2018 ජුලි 21 වන සෙනසුරාදා

වකුගඩු දෙකම දන්දුන් කමාන්ඩෝ සෙබළා

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 286

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත‍්‍රවාදීන්ගෙන් රට ජාතිය බේරාගැනීමට සටන් බිමේ වීර වික‍්‍රම පෑ යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ සෙබළෙක් ජීවත්ව සිටියදී ජීවිතයක් මරණයත් අතර සිටි රෝගියකුට බද්ධ කිරීමට වකුගඩුවක් පරිත්‍යාග කළේය. ඉන් වසරක පමණ කාලයකට පසු ඔහු හදිසි රිය අනතුරකට ලක් වී මොළේ මිය යාමෙන් අනතුරුව ඉතිරිව තිබූ වකුගඩුවද තවත් රෝගියකුට බද්ධ කිරීම සඳහා ලබා ගැනීමේ අතිශය දුර්ලභ අවස්ථාවක් පසුගිය 14 වැනි දා රාත්‍රියේ මාවනැල්ල මහ රෝහලේදී සිදුවිය.

යම් කෙනකුට ජීවත්ව සිටියදී සිය කැමැත්තෙන්ද කිසියම් හේතුවක් මත මොළේ මිය ගොස් තිබුණොත් එවැනි අයකුගේ වකුගඩු දෙකම එම අයගේ සමීපතම ඥාතීන්ගේ කැමැත්ත මත පමණක් පරිත්‍යාග කිරීමට හැකියාව ඇති අතර මෙසේ ලබා ගන්නා වකුගඩු රෝගීන්ට බද්ධ කිරීම සිදුකරනු ලැබේ.

මේ අවස්ථා දෙකම කෙනකුට උදාවන්නේ නැති තරම්ය.

එහෙත් මේ අවස්ථා දෙකම උදාකර ගනිමින් ඔහු ලෝක වාර්තාවක් තැබුවේය. මෙය අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් පමණක් නොව මේ ආකාරයේ පරිත්‍යාග කිරීමක් මෙරටදී සිදුවුයේද ප‍්‍රථම වතාවට බව මහනුවර මහ රෝහලේ ස්ථාපිත කර ඇති මොළේ මිය ගිය අයගේ ශරීර අවයව ලබාගැනීමේ ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය අරුණ අබේසිංහ පවසයි.

ලෝකයේ වෙනත් කිසිදු රටකින්ද මීට පෙර මෙවැනි ආකාරයේ ශරීර අවයව පරිත්‍යාග කිරීමේ අවස්ථාවක් ගැන වාර්තා වී ඇති බවක් දැන ගැනීමට නොමැකි බවද වෛද්‍ය අබේසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජීවත්ව සිටියදී සහ මිය ගිය පසුවද මෙසේ වකුගඩු ලබාගත්තේ රඹුක්කන පත්තනපිටිය හේනපොල පදිංචිව සිටියේ එස්. පී. සෝමරත්න (57) මහතාගෙනි.  

මොළේ මියගොස් සිටි සෝමරත්න මහතාගේ සිරුරෙන් ඉවත් කරගත් එම වකුගඩුව 15 වන දා එක් දරු මවක වූ රෝගී කාන්තාවකට සාර්ථක ලෙස බද්ධ කිරීමෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව එම ශල්‍ය කර්මය සිදුකළ මහනුවර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ චාරිත් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මාවනැල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී රණවිරු සෝමරත්න මහතාගේ සිරැරෙන් වකුගඩුව ශල්‍ය කර්මයක් සිදුකර ඉවත් කරනු ලැබුවේ එහි පැමිණි කොළඹ ජාතික රෝහලේ රුධිර වාහිණි සහ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ජොයෙල් අරුචෙල්වම් මහතා විසිනි.

මාවනැල්ල මහ රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩබ්ලිව්. එන්.කේ.එල්. විජේසූරිය මහත්මිය, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ දිමුතු ගුණසේන මහතා සහ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිලූකා කපිලසේන මහත්මිය ප‍්‍රධාන වෛද්‍යවරුන් වෛද්‍යවරියන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් වකුගඩුව ඉවත් කර ගැනීමේ ශල්‍යකර්මය සිදු කර ගැනීමට සුවිශේෂී සහයෝගයක් ලැබී ඇත.

මහනුවර මහ රෝහලේ ස්ථාපිත කර ඇති මොළේ මිය ගිය අයගේ ශරීර අවයව ලබා ගැනීමේ සම්බන්ධීකාරක ඒකකය බාර හෙද නිලධාරි අනුර රත්නායක සහ එහි සහකාර සම්බන්ධිකරණ නිලධාරි ආර්.එම්. ජයවර්ධන යන මහත්වරුන්ද වකුගඩුව ඉවත් කර ගැනීමේ ශල්‍ය කර්මයට සහාය ලබාදීමෙන් පසු ඔවුන් දෙදෙනා ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් එම වකුගඩුව මහනුවර මහ රෝහලට ගෙන ඒමෙන් පසු බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සිදු කර තිබේ.

සෝමරත්න මහතාගෙන් 2017 වසරේ මාර්තු මාසයේ ලබාගත් වකුගඩුව රෝගියකුට බද්ධ කිරීම සිදු කරනු ලැබුවේද මහනුවර මහරෝහලේදීය.

ඒ අවස්ථාවේ එම ශල්‍යකර්මය සාර්ථකව සිදු කර ඇත්තේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ පී.කේ. හරිස්චන්ද්‍ර මහතාය.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් ද මෙම වකුගඩු බද්ධ කිරීම් ශල්‍යකර්මය සාර්ථක කර ගැනීමට සහාය ලැබී ඇත.

සෝමරත්න මහතාගේ ඥාති පුතෙක් වන ඩී.ජී. පුෂ්පකුමාර මහතා දේශය සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමින් මෙසේ පැවසීය.

මගේ අම්මාගේ මල්ලි තමා සෝමරත්න කියන්නේ. මාමා යුද හමුදවේ කමාන්ඩෝ සෙබළෙක් ලෙස සේවය කරලා 1993 වසරේ විශ‍්‍රාම ගියා. 1985 වසරේ හමුදාවට බැදුණු සෝමරත්න මාමා විශ‍්‍රාම යනතෙක්ම ඒ කාලයේ කොටින්ට එරෙහිව දියත් කෙරැණු රිවිරැස මෙහෙයුම ඇතුළු ප‍්‍රධාන පෙලේ මෙහෙයුම් ගණනාවක කමාන්ඩෝ සෙබළෙක් විදිහට ඉදිරි පෙළ සටන්කරුවෙක් ලෙස දක්වා ඇති දස්කම් නිසා වීර පදක්කම් ගණනාවක්ම ලබාගෙන තිබෙනවා.

සෝමරත්න මාමා 2017 වසරේ මාර්තු මාසයේ මාවතගම ප‍්‍රදේශයේ අයකු වෙනුවෙන් වකුගඩුව පරිත්‍යාග කළා. මාමා ඔහුව කිසිම දවසක දැකලාවත් තිබුණේ නැහැ. මාමාගෙන් වකුගඩුව ලබාගත් කෙනා හොඳ සුවයෙන් පසුවෙනවා. ඒ ගැන මාමා ලොකු සතුටකින් පසුවුණා. වකුගඩුව ලබාගත් ඔහුත් අපේ පවුලේම කෙනෙක් වාගේ. තමා මියගිය දවසකත් පුළුවන්නම් අනෙක් වකුගඩුවත් කාටහරි පරිත්‍යාග කරන්න කියා මාමා නිතරම කියා තිබෙනවා.

ගංගොඩ කියන ගමේ ඉන්න මාමාගේ හොඳම යහළුවෙක් හදිසි රිය අනතුරකින් මිය ගියා. ඒ යහළුවාගේ මළ ගෙදරට යන්න මාමා තවත් යහළුවෙක් එක්ක යතුරැපැදියකින් යද්දි කාර් රථයක ගැටී බිම ඇද වැටීමෙන් හිසට බරපතළ තුවාල සිදු වුණා. මළ ගෙදරට මීටර් 200ක පමණ දුරකින් තමා මේ අනතුර සිදුවෙලා තිබුණේ. මාමාගේ මොළේ මිය ගොස් තිබෙන නිසා ඔහු ජීවත් කරන්න බැරි බව විශේෂඥ දොස්තර මහත්වරු අපිට කිව්වා. කැමතිනම් මාමාගේ ඉතිරි වකුගඩුවත් පරිත්‍යාග කරන්න පුළුවන් බව ඔවුන් අපට දැනුම් දුන්නා. ඒ වකුගඩුව රෝගියකුට පරිත්‍යාග කරන්න මගේ අම්මා වන චන්ද්‍රාවතී කැමැත්ත ප‍්‍රකාශ කළා. මාමාගේ ඒ වකුගඩුව ලබාගත් රෝගි කාන්තාව ද සුවය ලබමින් ඉන්නවා කියා දැනගත්තාම ඒක අපට ලොකු සතුටක් යැයි පුෂ්පකුමාර මහතා කීය.

 ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05