2018 ජුලි 21 වන සෙනසුරාදා

ලංකාවට ධර්ම සංඝායනාවක් අවශ්‍යයි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 364

 

එක් දිනයක ආනන්ද හිමි බුදුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විචාල සේක. “ඔබවහන්සේ පිරිනිවන් පෑ පසු එම ප්‍රශ්න විසඳන්නේ කෙසේද? ගුරුවරයා කවුද?” යනාදී වශයෙන් ප්‍රශ්න විමසූහ. මගේ ධර්මය හා විනය ගුරු හැටියට සලකා කටයුතු කරන ලෙස උන්වහන්සේ ආනන්ද හිමි හට වදාළහ.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ඇතිවූ විවිධ මත හා ගැටලු විසඳා ගැනීමටත් බුදු දහමේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමටත් සංඝායනා පැවැත්වීම සිදුවී ඇත.

පළමු ධර්ම සංඝායනාව බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තෙමසකට පසු ඉන්දියාවේ රජගහ නුවර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදිණි. කෙටිකාලීන හේතුව ශුභද්‍ර නැමති භික්ෂුවගේ අභද්‍ර වචනයයි.

දෙවැනි ධර්ම සංඝායනාව බුද්ධ පරිනිර්වාණයෙන් සියවසකට පසු කාලාශෝක රජුගේ අනුග්‍රහයෙන් ඉන්දියාවේදී පවත්වන්නට යෙදිණි.

තුන්වැනි ධර්ම සංඝායනාව අශෝක මහරජු දවස මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. බුද්ධ ධර්මය සූත්‍ර, විනය, අභිධර්ම වශයෙන් අංගසම්පූර්ණභාවයට පත් කරන ලදී. ථෙරවාදී බුදු දහම රටවල් 9කට ප්‍රචාරය සඳහා දූතයන් පිටත් කර හැරීම විශේෂයකි. ලංකාවට (තම්බපණ්ණිය) එතුමාගේ පුත් මිහිඳු හිමි වැඩම කරවීම විශේෂ සිදුවීමකි.

හතරවැනි සංඝායනාවත් ඉන්දියාවේදී කනිෂ්ක රජු සමයේ හර්ෂ හිමිගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

පස්වැනි ධර්ම සංඝායනාව දෙවැනි පෑතිස් රජු කල අරිට්ඨ හිමිගේ ප්‍රධානත්වයෙන්ද, හයවැනි ධර්ම සංඝායනාව වට්ටගාමිණී අභය රජු සමයේ රක්ඛිත තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදීද පවත්වන ලදී. හතරවැනි ධර්ම සංඝායනාව තායිලන්තයේ ධර්ම චක්‍රවර්තී තිලක රාජාධිරාජ රජු කාලයේ අගනුවර අයෝධ්‍යාවේදී පවත්වනු ලැබීය.

අටවැනි ධර්ම සංඝායනාව බුරුමයේ ඩෙන්වින් රජුගේ අනුග්‍රහයෙන් මණ්ඩලේ නුවර සුමංගල සාමි හිමි නරේන්ද්‍රභිජා හිමි, ජගිරාභිවංශ යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිඨකය කිරිගරුඬ මත ලිවීම රජමාලිගය තුළදී සිදුකරන ලදී. 9 වැනි ධර්ම සංඝායනාව මහා පරාක්‍රමබාහු රජුගේ ආරාධනයෙන් සිදුවිය. ඉන්දීය අශෝක රජුගේ ධර්ම සංඝායනාව ගුරකොට මෙය සකස් වූ බවට පොළොන්නරු කතිකාවතේ සඳහන්ව ඇත. අශෝක රජුගේ භාබ්‍රැ ලිපියේ සඳහන් කරුණුත්, පොළොන්නරු කතිකාවතේ සඳහන් කරුණුත් බොහෝ දුරට සමානය. දසවැනි සංඝායනාව III වැනි විජයබාහු රජුගේ පුත් II වැනි පරාක්‍රමබාහු රජතුමා දඹදෙණි කතිකාවත ක්‍රියාත්මක කරන ලදී.

මෙම සෑම සංඝායනාවකින්ම බලාපොරොත්තු වන්නේ උගත්, ධර්මධර, විනයධර, සුපෝෂල ශික්ෂාකාමී භික්ෂූන් ඒකරාශි කොට බුද්ධ ශාසනය හා බුදු දහම ප්‍රතිෂ්ඨාපනය කිරීමය. මෙම සෑම සංඝායනාවකින්ම ඒකරාශි වී ලිවීම, සාකච්ඡා කිරීම ප්‍රධාන තැනක් ගනී. මෙම සෑම සංඝායනාවකටම අනුග්‍රහය ඒ ඒ යුගවල රජ කළ රජවරුන් විසින් දක්වා ඇත.

වර්තමානයේ ලංකාවේ පවතින්නේ විධායක ජනාධිපතිවරයකු ඇති සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයකි. ඒ නිසා වර්තමානයේ සංඝ කතිකාවතක් ක්‍රියාත්මක කිරීම සඳහා විධායක ජනාධිපතිගේ හා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදිය යුතුය. වර්තමානයේ සංඝ කතිකාවතක් ක්‍රියාත්මක කිරීමට හේතු රාශියක් ඇත.

වර්තමානයේ ප්‍රධාන නිකාය 3 ක් අමරපුර, රාමඤ්ඤ, සියම් යනුවෙන් භාවිත කෙරේ. ඒවාට පාර්ශ්වයන් රැසක් ඇත.

වර්තමානයේ සංඝ කතිකාවතකින් ධර්ම සංඝාධිකරණයක අවශ්‍යතාවය පැන නැගේ. එම උත්තරීතර සංඝාධිකරණයට නිකාය තුනෙහිම මහා තෙරුන් වහන්සේලා පත් කරගත යුතුය. එම මහ තෙරුන් වහන්සේලා විනයධර, ධර්මධර හා සු‍පේෂල ශික්ෂාකාමී තෙරුන් වහන්සේලාගෙන් සමන්විත විය යුතුය. එසේ සකස් කරන සංඝාධිකරණයක කෙටුම්පතක් ජනාධිපතිතුමාගේ අනුමැතියෙන් හා පාර්ලිමේන්තු අනුමැතියෙන් නීතිමය සංඝාධිකරණයක් බවට පත්වනු ඇත.

භික්ෂුත්වයට නොගැලපෙන, ප්‍රාතිමෝක්ෂය ශීලය කඩ කරන, බුදු දහමට නොගැලපෙන දුර්මත පළ කරන සහ දෙතිස් කතාවල යෙදෙන චීවරධාරීන් සංඝ ශාසනයෙන් ඉවත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එමෙන්ම පෙර සංඝායනාවලදී ලබාදී ඇති උපැවිදි කිරීම වැනි දඬුවම් මෙම සංඝාධිකරණයෙන් ක්‍රියාවට නැංවීමට හැකිවනු ඇත.

ඒ නිසා වර්තමානයේ මහා සංඝයාට අත්විඳින්නට වන චෝදනා, ගැරහුම්වලට මෙම සංඝ කතිකාවත මහඟු පිටුවහලක්ද වනු ඇත. ශාසනයේ රැඳීසිටින විනයධර, ධර්මධර, සු‍පේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාට විධිමත් ගෞරවාන්විත හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කළ යුතුය.

එදා රජ දවස කතිකාවතක් පිහිටුවන ලද්දේ භික්ෂූන්ගේ දුෂ්ප්‍රතිපත්ති නැතිකොට මහණදම් දියුණු කිරීමෙන් ශාසනය ආරක්ෂා කර ගැනීමටය. වර්තමානයේ වුවද සද්ධර්මයේ ආරක්ෂාව එකිනෙකින් වෙන්කොට දැක්විය නොහැක.

පොළොන්නරු කතිකාවතේ සඳහන් අන්දමට මහා පරාක්‍රමබාහු රජතුමා තුන් නිකාය සමගි කොට ඇත. එදා තුන් නිකාය වශයෙන් හැඳින්වූයේ මහා විහාරය, අභයගිරිය හා ජේතවන යන නිකාය තුනය. එදා නිකායෙන් නිකායට සංශෝධන ඉදිරිපත් කොට සමගි කරන ලදී. නිකාය තුනට අයත් දුශ්ෂීල භික්ෂූන් වහන්සේලා පොළොන්නරු ලතා මණ්ඩපයට ගෙන්වා උපැවිදි කළ බව සඳහන්ය.

සියම්, අමරපුර, රාමඤ්ඤ යන තුන් නිකායේම අනුග්‍රහයෙන් හා පූර්ණ අනුමැතියෙන් මෙම සංඝ කතිකාවත ක්‍රියාත්මක කළහොත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත. රටේ බෞද්ධ ජනතාවගේද එකම අරමුණද, බලාපොරොත්තුවද විනයධර, ධර්මධර, සුපෝෂල ශික්ෂාකාමී සංඝ පරපුරක් හා නිර්මල ථේරවාදී බුදු දහම ඇති රටක් හැටියට ලංකාව පත් කිරීමයි.

සිරිපාල ලියනහේවගේ 
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහරගම ගුරු විද්‍යාලය