
යදමින් බැඳ විලංගුලා මහා ප්‍රාකාරයකින් ලෝකයෙන් වෙන්කොට සිපිරිගෙයි යකඩ කූරු අතරින් හුස්මගන්නා මිනිසුන්ගේ හදවත් සිරකොට තැබිය හැකිද? සිරකරුවෝද මනුෂ්‍යයෝය. මිනිසුන් අතර වරදක් නොකළ කෙනෙක් ලොව කොතැනක නම් ඇද්ද? සෑම වරදකටම නීතියෙන් දඬුවමක් තිබේද? නැත. නීතියට හසුනොවන වැරදි කළ මිනිසුන් ගෙදර සිටියදී නීතියට හසුවන වැරදි කළ මිනිසුන්ගේ නිවහන වන්නේ සිපිරිගෙයයි. මේ සටහන වැරදිකරුවන් නිවැරදි කරන්නට නොව, සිරගත වූ ජීවිතවල ආත්ම ප්‍රකාශනයක් පිළිබඳ කියන්නටය.
පාළුව, සන්තාපය, සොම්නස, විඩාව පිළිබඳ ආත්මීය ප්‍රකාශනයක් කරන්නට කවිය තරම් සොඳුරු සාහිත්‍යාංගයක් නැති තරම්ය. පාරු කවිය, පැල් කවිය, කරත්ත කවිය, පතල් කවිය ජනගත වූ ආත්ම ප්‍රකාශනයන්ය. මේ අතරට අලුතින්ම එකතු වන්නේ සිපිරි කවියයි. ජූලි මස 22 දින වැලිකඩ බන්ධනාගාරයෙන් සිපිරිගේ පාමුල සිරකරු කාව්‍ය සංග්‍රහය දොරට වඩින්නට සියල්ල සූදානම්ය. සිපිරි කවි ජනගත වන්නේ බන්ධනාගාර කොමසාරිස් - පුනරුත්ථාපන චන්දන ඒකනායක මහතාගේ අදහසකට අනුවය.
පාරු කවිය, පැල් කවිය, කරත්ත කවිය තනිවෙලා ඉන්න මිනිසුන්ගේ කවියක්නෙ. ඒ උප සංස්කෘතිය තමයි බන්ධනාගාරයකත් තිබෙන්නේ. බන්ධනාගාරයෙත් මිනිස්සු තනිවෙලා. ඒ තනිවෙච්ච මිනිසුන්ගේ භාවමය පැත්ත එළියට දාන්න, ඒගොල්ලෝ ගැන සමාජය දැනගන්න, ඒගොල්ලො හිතන විදිහ, ඒගොල්ලන්ගෙ ඇතුළාන්තය දැනගන්න මේක අවස්ථාවක් කරගත්තා. ඉතින් ඒක තමා ඇත්තටම ඕන කළේ.කොමසාරිස්වරයා සිපිරිගේ පාමුල කාව්‍ය සංග්‍රහය පිළිබඳ මෙලෙස අදහස් එකතු කරයි. මෙම සිපිරි කවි බිහිවන්නේද ඔහු බන්ධනාගාර අධිකාරිවරයා ලෙස සිටින අවදියේ බන්ධනාගාරය තුළ බිහිකළ සිරකරුවන්ගේ සාහිත්‍ය සංසදයක් හරහාය. ඔහුගේ අදහසකට අනුව බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන්ට නවකතා ලියන්නට සහ කවිපොත් සඳහා කවි ලියන්නට අවකාශය සලසා දෙයි. මේ අනුව බන්ධනාගාරයේ කාන්තා අංශයද ඇතුළත්ව සියලු සිරකරුවන් අතරින් කවි පන්සීයක පමණ ප්‍රමාණයක් ලැබී තිබේ. එයින් කවි සියයක් තෝරාගෙන සරසවි ප්‍රකාශනයක් ලෙසින් කාව්‍ය සංග්‍රහය දොරට වැඩුමට සූදානම් කර තිබේ.
සිපිරිගේ හවුල කාව්‍ය සංග්‍රහයේ බොහෝ නිර්මාණවල ගැබ්ව ඇත්තේ සිරකාර ජීවිතයේ හරස්කඩකි. වේදනාව, කඳුළ, පසුතැවීම මෙම නිර්මාණ තුළ සැඟවී තිබේ.
සිරගෙය දුකයි ඉන්නට බැහැ සිත වාවා
දඬුවම හොඳයි මෙහි එන කාටත් මේවා
දහදිය ගලා පැදුරම තෙතබරි වූවා
ගුණදම් කෙළෙසුවට දෙන දඬුවම් මේවා
ආරියපාල නම් සිරගත කවියාගේ පන්හිඳෙන් පණදෙන මෙම පද අතර ගැබ්ව ඇත්තේ සිපිරි ගෙදර ජීවිතයේ යථාර්ථයයි. තමන් විඳින දඬුවමේ කර්කෂ බව පවසන කවියා දඬුවම හොඳ බව පැවසීම තුළින් ඔහු එහි යථාර්ථය අවබෝධ කරගෙන සිටින බව පැහැදිලි කරයි. ගුණදම් කෙලෙසුවට දෙන දඬුවම් මේවා කියන්නේ ආත්ම කථනයකි. එය වෙනත් කවියකුගේ භාෂිතයක් නොව සිරකරුවාගේම පාපොච්චාරණයකි. තමන් කළ වරද ඔහු අවබෝධ කරගෙන සිටී. ඔහු විසින්ම තමන්ට ලැබුණු දඬුවම සාධාරණීකරණය කරයි. මේ පැදිය අන්තර්ගත වන්නේ නුඹවත් අනේ ජනපතිඳුට ලියනවද? නම් පැදි පෙළෙහිය.
වනයේ ඉපිද වන පල කා සතුටු වන
පින්බර කොබෙයියනි ගුවනින් ගමන් යන
සිරකරැ විඳින සිරගේ දුක් හැඳින ගෙන
නුඹවත් අනේ කියපන් ජනපතිඳු හට
මෙය පැදිපෙළෙහි අවසාන කවිය වෙයි. මෙම පැදිපෙළ පුරාවට කවියා කියන්නේ සිරගත ජීවිතයේ දුක සහ තමන් එහි යථාර්ථය අවබෝධ කරගත් බවයි. සියල්ල අවසානයේ &සිරකරු විඳින සිරගෙයි දුක්* ජනපතිඳුන්ට කියන්නට ගුවනින් ගමන් යන කොබෙයියකුට ඔහු ආරාධනා කරයි. මෙය මේඝදූතය සහ සංදේශ සාහිත්‍ය සිහිගන්වන්නකි. කවියාට එම සාහිත්‍ය පිළිබඳ යම් පරිචයක් තිබුණා විය හැකිය. එසේ නොවන්නටද පුළුවන. එහෙත් ඔහු අවසානයේ මේ දුක කියන්නේ ජනපතිඳුන්ටය. ඒ ජනපති යනු පොදු සමාවක් යටතේ හෝ සිරකරැවන් සිරගත ජීවිතයෙන් මුදවාලිය හැකි එකම එක ගැලවුම්කරැවා නිසා විය හැක.
සිපිරිගේ පාමුල නම් වූ මෙම අපූර්ව කවිපොත ලාංකීය කවියේ නව මානයක් විවර කරනු ඇත. මේ සියල්ල තුළ ගොනුව ඇත්තේ අව්‍යාජ මානවීය ලක්ෂණයි. ජීවන යථාර්ථයයි. මෙම කවිය පිළිබඳ සාහිත්‍යධරයන් අතර නව කියවීමක් ඇතිවිය යුතුය.
කංචනා නම් තවත් කිවිඳියක් ලියන පැදි දෙකකින් සමන්විත පද්‍ය පන්තියක් අප උපුටා දක්වමු.
සිරගෙය ඇතුළේ දිවි සටනක ගෙවෙන රැයේ
පොඩි සෙල් කුටියේ වා තනිවම වෙසෙන රැයේ
දුව ඔබ සිහිව ගිනිදැල් ඇවිලෙමින් ළයේ
දැඩිවූ වේදනාවෙනි නින්දටද ගියේ
අම්මා සිහිව පොඩි හදවත රිදෙනවද
තුරුලෙ සිටිය හැටි සිහියට නැගෙනවද
අහිමි වූ සෙනෙහසට ඔබ ගතු කියනවද
අම්මා එනතුරා අතැඟිලි ගණිනවද
මෙම පැදිපෙළ සහෘද හදවත් කම්පනය කරන්නට සමත් වන්නකි. මෙය පරිණත කවියකු විසින් ලියන ලද්දක් නොවේ. මෙය පරිණත කවියෙක් ලිව්වා නම් මෙහි අදහස තවත් පෝෂණය කළ හැකිව තිබිණි. මෙම කවිය ලියන්නේ මෙම අත්දැකීම විඳින්නියයි.
සිරගත අම්මා කෙනකු තනිව කුඩා සිරකුටියක් තුළ සිටින මොහොතක තම දියණිය සිහිවී දැනෙන වේදනාව මෙම පද්‍ය පන්තිය පුරාවට ගලා යයි. කිවිඳිය දුව සිහිවන විට ඇගේ ළයේ ගිනිදැල් ඇවිලෙන බව කියයි. සිරගත වූ විට ජීවිතවල මානව සබඳතාවයන් නිසාවෙන් උපදින වේදනාව කොතරම්දැයි මෙයින් පෙනෙන්නට තිබේ. කිවිඳියට තම දියණියට තමන් අහිමිවීම හරහා නැගෙන සිතුවිලි සම්බන්ධයෙන් ඇත්තේ කුහුලකි. ඒ නිසාවෙන් දියණියගේ සිතුවිලි උපකල්පනය කරමින් ඇය ඒ පිළිබඳව ප්‍රශ්න කරයි. කවි පන්තිය අවසන් කරමින් කිවිඳිය ප්‍රශ්නයක් නගයි. අම්මා එනතුරා අතැඟිලි ගණිනවද මෙහි ඇත්තේ සිරගත අම්මාගේ බලාපොරොත්තුවයි. එම බලාපොරොත්තු සිරගතව නැති බව ඉන් පෙනී යයි.
මෙම බොහෝ කවි තුළ පෙනෙන්නට ඇත්තේ ජන කවියේ ලක්ෂණයි. එදා ගැමියාගේ අව්‍යාජ හැඟීම් කවියට පෙරළුණා සේම මෙදා සිරකරුවාගේ අව්‍යාජ හැඟිම් කවියට නැගී ඇත.
සිපිරිගෙයි බිහිවූ කවිය සිපිරිගෙයි වසාලූ දොර කවුළු මතින් එළියට නොපැමිණියේ නම් මෙම නිර්මාණකරුවන්ගේ හැකියාවන් සිපිරිගෙයි මියයන්නට තිබුණි. සිපිරිගෙයි උප සංස්කෘතිය තුළ කවි බිහිවුණේ අද ඊයේ නොවේ. නමුත් ඒවා ජනගත නොවීය. අඟුරු කෑල්ලකින් සිමෙන්තියේ, වැසිකිළියක, තාප්පයක ලියවුණු කවිද අව්වට වැස්සට නතුව මැකීයන්නට ඇත. එහෙත් එය නැවත එසේ වන්නට නොදී සිපිරිගෙදර සාහිත්‍ය නම් අපූර්ව පැළය දැන් දලුලා වැඩෙන්නට පටන්ගෙන ඇත.
මෙම කටයුත්තේ පුරෝගාමියා වූ බන්ධනාගාර කොමසාරිස් - (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාට සැමගේ ස්තූතිය හිමිවිය යුතුය. සැබෑ පුනරුත්ථාපනය මෙයයි. කොමසාරිස්වරයා පවසන පරිදි නවකතා පහක් මේ වන විට සිපිරිගෙයින් දොරට වඩින්නට සූදානම්ය. ඒ සඳහා මේ වන විටත් ප්‍රකාශකයන් සොයමින් සිටින බවද ඔහු සඳහන් කරයි.
මෙම කාව්‍ය සංග්‍රහය සම්පාදනය කරමින් එහි සියලු කටයුතු සිදුකරනු ලැබුවේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරු සාහිත්‍ය කලා සංගමයයි. 1844 දී ඇරුඹි වැලිකඩ බන්ධනාගාරය වසර දෙසීයක පමණ ඉතිහාසයකට උරැමකම් කියයි. ඒ මුළු කාලය පුරාවටම දහස් සංඛ්‍යාත සිරකරුවන් මෙහි සිරගත වන්නට ඇත. ඔවුන්ට පිටත ලෝකයට කියන්නටද බොහෝ දේ තිබෙන්නට ඇත. එහෙත් අද ඒ ගොළු බව බිඳී ඇත. අද ඔවුන්ට හඬක් ඇත. පොතක් ඇත. අප ඔබට ඔවුන් වෙනුවෙන් ඇරයුම් කරන්නේ සිපිරිගේ පාමුලට විත් ඔවුන්ගේ හඬට සවන් දෙන්නැයි කියාය.
චමිඳු නිසල් ද සිල්වා