් කතා පුවත් තවත් කිහිපයක්ම පවතී. කෙසේ වෙතත් ගණ දෙවියන් කතරගම දෙවියන්ගේ වැඩිමහල් සහෝදරයා ලෙස හින්දූහු හඳුන්වති. දෙවිඳුන්ට භාරයන් දෙදෙනකු සිටින අතර ඉන්දියානු දේවිය තේවානි අම්මා ලෙසත් ලාංකීය භාර්යාවන් වල්ලි අම්මා ලෙසත් හඳුන්වනු ලබයි.

සිංහල බෞද්ධ සංස්කෘතිය තුළද කතරගම දෙවියන්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. බෞද්ධයන්ට අනුව කතරගම දෙවියන් බෞද්ධ දෙවි කෙනෙකි. 14 වැනි සියවසට අයත් නිකාය සංග්‍රහයේ පළමුවරට ස්කන්ධ දෙවියන් සතරවරම් දෙවියන් අතරින් කෙනෙක් ලෙස හඳුන්වා දී තිබේ. ඒ අනුව උන්වහන්සේ මතු බුදුවන්නට පෙරුම් පුරන දෙවි කෙනෙකි.

කතරගම දෙවියන් පිළිබඳව බුදුදහම හා බැඳුණු ජනප්‍රවාද හා ඓතිහාසික තොරතුරු ද වෙයි. බුද්ධකාලීනව කතරගම ප්‍රදේශයේ පාලකයා බවට පත්ව ඇත්තේ මහාසේන නම් රජ කෙනෙකි. ධාතුවංශයේ හා ජනප්‍රවාදයේ පැවත එන පරිදි බුදුරදුන්ගේ තුන්වැනි ලංකා ගමනේ දී මහාසේන රජුගේ ආරාධනයෙන් මහරහතුන් පන්සිය දෙනා වහන්සේ සමග මෙම ප්‍රදේශයට වැඩමවා තිබේ. කිහිරි වනයක දී තථාගතයන් වහන්සේ මහාසේන රජුට ධර්මය දේශනා කර ඇති බව කියවෙති. මහාසේන රජ සෝවාන් ඵලයට පත්ව ඇත. බුදුන් වැඩසිටි ස්ථානයේ රජු විසින් මංගල මහා සෑ රදුන් නිර්මාණය කළ බව කියවේ. මහාසේන රජු මරණින් මතු මහේශාක්‍ය දෙවිකෙනකු බවට පත්ව තිබේ. කිහිරි වනයේ තැනූ සෑයද පසුකලෙක කිරි වෙහෙර නමින් හඳුන්වයි. කතරගම ප්‍රදේශයට අධිගෘහිත වැඩවසන මහාසේන දෙවිඳුන් කතරගම දෙවියන් ලෙස හඳුන්වනු ලබන අතර කතරගම දෙවිඳුන් බෞද්ධ දෙවිවරයකු බව මෙම ජනප්‍රවාදය ඔස්සේ පෙන්වා දෙයි.

මහාසේන රජ පුවත හා බැඳුණු තවත් කරැණු කිහිපයක් හෙළ විශ්වාස අතරදී හමුවෙයි. මහාසේන රජුට මෙම නම ලැබී ඇත්තේ රජු යුද්ධයක් පැවති අවස්ථාවක දී සතුරන්ට එරෙහිව මහා සේනාවක් රැස් කළ නිසා බව පැවසේ. රාවණ රජ පරපුරේ අවසන රජු ලෙසද මහාසේන රජු හඳුන්වයි. දඬුමොණර යානය හැසිරවීමේ හැකියාව පැවති අවසාන තැනැත්තා ඔහු බවද විශ්වාසයක් තිබේ. කතරගම දෙවිඳුන්ගේ වාහනය මොණරා වීමටද එම හේතුව බලපෑ බවටද පිරිසක් පවසයි. මෙම මතයට සම්බන්ධ තවත් මතයක් වන්නේ කතරගම දෙවියන් මිනිස් වෙසින් මෙළොවට පැමිණි එක් ආත්මභාවයක් ලෙස මහාසේන රජු හඳුන්වන බවය.

කතරගම දෙවියන්ට තේවනී හා වල්ලි නමින් හඳුන්වන භාර්යාවන් දෙදෙනකු වන බව සඳහන් කළෙමු. කඳ කුමරුන්ගේ භාරතීය බිරිඳ තේවානි අම්මාල් නම් වන අතර ලංකාවේ දී හමුවූ බිරිඳ වල්ලි අම්මා වෙයි. කඳ කුමරැගේ හා වල්ලිගේ පෙම් පුවත පිළිබඳවද රසවත් ජනකතා බොහොමයක් ඇත.

සෙල්ල කතරගම ප්‍රදේශයේ ජීවත් වූ වැදි ජනතාවගේ නායකයකුගේ දියණියන් ලෙස වල්ලි අම්මා හඳුන්වයි. දෙව්දුවකගේ දියණියක් වන වල්ලි ඉතා කුඩා අවදියේ දෙවිදුව විසින් වනයේ දමාගිය විටකදී නන්ද නම් වැද්දෙක්ට හමුවී හදා වඩා ගත් බව කියවේ. තවත් විටකදී විෂ්ණුගේ දියණියක් ලෙසද හඳුන්වයි. මේ දෙදෙනාගේ හමුව පිළිබඳවත් විවිධ කතා තිබේ. කසදමාල නම් කාව්‍ය ග්‍රන්ථයට අනුව තම සහෝදරයා වූ ගණ දෙවියන් සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් දේවපුරයෙන් පලවා හරින ලද කඳ කුමරු මැණික් ගඟ අසලට පැමිණීමත් අසුරයන්ගෙන් ලොව බේරා ගැනීමත් සිදුව තිබේ. තවත් විටක දී කඳ කුමරුන්ගේ මෑණියන් වූ පාර්වතිය සිය සිරුරෙන් වේලායුධය නම් බලවත් අවිය ගෙන දුන් බවත් එහි බලයෙන් සතුරන් පැරද වූ කුමරු එම ආයුධය වැඩසිටි කන්ද මුදුනේ තැන්පත් කළ බවත් එම කන්දේ වැඩසිටි බවත් කියවේ. මැණික් ගඟ වැඳ දූපතක හේනක් කොටමින් සිටියදී කතරගම දෙවියන්ට වල්ලි අම්මා හමුවුන බවටද ජනප්‍රවාදයක් ඇත.

එහෙත් කඳ සුරිඳු වල්ලි අම්මා පෙම් හමුව පිළිබඳ ජනප්‍රියම ප්‍රවාදය නම් ගණ දෙවියන්ගේ නැණ මහිමයෙන් එය සිදුවූ බවටත් ඒ හමුවේදී කතරගම දෙවියන් අතින් සිදුවූ අතපසුවීමකින් ගනේෂ්වර මුහුණ ගණ දෙවිඳුන්ට ලැබුණු බවට කියවෙන කතාන්දරයයි.

වල්ලි අම්මා හා බැඳුණු ඓතිහාසික ස්ථාන රාශියක් කතරගම හා සෙල්ල කතරගම අවට පිහිටා තිබේ. වැදි ජනයා අතරද මේ පුවත හා බැඳුණු කතාන්දර බොහොමයක් වෙයි. වැදි ජනතාව හා කඳ සුරිඳුන් අතර නැනෑකමක් ගොඩනැගුණු පසු නන්ද නම් වැද්දා සුරිඳුන්ට පුද පූජා පැවැත්වීමට තම වරිගයාට අවස්ථාව ඉල්ලූ බව කියවේ. අදද මහා දේවාලයේ පූජා පත්වන ආලත්ති අම්මලා එයින් පැවත එන බවටද විශ්වාසයක් තිබේ. එහෙත් කඳසුරිඳුන්ගේ හා වල්ලි අම්මාගේ විවාහය සම්බන්ධව ගණනාථ ඔබේසේකර වැනි වියතුන්ගේ මතය වී ඇත්තේ මේ විවාහය දඩයක්කරුවන්ගේ හා කෘෂිකාර්මික ජන ජීවන රටාවේ සම්මිශ්‍රණයක් බවය.

කතරගම දෙවියන් පිළිබඳව තවත් මතයක් මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගේ මහතා “සුරිඳුනි කතරගම” සඟරාවට ඇතුළත්ව තිබූ ලිපියක මෙසේ සඳහන් කරයි.

“ස්කන්ධ යනු ශාක්‍ය වංශිකයන් විසින්ද පුදනු ලැබූ දෙවියෙකි. ලලිත විස්තරයේ දැක්වෙන පරිදි සිද්ධාර්ථ කුමරා දේව වන්දනාවේ ගිය අවස්ථාවල ස්කන්ධ දේවාලයට ද ගියේය. කතරගම පිහිටුවාගෙන එහි පදිංචිව සිටි ක්ෂත්‍රියයන්ද ශාක්‍ය වංශයෙන් පැවත ආ නිසා ඔවුන් විසින් ස්කන්ධ දෙවියන් පුදනු ලැබීම බලාපොරොත්තු විය හැක්කකි. ඔවුන් මෙම දෙවියන් තම ගමේ ආරක්ෂක දෙවියන් ලෙස සලකන්නට ඇතුවාට සැක නැත. කතරගම පුදනු ලැබූ දෙවිඳුන්ද වූ ස්කන්ධ පසුව කතරගම දෙවියන් ලෙස ව්‍යවහාර වන්නට ඇත. ස්කන්ධ යන නමට වඩා එය ජනවහරට පහසු නමකි.”

මහාවංශයේ කාචරගාම ලෙස හඳුන්වා ඇත්තේ කතරගම ප්‍රදේශයයි. කප්පකන්දර නදිය ලෙස හඳුන්වා ඇත්තේ මැණික් ගඟයි. මෙරටට පැමිණි ආර්යයන් ජනාවාස පිහිටුවාගත් මුල් බිමක් ලෙස කතරගම මැණික්ගඟ ආශ්‍රිත ප්‍රදේශය හඳුන්වයි. මහින්දාගමනයෙන් පසු සංඝමිත්තා මහරහත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධිය රැගෙන මෙරටට වැඩම කළ අවස්ථාවේ හටගත් අෂ්ඨඵල බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධියක් කාචාරගාමයෙන් පැමිණි ක්ෂත්‍රිය වංශික කුමරු වෙත ලැබී ඇත. ඒ අනුව මහ දේවාල භූමියේ ඇති බෝධීන් වහන්සේ අෂ්ඨඵල බෝධීන් වහන්සේ නමක් ලෙස සලකයි.

රුහුණු කතරගම මහා දේවාලය නිර්මාණය වීම පිළිබඳවද ජනප්‍රවාද පවතී. ඒ අනුව ලක්දිව විසූ කීර්තිමත්ම රජු වූ ගැමුණු මහ රජ දේවාල තැනූ බව කියවෙයි. මෙම පුවතට සම්බන්ධ ජනප්‍රවාදවල සුළු සුළු වෙනස්කම් පවතී. එළාර සමඟ යුද්ධයට යන ගැමුණු කුමරු ගිමන් නිවාගන්නට මැණික් ගං ඉවුරේ නතර වී සිටි මොහොතක ගං දිය දෙබෑ කරමින් පෙළහර පාන යෝගීවරයකු දැක ඇත. ගැමුණු කුමරු මෙම බලවත් යෝගීවරයා හමුවී තමන් යුද්ධයට යන බව පවසා ජයගත හැකිවේදැයි විමසූ විට නිසැකයෙන්ම යුද්ධයෙන් ජය ලැබෙන බව පැවසූ යෝගීවරයා අසිපතක් ද ගැමුණු කුමරුට ලබා දී තිබේ. යුද්ධය අතරතුර ගැමුණු කුමරුට වැටහී ඇත්තේ යෝගී වෙසින් පැමිණියේ කතරගම දෙවියන් බවයි. පසුව යුද්ධය ජයගෙන වැඩසිටි කන්දේ යෝගී වෙසින් වැඩසිටි දෙවියන් හමුවී එතුමන් වෙනුවෙන් කුමක් සිදුකළ යුතු දැයි මහ රජු විමසා ඇත. ඊතලයක් ගෙන කන්දේ සිට විදි කඳසුරිඳුන් ඊතලය වැටෙන ස්ථානයේ තමන් වෙනුවෙන් කුඩා දෙවොලක් සදන ලෙස පවසා තිබේ. මෙම ජනප්‍රවාදය විවිධ ස්ථානවල වෙනස්කම් සහිතව කියවේ. එහෙත් අදද වැඩසිටි කන්දේ සිට බලන විට රුහුණු කතරගම දේවාලය හා සියලු පුද බිම් එක එල්ලයකට පිහිටා තිබෙන බව පෙනේ.

අනාදිමත් කාලයක සිට පැවත එන අප දැක්වූ ප්‍රකට හා අප්‍රකට ජනප්‍රවාද විශ්වාස හා මතවාද අතර නිශ්චිත එකඟතාවක් නැත. ජනවර්ගයට අනුව ප්‍රදේශයන් අනුව ඒවා වෙන් වූ බව සැලකිය යුතුය. දෙවියන් හා බැඳුණු කතා පුවත්වල පොදු ස්වරූපය එයයි. ලාංකීය දේව විශ්වාසයන්ට අනුව අතීතයේ හෙළයන් විසින් පුද ලැබූ දෙවිවරු, බුදුදහම හා බැඳුණු දෙවිවරුන්, හින්දු දෙවිවරුන්ද වෙයි. කඳ සුරිඳුන්ගේ විශේෂත්වය මේ සියලු දෙවිවරුන් අතර දක්නට ලැබෙන සියලු ලක්ෂණයන් උන්වහන්සේ සතුවීමයි. මුල්කාලීනව ප්‍රාදේශීය මට්ටමින් සිටි දෙවිවරුන් කලින් කලට විශ්වව්‍යාපී වන බව ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. මේ සියල්ල කෙසේ වෙතත් ජාති, ආගම්, කුල ගොත් වලින් තොරව ලාංකීය ජන හදවත්වල වැඩවසන දෙවියන් කතරගම දෙවිඳුන්ය. දෙවියන් විසින් පිහිට ආරක්ෂාව සලසන්නේ යහගුණ දම් ඇති මිනිසුන්ටය. මිනිසුන් ලෙසින් ඔබත් යහපත්ව ජීව්‍ය වන විට දෙවියන් ඔබටද පිහිටවනු ඇත.

►චමිඳු නිසල් ද සිල්වා
(විශේෂ ස්තූතිය සුරිඳුණි කතරගම සඟරාවේ ප්‍රධාන සංස්කාරක නිමල් ජයවීර මහතාට)