2018 ජුලි 21 වන සෙනසුරාදා

උතුරේ මහ ඇමතිගේ බහුබූත නීතිය

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

 

උතුරේත් දකුණේත් දේශපාලනයේ වෙනස ලාංකික දේශපාලන ඉතිහාසය පුරාවට පැවතිණි. එහෙත් වර්තමානයේ උතුරේ දේශපාලකයන්ගේ ප්‍රකාශ හේතුවෙන් නිතර නිතර ජාතික දේශපාලන කරළිය උණුසුම් වීම නවතම රැල්ලක් බවට පත්ව තිබේ. ඒ සඳහා අඩුපාඩුවක් නැතිවම ආන්දෝලනාත්මක ප්‍රකාශ උතුරුකරයෙන් නිතර නැගේ. විජයකලාගේ ප්‍රකාශයේ උණුසුම නැතිවෙන්නටත් කලියෙන් උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා තවත් ප්‍රකාශයක් සිදුකළේය.

“හමුදාව අපේ රෝහල්වලින් හරි නිලධාරියකුගෙන් හරි තොරතුරු ඉල්ලුවොත් කරුණාකරලා මට කලින් ඔයාලා මැදිහත් වෙන්න එපා. එහෙම ඉල්ලුවොත් ඔයාලා කියන්න මහ ඇමැති කියලා තියෙන්නේ එයාව දැනුවත් නොකරන කිසිම තොරතුරක් දෙන්න එපා කියලා. හමුදාව ඇයි එහෙම තොරතුරු ඉල්ලන්නේ කියලා බලලා පස්සේ තොරතුරු දෙන්න කටයුතු කරනවා. එනිසා හමුදාව ඉල්ලුවා කියලා බයවෙලා තොරතුරු දෙන්න එපා. ඒ වගේම මම කියන්න කැමතියි මධ්‍යම රජයෙන් එක පාලනයක් වෙනවා, පළාත් සභාවෙන් තව පාලනයක් වෙනවා. මේ දෙකටම අමතරව තුන්වැනි පාලනය විදිහට දැන් ආණ්ඩුකාරයාගේ පාලනයත් ඇවිල්ලා. මේ සියල්ලෙන්ම අපහසුතාවයට පත්වෙන්නේ අපේ ජනතාව. ඒක නිසා තමයි අපි පෙඩරල් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ. මීට අමතරව පළාත් නවයටම ස්වයං පාලනයක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරන්න ඕනෑ.”

හමුදාවට උතුරේදී අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මහ ඇමැතිගේ අවසරය අවශ්‍ය බව කියවෙන මේ ප්‍රකාශය නිසාවෙන් පසුගිය දිනවල දකුණේ දේශපාලනය උණුසුම් විය. උතුරේ මහ ඇමැතිවරැන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඇති ඉතිහාසය එතරම් සුන්දර නොවේ. ඉන්දීය හමුදාව මෙරට පැමිණ සිටි සමයේ මහ ඇමැතිව සිටි වර්ධරාජා පෙරුමාල් උතුරේ නැගෙනහිර වෙනම රාජ්‍යයන් පිහිටුවිමට ගත් උත්සාහය හා සිදුකළ ප්‍රකාශ පිළිබඳ ඇති මතක වත්මන් මහ ඇමැතිවරයා විටින් විට සිදුකරන ප්‍රකාශ සමගින් සිහියට නැගෙයි.

අප උතුරේ මහ ඇමැතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ඇතුළු කිහිප දෙනකුගේ මතය විමසුවෙමු.

ගැටලුව ආණ්ඩුවේ නොහැකියාවයි
හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක

මේ ප්‍රකාශ සම්බන්ධව අපිට කණගාටුවක් තියෙන්නේ. මොකද විශේෂයෙන්ම අපි නිදහස ලබලා අවුරුදු හැත්තෑවක් ගිහිල්ලා, සෑහෙන්න සටන් කරලා අපේ තරුණ පරපුරේ විශාල සංඛ්‍යා්වක් ජීවිත කැපකරලා මේ රටට සාමයක් ගෙනැල්ලා තියෙනවා. මේ සාමය ගෙනාවට පස්සේ මේ සාමය රටේ පොදු යහපත වෙනුවෙන් ඉදිරියට ගෙනියන්න බැරි, හැකියාවක් නැති, නායකත්වයක් නැති නායකයෝ මේ රටේ බිහිවීම තමා කණගාටුව. ඔය විග්නේෂ්වරන් වගේ පුද්ගලයෝ ඔය වගේ මහා හරයක් නැති විහිලු කතා, විවිධ කතා බයෙන් සැකෙන් තොරව කියලා ජනතාව උසිගන්වන්න හදන්නේ රටේ නායකත්වය දුර්වල නිසයි. ඔතන තමා තියෙන ගැටලුව. නැතුව ඒ මිනිස්සු ඒවා කීම නෙවෙයි මට නම් තියෙන ගැටලුව. රටක නායකත්වයක් රජයක් නැති කොට මේ වගේ කට්ටිය මෙහෙම ප්‍රකාශ කරනවා. තමා තියෙන්නේ. නැතුව ඒ මිනිස්සු වගේ වැඩකරන, අන්තවාදී අවස්ථාවාදී වැඩකරන මිනිස්සු රටක ඕනාතරම් ඉන්නවා. ඒ මිනිස්සුන්ට නිදහසේ ඕනා ඕනා විදිහට මේ වගේ ප්‍රකාශ කරන්න ඉඩදීම තමයි ප්‍රශ්නේ. එතනයි තියෙන ගැටලුව. අන්න ඒකට කෙලින් විසඳුමක් හොයන්න තමා අපට අවශ්‍යය. ඒවා නැතිකොට ඔය වගේ මිනිස්සු ඔය වගේ ප්‍රකාශ කිරීම ගැන අපි පුදුම වෙන්නේ නෑ.

හමුදාව පළාතට අයිති එකක් නෙවෙයි. රජයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රටේ ව්‍යවස්ථාව අනුව හමුදාවට පැවරිච්ච රාජකාරි තියෙනවා. ඒ රාජකාරි අවශ්‍යතාවයන් සඳහා හමුදාව ක්‍රියා කරනවා. ඒවෙලාවට රටේ එක එක්කෙනාට රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් බැඳිලා ඉන්නවා. ඒවාට අවශ්‍ය ඒ පිළිතුරු ලබාදෙන්න. ඒ අනුව කටයුතු කරන කොට එක එක්කෙනාගෙන් අහන්න ඕනේ නෑ. ඒවා රටේ තියෙන ව්‍යවස්ථාව අනුව නීති රීති අනුව සිදුවන දේවල්. අපි ඉතින් ඒවා හරයක් නැති විහිලු කතා විදිහට තමා ගණන් ගන්නේ.


ප්‍රයිවෙට් විස්තර දෙන්න බැඳීමක් නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්

අපේ ස්ථාවරය වන පෙඩරල් ක්‍රමය තමයි අපිත් ඉල්ලන්නේ. ස්වයං පාලන අයිතිය පිළිගන්න ඕනේ කියන ස්ථාවරය තමයි අපේ ස්ථාවරයත්. ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් ව්‍යවස්ථා හදනකොට අපේ ස්ථාවරය එකක් වෙන්න පුළුවන් තව පක්ෂයක ස්ථාවරය වෙන එකක් වෙන්න පුළුවන්. අපි සාකච්ඡා කරලා එක තැනකට එන්න ඕනේ. ඒ කටයුත්ත දැන් අපි කරගෙන යන්නේ.

අනිත් එක ඒක ඇතිවුණේ කිලිනොච්චි ඉස්පිරිතාලෙට ගිහිල්ලා ප්‍රයිවෙට් මෙඩිකල් ඩීටේල් ගැන විස්තර ඉල්ලලා තියෙනවා පේෂන්ට්ලාගේ ඩීටේල් ගැන. හමුදාව කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක දෙන්න බෑනේ. ඒක ප්‍රයිවෙට්නේ. ඒකට ඉතින් ඒගොල්ලන්ට උසාවි නියෝගයක් තියෙන්න ඕනේ. තර්ජනයක් කරලා තිබෙනවා. ඒනිසා තමා එතුමා නිලධාරීන්ට කියලා තියෙන්නේ, එහෙම එකක් දෙන්න වුවමනාවක් නෑ. ඒක දෙන්න බෑ. ඒ හින්දා දෙන්න ඕනේ නෑ කියලා.

සාමාන්‍යයෙන් වෙන තොරතුරු නම් දෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් මං  කිව්ව වගේ ප්‍රයිවෙට් තොරතුරු නම් දෙන්න ඕනේ නෑ. ඉතින් ඒක තමයි අපෙන් අහලා දෙන්න පුළුවන් දෙයක් නම් අපි කියන්නම්. නැත්නම් දෙන්න බෑ කියලා කියන්න ඕන කියලා උපදෙස් දීලා තියෙනවා. එච්චරයි.


ලොකු ප්‍රශ්නයක් නෑ
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු

මගේ අදහස මේකයි. ජනතාවට වාසියක් වෙනවා නම් තොරතුරු දෙන එකෙන් ඒක කරන්න ඕනේ. හමුදාව ඉස්පිරිතාලවලින් අහනවා නම් ඒ අයගේ තොරතුරු ඒක දෙන එක තමා හරි කියලා මම හිතන්නේ.... ඉතින් මම දන්නේ නෑ එතුමා ඇයි ඒක කියන්නේ. ඒ ගොල්ලන්ට කෙළින්ම දෙන්න පුළුවන්නේ. ලොකු බාධාවක් නෑනේ... මම නම් දකින්නේ නෑ එච්චර ප්‍රශ්නයක් තියෙනවා කියලා.

පෙඩරල් ක්‍රමයක් ගැන අවුරුදු කිහිපයක ඉඳන්ම උතුරේ කතා කරලා තියෙනවා. මම ඒකට එකඟයි. මම හිතනවා ලංකාවට පෙඩරල් ක්‍රමයක් අවශ්‍යයි කියලා. යහපාලනය අවශ්‍යයි. ගැටලුවක් නෑ පෙඩරල් ක්‍රමයත් අවශ්‍යයි.


මහඇමැතිට ඕන විදියට උතුර පාලනය කරන්න බෑ
උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි

ශ්‍රී ලාංකාද්වීපය කියන්නේ ඒකීය රාජ්‍යයක්. ශ්‍රී ලංකාද්වීපය එක රජයක් හැටියට රිපබ්ලිකන් එකක් හැටියට දැන් පාලනය වෙන්නේ. මේක යටතේ තමයි පළාත් නවයකට ආණ්ඩුකාරවරුන් ජනාධිපතිතුමා විසින් පත්කරලා තියෙන්නේ. මේ ආකාරයෙන් හරි ක්‍රමයකට රට ඒකීය රාජ්‍යයක් බවට පත්වෙනකොට මේ පෙඩරල් සිස්ටම් එකක් ඇවිල්ලා.

එක එක්කෙනාට ස්වාධීන බලය දුන්න ගමන් තමන්ට ඕනෑ විදිහට මහ ඇමැතිවරුන්ට මේක පාලනය කරන්න දුන්න ගමන් මේ කුඩා රට සම්පූර්ණයෙන් බෙදිලා කොටස් නවයක් බවට පත්වෙනවා. ඒ ගොල්ලන්ට බලතල ඕනෑවට වඩා දුන්නාම ආණ්ඩුකාරවරුන්ගේ බලතල නැතිවෙලා යනවා. මේකෙන් වෙන්නේ මොකද ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමේ හැකියාව හුඟාක් දුරට තියෙනවා. මං හිතනවා මේ රටේ ජනතාව හා මේ රටේ ඉන්න දේශපාලනඥයෝ අවබෝධ කරගන්න ඕන මේ කුඩා රාජ්‍යය ඉතා අමාරුවෙන් වසර තිහක් තිස්සේ යුද්ධයක් කරලා ලබාගත් මේ සාමය ඒකීය රාජ්‍ය්‍යක් වශයෙන් තබා ගැනීමටත් එසේම හැමෝම ශ්‍රී ලාංකිකයන් වශයෙන් හිතලා ශ්‍රී ලාංකික රාජ්‍ය්‍යක් වශයෙන් තියා ගැනීමට හැමෝම කල්පනා කළොත් හොඳයි කියලා මං හිතන්නේ. ඔය එක එක පටු දේශපාලන අදහස්වලට එක එක චීෆ් මිනිස්ටර්ලට ඕනා ඕනා හැටියට මේක වෙනස් කරන්න පුළුවන්කමක් නෑ.

►චමිඳු නිසල් ද සිල්වා