2018 ජුලි 21 වන සෙනසුරාදා

“ග්‍රාම ශක්ති යෙන්” සවිය ලබන වැලිමඩ මල් ගොවියෝ!

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 409

කලකට පෙර අර්තාපල්වලට ප්‍රසිද්ධව තිබූ සීතල වැලිමඩ අද වනවිට මල් වගාකරුවන් විශාල පිරිසක් සිටින ප්‍රදේශයකි. බොහෝ නිවෙස්වල තම ඉඩම් කොටසක තාවකාලික පොලිතින් හෝ පරණ සාරි ආදියෙන් සැකසූ ගෘහවල මල් වගාකිරීම සාමාන්‍ය දර්ශනයකි. කැපූ මල් වගාව මෙන්ම බඳුන්ගත මල් වගාවද ඔවුහු කරගෙන ගියේ විද්‍යාත්මක උපදෙස් හෝ උපකරණවල සහායෙන් නොවේ. මේ මල් වගාකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් (60%ක් පමණ) කාන්තාවෝ වූහ.

“වගාවට අවශ්‍ය නව බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබාගැනීම, වගාව පිළිබඳ දැනුම හා පුහුණුව ලබාගැනීම, නිෂ්පාදන හා අලෙවි තොරතුරු ලබාගැනීම ගැටලුවක් වුණා. එහෙම ඉන්නකොට තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ග්‍රාමශක්ති ව්‍යාපාරය ගැන දැනගැනීමට ලැබුණේ. ඒ අනුව අපි මල් වගාකරන පිරිස එකතුවෙලා ග්‍රාම ශක්ති ව්‍යාපාරය යටතේ සංගමයක් විදිහට ලියාපදිංචි වුණේ. ඊට පස්සේ තමයි අපි පුළුල් වැඩපිළිවෙලකට යාම ආරම්භ කළේ. අපේ වැඩපිළිවෙලේ ප්‍රතිඵල ඉදිරියට ලැබීමට නියමිතයි.”

එලෙස අපට අදහස් දැක්වූයේ සීමාසහිත වැලිමඩ මල් වගාකරුවන්ගේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සභාපතිනිය මෙන්ම මල් වගාකිරීමේද නියැලෙන ටී.එම්.බී. තෙන්නකෝන් මහත්මියයි. එහි ලේකම් වන්නේ පුෂ්පා ඒකනායක මහත්මියයි.

රාජ්‍ය හා පෞද්ගලික මැදිහත්වීම මත ක්‍රියාත්මක කෙරෙන ග්‍රාමශක්ති වැඩසටහන යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්ව උත්සාහයෙන් නැගී සිටීමට මඟ පෙන්වන ව්‍යාපෘතියකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ඇරඹුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. ග්‍රාමශක්ති වැඩසටහනට 2018 වසරේදී රු. මිලියන 6000ක් වෙන් කිරීමට නියමිතව තිබුණි. දිළිඳු ජනතාව ජීවත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙය ජනතාවට සාමූහිකව නැගී සිටීමට මඟ පෙන්වන ව්‍යාපෘතියක්ද වේ. ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වෘත්තීන් ඔප මට්ටම් කරවා අලුත් රැකියා අවස්ථා බිහිකරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙහිදී අරමුණු කරගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ 2020 වනවිට නොදියුණු ගම් 5000ක් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන් මගින් තෝරාගත් දිළිඳු ගම්මාන 300ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ වී පවතී. ඒ වැඩසටහනට ඇතුළත් වූ වැලිමඩ මල් වගාකරුවන්ගේ ජනතා ව්‍යාපාරයට සාමාජිකයන් 100කට අධික පිරිසක් සිටිති. වැලිමඩ, කැප්පෙටිපොල, මාතැටිල්ල, බොරගස්, බොරලන්ද, දඹවින්න, ඌව පරණගම මායිම් දක්වා එහි සාමාජිකත්වය ව්‍යාප්තය. කැපූ මල් වශයෙන් ජර්බේරා, රෝස, ඇන්තූරියම්, ඕිකිඩ් ආදියද බඳුන්ගත පැළ වශයෙන් ප්‍රිටෝනියා, ක්‍රිසන්තිමම්, ඩයම්පස් ඇතුළු පැළ වර්ගද වගා කිරීම සිදුවේ. බඳුන්ගත පැළ ලොරි රථ මගින් රටේ බොහෝ පෙදෙස්වලට බෙදාහැරේ. මහනුවර, ගම්පහ, මාතලේ හරහා කොළඹ දියත උයන දක්වා ඒ පැළ පැමිණේ.
“ගොඩක් දුප්පත් කණ්ඩායමක් තමයි ග්‍රාම ශක්තිවලට එකතුවෙලා ඉන්නේ. ඒ වැඩසටහනට එක්වුණාට පස්සේ අපිට ලොකු හයියක් ලැබුණා. නිලධාරීන් නිතර අපිත් එක්ක සම්බන්ධ වෙලා උනන්දු කරවනවා. ඒ නිසා වගාකරුවන්ගේ සහභාගීත්වය උනන්දුව වැඩිවෙලා. ඉදිරියේදී ප්‍රතිපාදන ලැබීමේ වැඩසටහනක් තිබෙනවා. තාක්ෂණ දැනුමත් ලබාදුන්නා. ද්‍රව්‍යමය ආධාර ඉදිරියේදී අපට ලැබේවි. අපට අත්‍යවශ්‍ය පොලිතින් ගෘහ ග්‍රාම ශක්ති යටතේ ලැබේවි. ඒවාට මුදල් වෙන්කර තිබෙනවා. එක් ගෘහයක් ලක්ෂ 2කට වඩා වටිනවා. අපට ඒවා මුදල් දී ලබාගැනීමට ශක්තියක් නැහැ.” තෙන්නකෝන් මහත්මිය වැඩිදුරටත් අප සමඟ කීවාය.

ව්‍යාපාරයක් හුදකලාව පවත්වාගෙන යාම ඉතා අපහසු කාර්යයකි. එහිදී මතුවන බාධක අනන්තය. ආර්ථික ශක්තියකින් තොර පිරිසකට ඒ බාධක වඩාත් තදින් දැනේ. ග්‍රාමශක්ති මගින් එම ව්‍යාපාරිකයන්ට අවශ්‍ය උපදෙස්ද ලබාදේ. 

සම්ප්‍රදායෙන් පිටට ගොස් නව ඉසව් සොයා ගැනීමට ඉන් අවකාශය ලැබෙනු ඇත.

වැලිමඩට මල් මෙන් මාතලේ අඹන් ගඟ ප්‍රදේශයේ වැනිලා වගාකරුවන්ගේ ග්‍රාමශක්ති ජනතා සමාගමක් ආරම්භ කර තිබේ. එම ජනතා සමාගමට අවශ්‍ය ශක්තිය ලබාදීමට හේලීස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. නුවරඑළිය මල් වගාකරුවන්ගේ ග්‍රාමශක්ති ජනතා සමාගම සමඟද හේලීස් සමාගම අවබෝධතා ගිවිසුමකට එළඹුණේ ඉහළ ගුණාත්මයෙන් යුත් බීජ ලබාදීමට සහ සැපයුම්කරුවන්ට අවශ්‍ය භෞතික සම්පත් සහ දැනුම ලබාදීමටය. ගල්කඩපතන බහු බෝග නිෂ්පාදකයන්ගේ ග්‍රාමශක්ති ජනතා සමිතිය ගිවිසුමක් අත්සන් කළේ කියෝටා කෝපි සමාගම සමඟය.

පසුගියදා මධ්‍යම පළාතේ ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන පළමු වාරික ප්‍රතිපාදන මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරු වෙත ලබාදීමද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් මහනුවරදී සිදුකෙරිණි. මහනුවර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 60ක්ද නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 15ක්ද, මාතලේ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 33ක්ද එලෙස ලබා දුන්නේය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දේශපාලන භේදයකින් තොරව සෑම ජනතාවටම ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක් බවයි. ඌව පළාතේ ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 17,000කට ආසන්න ප්‍රමාණයක්ද මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 16,500කට ආසන්න ප්‍රමාණයක්ද එයට ඇතුළත්ය. බදුල්ල රු.මිලියන 22.5ක්ද මොණරාගලට රු.මිලියන 16.5ක්ද එහිදී ලබාදීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ දුප්පත්කම අඩුවීමේ ප්‍රවණතාවයක් පසුගිය වසර 14 තුළ දක්නට ලැබුණු අතර 2002 වර්ෂයේදී 22.7%ක්ව පැවති ජනගහන දරිද්‍රතා අනුපාතය 2016 වසරේදී 4.1% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. නමුත් තවමත් දුප්පත්කමේ අසමානතා පළාත් මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් පවතී. ග්‍රාමශක්ති බිහිවූයේ එම අසමානතාව තවදුරටත් දුරු කිරීමේ කාර්යයට කර දීමටය.

♦ කුසුම්සිරි
සේයාරූ I අන්තර්ජාලයෙනි