2018 ජුලි 21 වන සෙනසුරාදා

වධක ජොබ් එකට එන්න කැමති පරණ දෙන්නා

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

මරණ දඬුවම හිමිවී සිරදඬුවම විඳින අතරතුර ඔවුන් රටපුරා තවමත් එවැනි ජාවාරම් හා අපරාධ මෙහෙයවීම සිදුකරන බවට තොරතුරු වාර්තා වීමත් ඔවුන්ගෙන් රට හා සමාජය බේරා ගැනීමට අකමැත්තෙන් වුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට සිදුව ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිව ඇත්තේ අදාළ ක්‍රියාව මෙහෙයවීම සඳහා අළුගෝසුවකු නොමැති තත්ත්වයක් තුළ වීම බරපතළ ගැටලුවකි. අදාළ තනතුර සඳහා බඳවා ගැනීම සිදුකරන්නට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානමින් පසුවෙද්දී වසර පහකට ඉහතදී වධක තනතුරේ සේවය කරමින් සිට නිත්‍යනුකූලව ඉවත් කොට සිටි නිලධාරීන් දෙදෙනා යළිත් සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනා ඉදිරිපත් කර තිබේ.

මේ අතර වාර්තා වූයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක එල්ලුම්ගහ ක්‍රියාත්මක වන්නේ නම් වැටුපක් නොලබා අළුගෝසු තනතුර බාරගෙන ක්‍රියා කිරීමට සූදානමින් සිටින බවය. මේ සටහන අළුගෝසු තනතුර නැතිනම් වධක තනතුරට වරක් පත්වූ යළිත් එය අපේක්ෂාවෙන් සිටින ප්‍රනාන්දු හා පද්මසිරි පිළිබඳවය.

පී.එස්.පී. ප්‍රනාන්දු - මීගමුව

දැනට රද්දොළුව ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. විවාහකයි. මගේ බිරිය ගෘහණියක්. 2012 වර්ෂයේදී වධක තනතුරට බඳවා ගැනීමට කැඳවීම් කරද්දී මාත් ඉල්ලුම් කළා. අවසානයේ මාත් තව පුද්ගලයෙකුත් තේරුණා. ඔහු බියගම ප්‍රදේශයේ. 2013 පෙබරවාරි 01 අපි බඳවා ගත්තා. ඊට අදාළ පුහුණුවීම් ලබාදුන්නා. පුහුණුවෙන් පසුව අපි මාසික වැටුපකුත් ගත්තා.

යම් හේතුවකට ඒ වසරෙම තනතුර අත්හිටුවීමක් වුණා. වධක තනතුරට බඳවා ගැනීමට පෙර අපි සාමාන්‍ය පරීක්ෂණය අවසානයේ ජාතික රෝහලේදී මානසික වෛද්‍ය පරීක්ෂාවකට සහභාගි වුණා. එවැනි ක්‍රමවේදයකින් පසුව අවසානයේ අපට පත්වීම් ලිපි ලැබුණා. ඊට පෙර මම යුදහමුදා ස්වේච්ඡා බළකායේ සේවය කළා. අවුරුදු හතකින් පසුව මම නීත්‍යානුකූලව ඉවත් වුණා. 1996 දී යුද හමුදාවට බැඳිලා 2003 දී තමයි ඉවත් වූයේ. එහෙම ඉද්දි තමයි වධක තනතුර සඳහා ඉල්ලුම් කළේ. මේක වගකිවයුතු විශේෂ රුකියාවක්. මගේ බිරියටත් ඒ ගැන පැහැදිලි කළා. ඇය මේ සඳහා විරුද්ධ වුණේ නෑ. මෙය ගෞරවනීය රැකියාවක්. තමන්ට ලැබෙන අණ නීතිය ක්‍රියාත්මක කිරීමයි අවශ්‍ය වෙන්නේ. රට ගැන හිතලා අනාගතය යහපත් කරන්නට අපරාධ නැති රටක් ගොඩනංවන්නට ක්‍රියා කිරීමයි අරමුණ.

අපිට කා එක්කවත් වෛරයක් නෑ. මේක නීත්‍යානුකූල රැකියාවක්. අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. ඒ නිසයි නැවත අභියාචනයක් ඉදිරිපත් කළේ. සමහරු මේ වෘත්තිය විහිළුවකට ලක්කරනවා. ඇතැම් මාධ්‍ය ඔවුන්ගේ විහිළු කතා ප්‍රචාරණය කරනවා. මම මේ වධක තනතුරට ස්ථීර පත්වීම් ලබපු කෙනෙක්. අනික මේ වෘත්තිය කරන්න හොඳ අවබෝධයක් වගේම පෞරුෂයක් තිබිය යුතුයි. අපරාධකරුවන්, සිරකරුවන් සමඟ කටයුතු කරද්දී ඔවුන් පීඩනයකින් ඉන්නා බව වටහා ගත යුතුයි. වධක තනතුරට ස්ථීර පත්වීම ලබපු මම ඉවත් වුණේ නෑ. ඒ නිසා යළිත් සේවය ලබාගන්න මම සූදානමින් සිටිනවා. වගකිවයුතු නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. අභියාචනය පිළිගෙන සේවයේ පිහිටුවන ලෙස.

ඩබ්ලිව්.ඩී. පද්මසිරි

මම බියගම ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. මම මීට කලින් මේ තනතුර සඳහා ඉල්ලුම් කළා. ඒ 2012 වසරේදී. පරීක්ෂණ කීපයකට ඉදිරිපත් වෙලා අවසානයේ මානසික වෛද්‍ය පරීක්ෂාවටත් ඉදිරිපත් වෙලා තේරැණාම 2013 පෙබරවාරි පළමුවැනිදා මමත් තවත් අයෙකුත් සේවයට බඳවා ගත්තා. ඉන්පසුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා විශෝධන පුහුණුව ලැබුවා. සේවයට බඳවාගෙන මාසික වැටුපකුත් ලැබුවා. එහෙත් මාසයකට පසුව සේවය අත්හිටුවීමක් වුණා. එදා ඉඳලා අද වෙනතුරු ලංකාවේ වධක තනතුරක් තිබුණෙ නෑ. මම දැනට විවාහකයි. දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඔවුන් පාසල් යනවා. බිරිය ගෘහණියක් විදිහට කටයුතු කරනවා. මම 1996 සිට යුද හමුදා කොමාන්ඩෝ සෙබළෙක් විදිහට සේවය කළා. අවුරුදු 14ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ලැබුවා.

ඒ අතරතුර මේ වධක තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවීමක් කළා. මාත් ඉල්ලුම් කළා. බිරිය හා හිතවතුන් මුලින් අකමැති වුණා. නමුත් මම කරුණු කියලා දීලා තේරුම් කළා. ඔවුන් හැමෝම ඒකට ආශීර්වාද කළා. මම මේ වෘත්තියට ගරු කරනවා. හරියට රාජකාරිය කරන්න කැපවෙලා ඉන්න පුළුවන්. සමහර අය කියනවා ස්වේච්ඡාවෙන් හරි මේක කරන්න ඉදිරිපත් වෙනවා කියලා. කියන විදිහට කරන්න අමාරුයි. හිතේ හයිය පෞරුෂත්වය හොඳින් තියෙන්න ඕනෑ. කලින් පත්වීම් ලබලා සේවයේ හිටපු නිසා නැවත අභියාචනා ඉදිරිපත් කළේ. දඬුවම ක්‍රියාත්මක වෙනවා නම් අපරාධ විශාල ලෙස අඩුවෙයි කියලා හිතනවා. තනතුර ලැබුණොත් අකුරටම ඉටුකරන්න ක්‍රියා කරනවා. වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලනවා අපි ගැන අවධානය යොමුකරන්න කියලා.


►සමන්ත ප්‍රදීප් විල්තෙර