2018 ජුලි 21 වන සෙනසුරාදා

පොලීසියේ 600ක් කොටි මරද්දි දිවි ගලවාගත් එස්. අයි. තණවීර - 02

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

වෙඩි තියලා ඉවරවෙලා විනාඩි දෙකක් විතර හිටියා. අපේ සමහරු කෙඳිරිගානවා. සමහරු වතුර ඉල්ලනවා. කොටි හතරදෙනා මේවා බලාගෙන ඉන්නවා. මට වෙඩි වැදුණාද නැද්ද දන්නේ නෑ. ඒත් මැරුණේ නැති බව නම් දන්නවා. මගේ ළඟම හිටියේ ආර්.එස්.අයි. මහත්තයෙක්. මං එයාගේ ඇඟ අස්සේ ඔළුව ගසාගත්තා. එයා මැරිලා. ඇඟෙන් ලේ එනවා. පණ තියෙන සමහර නිලධාරීන් ‘අම්මේ..’ කියමින් කෙඳිරිගානවා. කොටි එක එක්කෙනාට ටෝච් අල්ලමින් ආයි වෙඩි තියාගෙන තියාගෙන ගියා. මටත් වෙඩි තිබ්බා. ඒ වෙඩිල්ල මගේ කනට වැදුණා.

ඊළඟට කිසිම කෙඳිරියක් නෑ. කොටි යන්න ගියා. මං නැඟිටින්න හදනකොට අතක් උස්සන්න බෑ. අත කුඩුවෙලා බව මට තේරුණා. වෙඩි වැදුණු අත අනිත් අතින් උස්සාගෙන මං වාඩිවුණා. වෙඩි වැදුණු අතෙන් ශබ්දයක් ආවා. මං අත්දෙක ගැටගහලා තිබුණු ලණුවෙන් උරමාලයක් හදාගෙන කැඩුණු අත එල්ලාගෙන හිටගත්තා. “පණ තියෙන කවුරුහරි ඉන්නවාද?” කියලා මං ඇහුවා. මුලින්ම හිටපු රාළහාමි කීවා මට නම් අමාරුවක් නෑ කියලා. මං කීවා එහෙනම් පනිමු කියලා. ඒත් එයා කියනවා බයයි කියලා. ඒත් එක්කම නැවත බස් එන හඬක් ඇහුණා.

මං බැරි අමාරුවෙන් කැලේ ඇතුළට ගිහින් ගහකට හේත්තු වුණා. අතෙන්, කන ළඟින් ලේ ගලනවා. මට සිහිය නැතිවෙනවා. ආයෙ සිහිය එනවා. ඒ බස්වලින් ගෙනාපු අයටත් අපට කළ දේම කළා. ඊටපස්සේ තමයි උන් එතැනින් පිටවෙලා ගියේ. ඔය වෙනකොට පාන්දර හතරට විතර ඇති. මට හරිම අමාරැ බව තේරුණා. ඇඟට පණත් නෑ. ඒත් හිතට හයිය අරන් මං නැඟිට්ටා. අපේ කට්ටිය මරාදමපු තැනට ගියා. කිසිම ශබ්දයක් නෑ.”

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ ඝාතනයට ගොදුරු වූ පොලිස් නිලධාරීන්ගේ නිසල සිරුර මතින් ගලායන රක්ත වර්ණ ලෙයින් ඒ බිම තෙත්ව තිබෙන ‘යුරු එස්.අයි. රණවීර දිටීය. පාලකයන්ගේ හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන්ගේ නින්දිත තීරණ නිසා නිරායුද වී කොටින්ට යටත් වීමට සිදුවූ තම සගයන්ගෙ දේහයන් දෙස මඳ වේලාවක් බලාසිටි රණවීර ආපසු හැරී වනයට ඇදුණේය.

ඉමක් කොණක් නොපෙනෙන මහ වනයේ ගල්මුල්වල හැපෙමින්, වැටෙමින්, නැගීසිටිමින් දිගටම ඔහු ගමන් කළේය. තුවාල වූ වම් අතෙන් හා කනෙන් ගලා එන රුධිරය ඔහුගේ මුළු ගතම තෙත්කොට තිබිණි. කායික මානසික පීඩාව මඳකට අමතක කළ ඔහු මහ වනය මැදින් ඉදිරියට ගමන් කරද්දී ඈත එළිමහන් භූමියක සේයාවක් දිටීය. හේ එදෙසට පියමං කළේය.

“එතකොට පාන්දර හයට විතර ඇති. මද දැක්කා ඈතින් විශාල වැවක් තියෙනවා. මම වැවට ගිහින් බඩ පිරෙනතුරු වතුර බීවා. ඊට පස්සේ පොඩි කැලයක් දිගේ අඩිපාරක ගමන් කළා. මට කොහොමහරි කුඹුරු යායකට එන්න පුළුවන් වුණා. ඒ යායේ තිබුණ පැලකට මම ගියා. ඒකෙ හිටපු මනුස්සයා මම දැකලා බයවුණා. “මොකද මේ? කොහෙද යන්නේ” කියලා ඔහු මගෙන් ඇහුවා. මම කීවා කල්මුණේ හෝටලයක වැඩ කරද්දී පොලීසියයි කොටියි වෙඩි තියාගත්තා. ඒ වෙඩිල්ලක් මටත් වැදුණා. මම පැනලා ආවා. මට අම්පාරට යන්න උදව් කරන්න කියලා. ඔහු මාව හරක් ඇතිකරන ගවගාලක් ළඟට ඇරලුවා.

ඒ ගවපට්ටියේ හිටපු අය මට බොන්න කිරි දුන්නා. මම බඩ පිරෙනතුරු උණු නොකළ කිරි බීවා. මගේ ඇඟට දැන් ටිකක් පණ ලැබුණා වගේ දැනුණා. මම ටික වේලාවක් එතැන හිටියා. අර උදව්වම මම ඔවුන්ගෙනුත් ඉල්ලුවා. ඒ අය මාව කුඹුරු යායකට ගෙනත් ඇරලුවා.

කුඹුරු යාය දිගේ එද්දී මම ඇදවැටුණා. ඉන් එහාට ගමන් කරන්න බැරි බව මට තේරුණා. ඇස් පෙනීමත් දුර්වල බව දැනුණා. කකුල් පණ නෑ. ඔය කුඹුරු යායේ වල් නෙලමින් හිටපු කාන්තාවන් පිරිසක් මාව දැකලා තියෙනවා. ඒ අය ගමට ගිහින් මේ ගැන කියපුවාම තරුණයන් තුන් හතර දෙනෙක් මගේ ළඟට ආවා.

මල්ලියේ මාව බේරගන්ඩ කියලා මම ඒ අයගෙන් ඉල්ලුවා. ඒ අය සිංහල. ඒ අය මාව බයිසිකලයක තියාගෙන නියරවල් උඩින් යාය හරහා ඇවිත් මාන්කෝට්ටන් හන්දියට අරන් ආවා. එතැනදී මට වෙනිවැල් ගැට තම්බලා දුන්නා. මං තැපැල් කන්තෝරුවට ගිහින් එස්.එස්.පී. මහත්තයාට ඇමතුමක් ගත්තා. විස්තර ඔක්කොම කීවා.

එස්.එස්.පී. මට කීවා “ඔයා උදව් අරන් දමන පොලීසියට එන්න කියලා. අර තරුණයන් මෝටර් සයිකලයක් හොයාගෙන ඇවිත් මාව දමන පොලීසියට අරන් ආවා. දමන පොලීසියේ අය මාව අම්පාර රෝහලට අරන් ගියා. එදාම රූ මාව මහනුවර මහ රෝහලට මාරුකර යැව්වා.”

මහනුවර මහ රෝහලේදී පැය භාගයක සැත්කමකට බඳුන් කළ එස්.අයි. ශාන්ත රණවීරගේ ජිවිතය බේරාගැනීමට එහි වෛද්‍යවරු සමත් වූහ. එවැනි තවත් සැත්කම් හතරක් අනතුරුව සිදුකළ බවත් අද ඔහුගේ වමත ප්‍රාණවත් නැති බවත් රණවීර මහතා කියයි.

පොලිස් කොස්තාපල්වරයකු ලෙස 1980 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලීසියට බැඳුණු ඔහු 1986 ජූනි මස හය වැනිදා සිට උප පොලිස් පරීක්ෂකවරයෙක් විය. 1990 ජූනි මස එකොළොස් වැනිදා මේ ම්ලේච්ඡ ප්‍රහාරයට ගොදුරු වී ආබාධිත තත්ත්වයට පත්වූ ඔහුට වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ මත 1992 වසරේ සිට පොලීසියෙන් ඉවත් වීමට අවස්ථාව ලැබී ඇත.

පෙර පින් බලයකින් හෝ මහා හාස්කමකින් ජීවිතය බේරාගත් අල්පයක් වූ පොලිස් නිලධාරීන් අතර රණවීර මහතාද එක් අයෙකි. රණවීර මහතා ඇතුළු එවැනි ආබාධිත පොලිස් නිලධාරීන් අද පත්කොට ඇති අනුවේදනීය ඉරණමක් ගැනද ඔහු අපව දැනුම්වත් කළේය.

”අනෙකුත් ආරක්ෂක අංශවල මියගිය හා ආබාධිත නිලධාරීන්ට සියලු දීමනා සහිතව වැටුප් ලබාදුන්නත් පොලීසියේ අයට වැටුප විතරයි තාම දෙන්නේ. 82/1/18, අ/ම/ප/305/9 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් මේ හිමිකම පොලිස් නිලධාරීන්ටත් දෙන්න නිර්දේශ කළත් තාම දෙන්නේ නෑ.

ඒවාගේම වසර දහයකට වඩා අඩු සේවා කාලයක් ඇති ආබාධිත පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙන්න නිර්දේශ කරලා තිබුණත් ඒකත් තාම නෑ. පොලිස් සේවයේ වසර දහයක් සම්පූර්ණ නොමැති ත්‍රස්තවාදී ක්‍රියා හේතුකොටගෙන තුවාල ලබා ආබාධිතව සේවයෙන් විශ්‍රාම ගන්වා ඇති නිලධාරීන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදෙන්න කියා අංක 14/0880/564/016 හා 2014.12.17 දිනැති අමාත්‍ය මණ්ඩල චක්‍රලේඛයෙන් දන්වා තිබෙනවා. ඒත් තාම ඒකත් ක්‍රියාත්මක නෑ. මේ තත්ත්වයෙන් ඉන්නේ අපි 132 දෙනෙක්. කඩිනමින් අප ගැන පියවරක් ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.”

►ගල්ගමුව - නිහාල් ජයවීර