
“බලන්න දෙයක් නෑ මල්ලි ඕවා ඔරිජිනල් තායි බඩු පාට යන්නේ නෑ... හොඳ කොලිටියේ බඩු.” “මඟුලට, මළගෙට, දානෙට, පිරිතට, ගමට, නගරෙට ඕනම තැනකට ඇඳන් යන්න පුළුවන් හොඳට බලලා අරාං... යන්න පාට යන්නේ නැහැ. හොඳ කොලිටි බඩු.”
ලස්සනට ජැණ්ඩියට හැද පැළද සිටින්නට බොහෝ තරුණයන් දක්වන්නේ මහත් ඇල්මකි. හිතේ ඇති සැටියෙන් අඳින්න පළඳින්න හුරු අය මෙන්ම අතේ මිටේ සල්ලි නැතුව අඳින්න පළඳින්න බොහෝ දෙනා සිහින දකිති. අද පාර තොටේ දක්නට ලැබෙන නා නා ප්‍රකාර ඇඳුම් පැළඳුම් අතුරින් බොහෝ තරුණ තරුණියන්ගේ සිත්ගෙන ඇත්තේ ඩෙනිම් කලිසම් බව අමුතුවෙන් කිවයුතු නැත.
වායුසමනය කළ ඇතුළත පෙනෙන වෙළෙඳසල් තුළ රුපියල් 3000 සිට ඉහළට ඇති ඩෙනිම් කලිසම් ඒ මෝස්තරයට සහිතව කොටුවේ රුපියල් දහසේ සිට විකිණීමට ඇති අයුරු අප ඕනෑ තරම් දැක ඇත.
එලෙසින් සුපිරි පන්නයේ වෙළෙඳසල් තුළ විකිණීමට තබා ඇති ඩෙනිම් කලිසම් එම මුදලින් භාගයකටත් අඩුවෙන් විකුණන පිටකොටුවේ වෙළෙඳසල් සොයා අපි පළමුව කොටුව දුම්රිය නැවතුම ඉදිරිපිට සිට ගමන් ඇරඹුවෙමු.
මෙලෙස ඩෙනිම් කලිසම් අඩුවට විකිණීමට ඇති තැන්වල අටුවාටිකා සොයායන ගමනේ කොටුව දුම්රිය නැවතුම ආසන්නයේම ඇති වර්ල්ඩ් මාකර්ට් හි පිහිටි කඩසාප්පු පෙළ අපගේ පළමු ඉලක්කය විය.
“සෝබාවකී මෙපුර සිරි විසිතුරු - බලනු මිතුර මඟ පියකරු වූ” කොළඹ තිබූ ඝෝෂාව පරදා අප තම වෙළඳ සංකීර්ණයට ඇතුළුවන විටම මහා හඬින් ක්‍රියාත්මක කර තිබූ සී.ඩී. යන්ත්‍රයේ හඬ මඳක් අඩු කළ එතැන සිටි පුද්ගලයා මොනවද මල්ලි බලන්නේ යනුවෙන් විමසීය.
ඩෙනිම් කලිසම් ගන්න තැනක්? යනුවෙන් අප ඔහුට පිළිතුරු බැඳීමටත් පෙරම ආහ් ඔතනින් දකුණට ගියාම ගන්න පුළුවන්. යනුවෙන් පවසා නැවතත් එම පෙර තිබූ ගීතය නැවතත් මඳක් වැඩි කළේය.
සුපිරි වෙළඳසල් තුළ විකිණීමට තිබෙන රුපියල් තුන්, හාරදහසක් වන ඩෙනිම් කලිසම් වරල්ඩ් මාකර්ට් වෙළෙඳසල් තුළ රුපියල් එක්දහස් තුන් සියයේ සිට ඉහළට විකිණීමට තිබෙන අයුරු අපි දැකගත්තෙමු.
අවුරුදු 30ක් පමණ මේ කොළඹ ගෙන්දම් පොළවත් සමඟ ඔට්ටු වෙමින් සිය ජීවිකාව සරැකර ගැනීමට වෙර දරනා කැලණියේ පදිංචි ප්‍රියන්ත ඩෙනිම් පිළිබඳ අප හා විස්තර කීමට පළමුවෙන් එක්විය.
“මම මුලින්ම ඉමිපෝට් කරපුව තමයි මෙහෙට බැස්සුවේ. ඒ කාලේත් ඕන අයිටම් එකක් තිබ්බා. දැන් නම් මම බඩු ගෙන්නන්නේ නෑ. මගේම පොඩි ගාමන්ට් එකක් තියනවා. ඒකේ තමයි මහන්නේ. අපි මේ කාලෙට යන අයිටම් බලාගෙන ඒවා මහනවා. ඕනම ඩිසයින් එකක් අපි කරනවා. හැබැයි ඔරිජිනල්ම රෙද්දෙන් නෙවෙයි මහන්නේ. ඒ වුණාට කිසි වෙනසක් නැහැ. ඔය සමහර ෂොප්වලත් විකුණන්න තියෙන්නේ ඔරිජිනල්ම බඩු නෙවෙයි. චීන බඩු තමයි සමහර ෂොප්වල තියෙන්නේ. අපිට ඉතින් මේ ගාණට දෙන්න පුළුවන් අපිම කරන නිසා. ඒ වුණාට දැන් ඉස්සරට වඩා බිස්නස් එකනම් ටිකක් වැටිලා තියෙන්නේ. ඇඳගෙන යනවා කොහොම හරි. කරගෙන යන්නත් එපැයි පොඩි කාලයක් නෙවෙයි මමත් දැන් අවුරුදු 30ක් මේ ගේම ගහනවා.”
ප්‍රියන්තගෙන් ඩෙනිම් පිළිබඳ විස්තරයක් දැනගත් අපි තවත් ඉදිරියට ඇදුණේ ඒ පිළිබඳ තවත් විස්තර දැන ගැනීමට තවඅයෙකු සොයාය.
ෆොටෝ ගන්නනම් එපා ඕන නම් විස්තරේ කියන්නම් යනුවෙන් පවසමින් වර්ල්ඩ් මාකර්ට් හි වෙළෙඳ සලක සිටි සංජීව අපත් සමඟ ඩෙනිම් පිළිබඳ විස්තර පැවසීමට ඉදිරිපත් විය.
“අපි මේ විකුණන්නේ චීන බඩු. සමහරු කියනවා මේවා චයිනීස් ඩෙනිම් කියලා ඒ වුණාට ඩෙනිම් චයිනීස් ද නැද්ද කියලා නැහැ. බඩු හොඳ කොලිටියට තියනවා. අනික ඕනම ඩිසයින් එකක් තියනවා. වැඩිය දැන් යන්නේ ස්ලිම්ෆිට් ඩෙනිම් තමයි. අනික ඔය තුන්හාරදහට විකුණන ඩෙනිමුයි මේවායි කියලා. ලොකු වෙනසක් නෑ. කොලිටි එකේ පොඩි වෙනසක් තියනවා. ඒ වුණාට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ලොකු අවුලක් නැහැ. බිස්නස් තමයි අපිට පොඩි අවුලකට තියෙන්නේ. අතේ සල්ලි තියනවා නම් කොහොමත් අපේ මිනිස්සු බලන්නේ හොඳ හොඳ දේවල් ගන්නනේ. එහෙම වෙනසක් නෑ ඉතින් මේවත් හොඳ බඩු තමයි චීනෙන් ගෙනාවට.”

සංජීව එම කතාව නිමකළ පසු වර්ල්ඩ් මාකර්ට්හි වෙළෙඳාමේ යෙදෙන තවත් වෙළෙන්දන් පිරිසක් ද ඔහු කළ කතාව අනුමත කරමින් කතාබහට එක් වූහ. ඔවුන් සියලුදෙනාද පවසා සිටියේ මුදල අඩුවූ නමුත් මේවායේ තත්ත්වයේ කිසිදු වෙනසක් නැති බවයි.
වර්ල්ඩ් මාකර්ට්හි එම වෙළෙන්දන් ගෙන් සමුගත් අපි දුම්රිය නැවතුම ඉදිරිපිට මල්වත්ත පාරට හැරෙන තැන ඩෙනිම් කලිසම් පමණක් වෙළෙඳාම් කරමින් නවින්ද්‍ර හමුවුණෙමු. ඔහු සිය වෙළෙඳාම ගැන සහ මෙම බඩුවල තත්ත්වය පිළිබඳ මෙලෙස පැවසීය.
“මම අවුරුදු 08ක් විතරම මේ බිස්නස් එක තමයි කරන්නේ මේ බඩු චීනෙන් තමයි අපි ගේන්නේ. අපි ළඟ තියන උපරිම මිල තමයි 2190. ඊට එහා ලොකු ගණන්වල බඩු නැහැ. අපි මේවා පේමන්ට් එකේ විකුණන බඩු ඒ නිසා මේවා බාලබඩු කියලා හැමෝම කියනවා. ඒ වුණාට මේවත් ගන්න අය ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි හැබැයි දැන් බිස්නස් එකනම් අඩුයි. සමහර දවස්වලට කෑලි පහක්වත් ගහගන්න බැහැ. එහෙම වුණාම ඉතින් පාඩුයි තමයි.”
කොළඹ නගරයේ කෙරෙනා බොහෝ වෙළෙඳාම් ගැන අප අවස්ථා ගණනකදීම කතාබහ කර ඇත. හොරුන්, කපටි කෛයිරාටිකයන් මෙන්ම සිය ජීවිකාව සරුකර ගැනීමට වෙරදරනා බොහෝ දෙනෙක්ද මේ තුළ ජීවත්ව සිටිති. කපටි කෛරාටිකයන්ට අසුනොවී එවැන්නන්ගෙන් යමක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් දැනසිටීම ද අවශ්‍යය.
කතාව - හසිත් අංජන
සේයාරූ - සුමුදු හේවාපතිරණ