2018 ජුලි 21 වන සෙනසුරාදා

සයිටම් සටන ඉවරද?

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 482

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 1931 – 1934 අතර කාලයයි. ඒ මෙරට අධ්‍යාපන රටාව තුළ නිදහස් අධ්‍යාපනයට මඟපෑදෙන්නේ මෙකල වන නිසාය. නිදහස් අධ්‍යාපනයක් මේ රට තුළ බිහිවීමට ප්‍රබලම හේතුව වූයේ එකල අධ්‍යාපන ඇමැති ලෙස ක්‍රියා කළ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ ක්‍රියාකලාපයයි. කන්නන්ගරට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමට හේතු කාරණා බොහොමයක් තිබිණි. එතෙක් මුදල් හිමි මහ මැඳුරුවලට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනය ලැබීමේ අයිතිය දුගී පැල්පත් දක්වා විසුරුවාලමින් අධ්‍යාපනයට පැවති සියලු සීමා බිඳදැමීම එහි එක් අරමුණකි.

2011 වසරේ ආරම්භ වූ සයිටම් ආයතනය සම්බන්ධයෙන් සටන තීව්‍ර වන්නේ 2017 ජනවාරි මස 31 වැනි දින එම ආයතනයට වෛද්‍ය උපාධි පිරිනැමීමේ අයිතිය ඇතැයි යන තීරණාත්මක තීන්දුවක් ප්‍රකාශයට පත්වීමත් සමඟය. එතැන් පටන් ආරම්භ වූ සයිටම් විරෝධය මාස හයක් පුරා අඛණ්ඩව දිව යයි. සයිටම් ආයතනයට එරෙහි ප්‍රධාන පාර්ශ්වය විශ්වවිද්‍යාල සිසුන් වන අතර අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලීකරණයට එරෙහි ප්‍රතිපත්තියේ සිට ඔවුහු සිය සටන මෙහෙයවූහ. අවස්ථා පහකදී ඔවුහු කොළඹ වැටලූහ. පසුගිය වසරේ ජූනි මස 20 වැනිදා කොළඹට පැමිණි සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවා අත්පත් කරගෙන පැය කිහිපයක් එහි රැඳීසිටියේ මෙම සයිටම් සටන මූලික කරගෙනය.

පසුගිය 2018 පෙබරවාරි මාසයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා තීරණය කළේ සයිටම් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සුදුසුකම් සහිත සිසුන් රත්මලාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමටය. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි විය. එම කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබුණේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි. ඒ අනුව 2009 සැප්තැම්බර් 15 වැනිදා සිට 2017 මැයි මස 15 දක්වා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සයිටම් ආයතනය යටතේ ලියාපදිංචි කර ඇති සිසුන් අතරින් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගැනීමේ මූලික සුදුසුකම් සපුරා ඇති සිසුන් 982 දෙනා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමු කරනු ලැබූහ.

සයිටම් ආයතනය 2009 ජනවාරි 21 දින ආරම්භ වූයේ රුසියාවේ නිශ්නි නොට්ගොරොප් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙනි. පසුගිය ආණ්ඩුවේද නොමඳ අනුග්‍රහය ලැබූ සයිටම් ආයතනය එවකට රුපියල් ලක්ෂ 120කට වෛද්‍ය උපාධිය ලබාදීම ආරම්භ කළේය. මෙරට වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමට ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව 2010 වර්ෂයේදී පුවත්පත් දැන්වීම් පළ කරමින් සයිටම් ආයතනයේ උපාධිය පිළිනොගන්නා බවට ජනතාවට දැනුම් දුන්නේය. එසේ වුවත් සයිටම් ආයතනය වසර කිහිපයක් තුළ ශිෂ්‍යයන් 1200 ක් පමණ බඳවාගෙන තිබිණි. පසුගිය කාලයේ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට යොමුකෙරැණේ ඒ අතුරින් ඉතිරිව සිටි සිසුන් 982 කි.

නමුත් මෙම අර්බුදය එතැනින්ද නිමා නොවුණි. කොතලාවල වෛද්‍ය පීඨයේ ආචාර්යවරු පසුගිය ජූනි මාසයේ සිට ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වූහ. ඔවුන් තම ඉවත් වීමට අදාළ කරුණු දක්වා සිටින අතර එම කරැණුවලට අනුව පෙනී යන්නේ සයිටම් වෛද්‍ය සිසුන් නියමිත අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ නොකොට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වෙත ඇතුළු වී පාඨමාලා හදාරා ඇති බවය. එවැනි පිරිසකට ඉගැන්වීම, පුහුණුව ලබාදීම පමණක් නොව වෛද්‍ය උපාධිය ලබාදීමට සහයෝගය දැක්වීමත් බලවත් වරදක් ලෙස ඉහත කී ආචාර්ය මණ්ඩලය පෙන්වා දී තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාලබේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

අපේ දරුවන්ට සයිටම් ආයතනයෙන් පිළිගත් උපාධියක් ලබාදීමට වෛද්‍ය සභාවේ නිර්දේශය ලැබුණු දවසේ ඉඳලම අපි අදාළ පාර්ශ්වයන් සමඟ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුවා. එහි ප්‍රතිඵලයක් ලෙසට තමයි මේ කොතලාවල ආරක්ෂක සේවා විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අපේ දරුවන් ඇතුළු කරන්න අවස්ථාව ලැබුණේ. උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ අතිගරැ ජනාධිපතිතුමා තමයි අපිට මේ වගේ විසඳුමක් දෙන්න අවස්ථාවක් උදා කළේ. අද වන විට දරුවන් එම පීඨවල අධ්‍යාපනය ලබනවා. මෙම ආයතනය තුළත් දරුවන්ට යම් යම් ගැටලු මතුවීමක් මේ වෙනකොට පේන්න තියෙනවා. ඒකත් ඉතා ඉක්මණින් විසදාගන්න බලාපොරොත්තු වෙනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර,

මේ සයිටම් ප්‍රශ්නයට අදාළව ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා සංශෝධනයක්. කොතලාවල දැනට තියෙන පනතට තමයි ඒක කළේ. නමුත් ඒ සංශෝධනයෙත් අපිට ගැටලු කිහිපයක් තිබුණා. මේ සංශෝධන හරහා සයිටම් ශිෂ්‍යයෝ කොතලාවලට ඇතුළත් කළාට පස්සේ නැවත ඒ ප්‍රතිපාදන යටතේ කොතලාවලට බඳවාගැනීමක් කරන්නේ නැහැ කියන එක මේ පනතේ තිබුණේ නැහැ. ඒ අනුව අපි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කළා මෙම සංශෝධනය විවාදයට ගන්න අවස්ථාවේ ඒ සම්බන්ධව යම් මැදිහත් වීමක් කරන්න කියලා. අවසානයේ සිදුවුණු එක තමයි කාරක සභා අවස්ථාවේ මේකට ඕන සංශෝධන ඉදිරිපත් කළාට පස්සේ ආණ්ඩුව පිළිඅරන් තිබුණා සයිටම් අහෝසියි කියන වචනයත් මේ සංශෝධනයට එකතු කරන්න. නමුත් මේ සටනේ අපි එක ජයග්‍රහණයක් අරගෙන තියෙනවා. ඒ තමයි සයිටම් අහෝසි කරන්නේ නෑ කියලා කියපු ආණ්ඩුවට, සයිටම් වගේ තව දහයක් ගේනවා කියපු ආණ්ඩුවට මේ සංශෝධනයට සයිටම් අහෝසි කරනවා කියලා වගන්තියක් ඇතුළු කරන්න සිදුවුණා. ඒක වුණේ මේ අපගේ සටන නිසා. සයිටම් අහෝසි කරන්න කියන සටන් පාඨය ඒ අනුව අහෝසි වෙනවා. නමුත් මේ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එකට විරැද්ධව අපි අරගලය දිගටම කරනවා.

සයිටම් වෛද්‍ය පීඨයට ඇතුළත්ව සිය අධ්‍යාපනය නිමවා සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් 982 ගැන කණගාටුවක් රටේ ජනතාවටද ඇත. ඔවුන් උපාධිය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් සේම සැලකිය යුතු කාලයක්ද වැය කර ඇත. සයිටම් ප්‍රශ්නයේ මුල ගතහොත් එය වසර ගණනාවක් ඈතට විහිදී යයි. සයිටම් ආරම්භ කර ඇත්තේ දේශපාලන වුවමනාවක් මත යැයි සමහරු තර්ක කරති. කෙසේ වෙතත් මෙය ඔඩුදුවන තුවාලයක් බඳුය. කලින් කලට විවිධ මුහුණුවරින් මතුවන මෙම ගැටලුවට නිසි ස්ථිරසාර විසඳුමක් හැකි ඉක්මණින්ම බලධාරීන් විසින් සොයා බලා පියවර ගත යුතුය.

 හසිත් අංජන