2018 ජුලි 21 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

 

1. පාතාලය හිස ඔසවනවා කියලා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරනවා. නමුත් අගමැතිවරයා කියන්නේ පාතාලය, ස්ත්‍රී දූෂකයන් රැකගන්න පෙනී හිටපු අය පාතාලය ගැන කථාකිරීම විහිළුවක් කියලා. මොකද්ද මේ දෙකෙන් ජනතාව පිළිගන්න ඕන?

2. ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ විවාදයක් පැවැත්වුණා. නමුත් තාමත් ගැටලු විසඳලා නෑ. රටේ විද්වතුන් බහුතරයක් කියන්නෙත් මෙවැනි ගිවිසුම්වලට පොදු ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕන කියලා. එවැනි පොදු ප්‍රතිපත්තියක් නැතිව හැදු මේ සිංගප්පූරු ගිවිසුම සාර්ථක වෙයි කියලා හිතනවාද?

3. ලක්ෂයට වඩා උපයන හිඟන්නෙකුගෙන් වුණත් බදු අයකර යුතුයි කියලා මුදල් ඇමැතිවරයා කියපු ප්‍රකාශය ගැන මොකද කියන්නේ?

4. ආරක්ෂක අංශවලට තොරතුරු ලබාදෙන්න එපා කියලා උතුරේ මහඇමැතිවරයා රාජ්‍ය නිලධාරීන්ට නියෝග දීලා තියනවා. මහ ඇමැතිවරයකුට එහෙම නීති පනවන්න පුළුවන්ද?

 

රජයේ හැම වැඩකටම විරුද්ධ වීම ඒකාබද්ධයේ පුරුද්දක් වෙලා

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන්

1. පහුගිය දින කිහිපය තුළම අපි දැක්කා පාතාල කණ්ඩායම් හිස ඔසවන බවක්. මේ වෙනකොට රජය ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගනිමින් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේක අල්ලගෙන ඒකාබද්ධ විපක්ෂය දේශපාලන වශයෙන් යම් වාසියක් ගන්න උත්සාහ කරන බව පේනවා. ඒක නිසා තමයි අගමැතිවරයා ඒ විදිහේ ප්‍රකාශයක් සිදුකළේ. කොහොම වුණත් රජයක් විදියට මේ පාතාලය මැඩලන්න අපි ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් පහුගිය කාලේ මෙවැනි දේවල් සිදුවුණේ නැහැ.

2. එක්කෙනෙක් දෙන්නෙක් මාධ්‍ය සාකච්ඡා තිබ්බා කියලා රටේ ඉන්න ඔක්කොම විද්වතුන් වෙන්නේ නැහැ. ඉතින් හැමදාම මේ රටේ තියෙන දෙයක් තමයි රජය මොනවහරි කරනකොට ඒකට විරුද්ධ වෙන අය ඉන්නවා. ඉතින් මේක සම්ප්‍රදායකට සිදුවෙන දෙයක්. ඒකෙන් මේ රට හැමදාමත් ඉස්සරහට යන්නේ නැතුව මේ විදියට තියෙන්නෙ.

3. සාමාන්‍යයෙන් මේ වගේ රටවල්වල බදු අයකිරීම් අනිවාර්යයි. යම්කිසි කෙනෙක්ගෙ ආදායම බදු ගන්න මුදලට වඩා ඉහළ ගියා නම් ආදායමක් ගෙවන්න ඕන. මාසික ආදායම හිඟන්නෙක් වුණත් ලක්ෂයක් ගන්නව නම් එයත් බදු ගෙවන්න ඕන. නැත්නම් ඒක සාධාරණ නෑනෙ. මහන්සිවෙලා හම්බකරන අය බදු ගෙවනව නම් පාරේ අනිත් අයගෙන් එකතු කරගෙන ඉන්න කෙනා බදු ගෙවන්නේ නැත්නම් සාධාරණ නෑනෙ. මේවා මේ අපි උදාහරණ විදියට පෙන්වලා දෙන දේවල්. ඒ නිසා වැඩියෙන් උපයන අය බදු ගෙවන්න ඕන. නැත්නම් අනිත් අයට අසාධාරණයිනෙ.

4. මහ ඇමැතිවරයකුට එහෙම නීති පනවන්න බැහැ. නමුත් කියන්න පුළුවන්නෙ. නමුත් ඒවා කිසිවිට මධ්‍යම රජයේ ඉන්න සේවකයෝ තොරතුරැ ලබානොදී ඉන්නෙ නෑනෙ. මහ ඇමැතිතුමාගේ ප්‍රකාශය ගැන එතරම් කලබල විය යුතු නැහැ. ඉතින් මේ වගේ ප්‍රකාශ අනන්ත අප්‍රමාණ වෙලා තියෙනවා පහුගිය කාලය තුළ.

 

උතුරේ මහ ඇමැතිගේ ප්‍රකාශය නීතිවිරෝධීයි
ප්‍රජාත්‍රන්තවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

1. අද පාතාලයේ බිහිසුණු නැගී ඒම යථාර්ථයක්. ඒක ගැන කතා කරනකොට කරපු වැරදිවලට දෝෂාරෝපණය කරලා මේක වහගන්න හැදීම ලොකු වරදක්.

2. සාර්ථක වේවි සිංගප්පූරුවට. අපිට නෙවෙයි. රටට පොදු වෙළෙඳ ප්‍රතිපත්තියක් ඇත්තෙත් නැහැ. සැලැස්මක් ඇත්තෙත් නැහැ. අපිට අපේ ප්‍රධානම වාණිජ, ව්‍යාපාරික, වෘත්තියවේදී සංගම්වල විරෝධය නොසලකා තමයි මොවුන් මේ ගිවිසුම අත්සන් කර ගත්තේ. පොදු වෙළෙඳ ප්‍රතිපත්තියක් කියලා ව්‍යාජයක් මවාපෑවා.

3. මුදල් ඇමැතිවරයා ලෙස ඔහු පුළුවන් තරම් මුදල් එකතුකර ගන්න උවමනායි. අද ආණ්ඩුවේ තියන බංකොලොත් භාවය එක්ක. අද ආණ්ඩුව මැතිවරණයකට සූදානම් වෙලා කරන්න හදන වියදම් කන්දරාවටත් බදු එකතුකරගත යුතුයි. ඒ නිසා ඔවුන් හිඟන්නන්ගෙන් නෙවෙයි අබාධිතයන්ගෙන් පවා බදු එකතුකරයි. අද විශාල බදු බරක් සාමාන්‍ය ජනතාවට විශාල ලෙස දැනෙනවා.

4. මහ ඇමැතිවරයා නීති විරෝධි ක්‍රියාවක් කරන්නේ. හැම කෙනෙකුටම තියනවා වගකීමක් බැඳීමක්. අපේ නීතිය අනුව යම් තොරතුරු ආරක්ෂක අංශවලට පොලිසියට ලබාදෙන්න. රටේ ජනතාවට, රටට හෝ සමාජයට අයහපතක් අගතියක් වෙන අවස්ථාවල ඒ බැඳීම සියලුම පුරවැසියන් ඉටුකළ යුතුයි. එය නොකළ යුතුයි කියන එක නීති විරෝධි ප්‍රකාශයක්.

 

ඔය වෙළෙඳ ගිවිසුම අත්සන් කළේ රටටම හොරෙන්
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ - ඒකාබද්ධ විපක්ෂය

1. අගමැතිවරයා කරන මේ චෝදනාව බොරුවක් කියලා රටම දන්නවා. අපේ ආණ්ඩු කාලයේ අපේ පක්ෂයේම ඉන්න දේශපාලනකයන්ට දඬුවම් දීපු අවස්ථා තියනවා. නමුත් ඊට සාපේක්ෂව අද වෙනකොට අපේ රටේ අපරාධ විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ සියල්ල යටපත් කරන්න තමයි පසුගිය දවසක මරණ දඬුවම ලබාදෙනවා කියලා ප්‍රකාශයට පත්කළේ. නමුත් ඒකත් සිද්ධ නොවන බව සැම දෙනෙක්ම දන්නවා මේ ආණ්ඩුව යටතේ අපරාධ වැඩිවෙලා තියනවා. නමුත් ඒවා මර්දනය කරන්න ක්‍රියාමාර්ග ආණ්ඩුව සතුව නැහැ.

2. ඇත්තටම රටේ පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලයවත් දැනුවත් කරන්නේ නැතුව රටේ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් වියයුතු විද්වත් සංවිධාන ව්‍යාපාරිකයන් ඇතුළු වෘත්තීය සංවිධාන කිසිවකුගේ අදහස් විමසන්නේ නැතුව තමයි ගිවිසුම අත්සන් කරන්න ආණ්ඩුව කටයුතු කළේ.

3. ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා කියන දෙයක් තමයි බදු ආදායම වැඩි කරන්න ගතයුතු ක්‍රියාමාර්ග සෑම එකක්ම ගන්නවා කියන කාරණය. ඒ හරහා මේ රටේ ජනතාව පිට බදු පටවලා ඒ බදු අයකරන්න කටයුතු කරලා තියෙනවා. ඉතිං දැවැන්ත බදු බර රටේ ජනතාවට දරාගන්න බැරි මට්ටමට පත්වෙලා තියනවා නමුත් අනිත් පැත්තෙන් ආණ්ඩුව බොහොම උජාරුවෙන් කියනවා රටේ බදු ආදායම වැඩිකරමින් තියනවා කියලා. නමුත් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නෑ. ඒකයි කණගාටුව.

4. බොහොම පැහැදිලිවම ඒක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේම රටේ නීති උල්ලංඝනය කිරීමක් බව අංශ කිහිපයකින්ම ප්‍රකාශ වුණා. ඒ තත්ත්වය මත උතුරේ පරිපාලනය ගැන ආණ්ඩුව අර්බුදකාරි තත්ත්වයකට පත්වෙලා තියනවා. එහිදී විජයකලා ඇමැතිවරිය පැවසුවෙත් මේ මහ ඇමැතිවරයා පවසන්නෙත් උතුරේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමේ කාරණය.

 

ප්‍රධාන පක්ෂ දෙකම පාතාලෙට කිරි පොවනවා
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

1. මම හිතන්නේ ඒ කියන කාරණා දෙකම ගැන ප්‍රශ්න තියෙනවා. මුලින්ම බලන්න ඕන පාතාලය නිර්මාණය කළේ කවුද ඒ කොයි කාලේද? පාතාලය මේ රටේ විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නට පස්සේ ආපු එකක්. ඒක හැදුණේ වැඩුණේ දේශපාලනඥයින්ගේ සෙවණේ ආශිර්වාදය සහිතව. අපි හිතන්නේ කාලෙන් කාලට බලයේ ඉදපු දේශපාලන පක්ෂ දෙකම මේකට වගකියන්න ඕන.

2. පොදු ප්‍රතිපත්තියක් පිළිබඳ ප්‍රශ්නය නෙවෙයි මෙතන මූලික ප්‍රශ්නේ. අපි දකින විදියට ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය හැසිරවීමේදී එය කාට වාසිවෙන විදිහට ද හසුරුවන්නේ කියන එක තමයි ප්‍රශ්නය. ගැටලුව තමයි මේ වෙළෙඳ ගිවිසුම හරහා ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ට වගේම අනෙකුත් පාර්ශවයන්ටත් ගැටලු මතුවෙලා තියෙනවා. ඉතින් මේකට විරුද්ධ වෙන අයත් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා කෑ ගැහැහුවට ඒකේ සීමාව මොකක්ද? කවුරු වෙනුවෙන්ද ඒ අය පෙනීඉන්නේ කියන්න ඕන.

3. එතන තියන ප්‍රශ්නේ මේ අය ලක්ෂය හදන විදි.ය දැන් අපිට ආරංචි විදියට සමහර ආයතනවල දෙන තේ එකටත් හදනවා. නිවාස ණයක් හම්බෙලා ඒකට සහනයක් හම්බුණොත් ඒකටත් හදනවා. ඒ විදියට එකතු කළොත් සමාජයේ බොහෝ දෙනෙක් මෙයට අහුවෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මේ අය බදු ගහලා කාටද මේ බදු සහන දෙන්නේ.

4. උතුරේ මහ ඇමැතිවරයා විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශ කරනවා. කිසිදු වගකීමකින් තොරව කියන දේවල්. ඒ ගැන අපිට කියන්න මොනවත් නෑ.

 

දියුණු රටවලින් සහාය ලබාගන්න අපට සිදුවෙනවා
සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සභික මොහොමඩ් නවවි

1. මෙච්චර කල් බලයේ හිටපු ආණ්ඩු තමයි මේ පාතාලයට වගකියන්න ඕන. මොකද මේක ඊයේ පෙරේදා ආපු එකක් නෙවෙයි. මේ අය ඒ කාලේ ඉඳලා පාලනය කරානම් දැන් මේවා සිද්ධවෙන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුවෙන් තමයි පාතාලය මැඩලන්නේ. නමුත් ඒකට විපක්ෂයේ අය කැමති නැහැ.

2. සිංගප්පූරු අගමැතිතුමා ලංකාවට ආපු වෙලාවක කිව්වා සිංගප්පූරුවත් ලංකාව වගේ කරනවා කියලා. එතුමා ඒක කළා. ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය කියන්නේ ලංකාවේ හැටියට. ඒ නිසා ඉස්සර විදියට නෙවෙයි දැන් මේ ලෝකය වෙනස්. එකිනෙකට උපකාර කරගන්නේ නැතුව හුදකලාව ඉන්න බැහැ. අපිටත් දියුණු වෙන්න අනිත් රටවල සහයෝගය අවශ්‍යය වෙනවා.

3. මේ රටෙන් අපිට නිදහස් අධ්‍යාපනය දීලා තියෙනවා. ඒවට හරියන රැකියා අවස්ථා තියනවා. ඉතින් මේ රජයට අපිත් මොනව හරි දෙන්න ඕනනේ. මේ බදු ක්‍රමයට මගේ ලොකු විරෝධයක් නැහැ.

4. මේ රට අපේ රට. රට බෙදනවට අපි විරුද්ධයි. ඉතින් ඒ නිසා එයාට අයිතියක් නැහැ. මේ ආණ්ඩුව කරන දේවල් නවත්තන්න. දැන් මේ ඡන්දය එන නිසා ආයේ එන්න තමයි එයා කටයුතු කරන්නේ.

 

ගිය ආණ්ඩුව කාලෙ පාතාලයො හිටියේ ඒ අයගෙ ඔඩොක්කුවේ
ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්

1. පාතාලය පිළිබඳ ප්‍රවෘත්ති අපිට දිනපතා අහන්න, දකින්න ලැබෙනවා. ඒ වගේම මම හිතනවා පාතාලය පිළිබඳ කතාකරන්න ඒකාබද්ධ විපක්ෂයට සදාචාර අයිතියක් නැහැ කියලා. ඒ වගේම එහෙම කියලා අද පාතාලය ඔළුව උස්සනවා නම් ඒක සාධාරණීකරණය කරන්නෙත් නැහැ. අද අගමැතිවරයා මේ පවසන්නේ ගිය වකවානුවේ ආණ්ඩුවේ පාතාලය ගැන වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් දන්නවා ගිය ආණ්ඩුවේ පාතාලය හිටියේ දේශපාලකයන්ගේ ඔඩොක්කුවේ බව.

2. මේ වගේ ගිවිසුමක් අත්සන් කරනකොට වෙනත් රටවල් සමඟ ඒ සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන කියලා අපි පිළිගන්නවා. අපි ඒක කරනවා. නමුත් මේ සිංගප්පූරුව සමඟ තිබෙන ගිවිසුම් ගැනත්, ඉන්දියාව සමඟ කළ සාකච්ඡා සම්බන්ධවත් තවත් රටවල් සමඟ කරන සාකච්ඡා සම්බන්ධවත් කතාකරන බොහෝ දෙනෙක් මේ ගිවිසුම්වල කරුණු කාරණා වගන්ති, අවබෝධ කරගෙන නැහැ. දියුණු රටවල් සමඟ එකතුවෙලා වැඩ කරලා තමයි අපි දියුණු වෙන්න ඕන. ඒ නිසා ගිවිසුම් හොඳට අවබෝධ කරගෙන ඕන විරුද්ධ වෙන්න.

3. එතුමා එහෙම එතනදි හිඟන්නා කියන වචනය පාවිච්චි කළේ උදාහරණයක් ලෙසට, ඇත්තටම මංගල සමරවීර මුදල් ඇමැතිතුමා මේ රටේ හිටිය අනෙක් මුදල් ඇමැතිවරුන්ට වඩා හොඳට වැඩකරන බව පේන්න තියනවා. මේ රටේ කලින් තිබුණේ හැමෝටම එකම බදු ප්‍රතිපත්තියක්. වක්‍ර බදු ප්‍රතිපත්තියක්. ඒක වැරදි ක්‍රමයක්. දැන් අපේ මුදල් ඇමැතිතුමා ඒක අඩුකර ගෙන ඇවිල්ලා ඍජු බදු ප්‍රතිපත්තියක් සැකසුවා. මේ ගැන දන්නේ නැතුව හැමෝම කෑ ගහනවා.

4. මේ රටේ ආරක්ෂක අංශ තියනවා ඒ වගේ බුද්ධි අංශ සාමාජිකයන් සිටිනවා. රටේ මොන ආණ්ඩුව බලයට ආවත් ඒ අය පවතින රජයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. එතුමා නීති ක්ෂේත්‍රයේ හිටිය කෙනෙක්. මෙහෙම ප්‍රකාශයක් එතුමා කියපු එක ගැන පුදුමයක් තියනවා.