2018 ජුලි 21 වන සෙනසුරාදා

වෙද රාළහාමි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248

ගමේ ජීවකයා කියලා කිව්වෙ වෙදරාළහාමිට. එයා ගමට නැතුවම බැරි කෙනෙක්. එයා නැතිවුණානම් ඒ කාලේ කී දෙනෙක් වළපල්ලට යන්ඩ ඉඩ තිබුණද? ඒ දවස්වල අද වාගෙ ගමින් ගමට ඩිස්පැන්සරි, ඉස්පිරිතාල තිබ්බේ නැති හින්දා ලෙඩක් දුකක් හැදුණාම වෙදරාළහාමිගෙන් පොතිකාර ගන්න කාටත් සිද්ධ වුණා.

වෙදරාළහාමිගෙ ගෙදරට ගම්මු කිව්වෙ වෙද ගෙදර කියලයි. ඒ වෙදගෙදර වෙද පරම්පාරවෙ වෙද ගෙදර වුණා. පුතා, තාත්තා, ආතා, මුත්තා වගේ මුළු හත්මුතු පරම්පරාවම කළේ වෙදකම් තමා. අද වාගේ විශ්වවිද්‍යාලවල ගිහිල්ල වෙද උපාධි නොගත්තට පරම්පරාවෙන් ආපු වෙදපොත් සොලෝක කටපාඩම් කරලා තමා සාත්තරේ ඉගෙන ගත්තේ. තාත්තා තමන්ගෙ පරම්පරාව ගෙනියන්ඩ පුතාට ඉගැන්නුවා. පුතා තමන්ගෙ දරුවන් පොඩි කාලේ ඉඳලම වෙදකමට හුරු කළා.

වෙදරාළහාමි ලෙඩ්ඩුන්ට ක්‍රම දෙකකින් බෙහෙත් කළා. ඒ තමයි කසාය සීට්ටුව වගේම හදපු බෙහෙත්වලින්. හදපු බෙහෙත් කියන්නෙ ගුලි, කල්ක, චූර්ණ, කුඩු, තෙල් වගේ ජාති. මේ ඔක්කොම හැදුවේ වෙදරාළහාමිගෙ ගෙදරයි. ගෙදර පැල් බැඳගෙන ඉඳලා බෙහෙත් හදන්ඩ අත්උදව්කාරයො රාශියක්ම ඒකාලෙ වෙදගෙදර හිටියා. කෑම බීම සංග්‍රහ ඔක්කොම කළේ වෙදගෙදරින්. බෙහෙත් හදන්න ඕනෑ කරන බෙහෙත් ජාති ඔක්කොම ඒ ගොල්ලො ගමේ කැලෑවට ගිහිල්ල හොයාගත්තා. වෙදරාළහාමි වගේම බෙහෙත් හදපු අයත් බෙහෙත් වර්ග පැළෑටි ඔක්කොම දැන අඳුනාගෙනයි හිටියේ.

වෙදරාළහාමි ලෙඩාට දුන්නු බෙහෙත් සීට්ටුවේ බෙහෙතුත් මොකවත් සල්ලිවලට ගත්තෙ නැහැ. අහළ පහළින් ඒ බේත් ජාති එකතු කරගෙන එන්න ලෙඩාගෙ නෑ මිත්තරයන්ට පුළුවන් වුණා. හැම ගෙදරකම වාගේ ලෙඩට දුකට වැඩියෙන් ඕනෑ කරන බෙහෙත් ජාති වවලයි තිබුණේ. අරළු, බුළු, නෙල්ලි, වගේ ලොකු ගස්වලින් ගන්න ඕනෑ දේවල් කැළෑවට ගිහිල්ල හොයාගෙන ආවා. බොහොම වෙලාවට බේත් සීට්ටුවකින් අනුපාත විතරයි සල්ලිවලට ගන්න වුණේ. බෙහෙත් සීට්ටුවෙ ලියලා තියන දේවල් ගම්මුන්ට අමාරුවෙන් හරි කියෝල තේරුම් ගන්ඩ පුළුවන් වුණා. එක්කෙනෙකුට බැරි වුණොත් අතින් අත යවලා කියෝගත්ත ඒ කාලෙ ගමේ වැඩිදෙනාට ඉගැන්නුවෙ බේත් සීට්ටුවක් කියව ගන්න පුළුවන් තරමට විතරයි.

ලෙඩා වත්තන් කරගෙන වෙදගෙදර අරගෙන එන්න බැරි නම් පුටුවක තියලා පොලු දෙකක් බැඳලා හතර දෙනෙක් උස්සගෙන තමා ආවේ. එහෙමත් අරං එන එක අන්තරාදායක නම් වෙදරාළහාමිට ගෙදරට ගිහිල්ල ඒ වග දැනුම් දුන්නාම අගයක් ආඩම්බරයක් නැතුව වෙදරාළහාමි බේත් හේප්පුවත් ඉණේ ගහගෙන ඒ ඇසිල්ලෙම ලෙඩ ගෙදරට ආවා. බේත් හෙප්පුව හදලා තිබ්බෙ ගෝන අඟක් හාරලා. ඒක පිට පැත්ත ලස්සනට ඔප කරලා තිබ්බා. ඇතුළ කොටුවලට බෙදලා ගුලි, කල්ක, කුඩු වගේ බේත් ජාති එක එක ලෙඩට ඕනෑ හැටියට අඩුක් කරල තිබ්බෙ. අඳුනාගන්න පහසුවෙන්ම එක එක පාටින්, නොයෙක් ප්‍රමාණයන් ඒවා හදලා තිබුණා. තෙල් කුප්පිත් ඒකෙ තමා තියලා තිබ්බෙ. ගෙදරට ගිය වෙදරාළහාමි ලෙඩේට ඕනෑ කරන බේත් තෝරලා දුන්නා. මුල්ම බේත්වේල තමුන් පොවලා ඊට පස්සේ ඒවා දෙන හැටි ගෙදර අයට කියලා දුන්නා. ඕනෑම අසද්ද ලෙඩෙකුට දෙන්න ඕනෑ කරන බේත් ජාතින් බේත් හෙප්පුවෙ තිබ්බා. ලෙඩාට ටිකක් සනීප වුණාට පස්සෙ තමා වෙදගෙදරට අරං ගියේ.

වෙදකම් කිරිල්ල වෙදරාළහාමිගෙ රස්සාව නෙමෙයි. ඒ පරම්පරාවෙ ඔක්කොටම හොඳට කාලා ඇඳල ඉන්න සල්ලි බාගෙ තිබ්බා. වෙදරාළහාමි ලෙඩ්ඩුන්ගෙන් අද වගෙ සල්ලි අය කළේ නැහැ. ලෙඩ්ඩු ගේන බුලත් අත විතරයි බාර ගත්තේ. වෙදරාළහාමි කියන්නෙ සල්ලි අය කළොත් සාත්තරේ පිහිටන්නෙ නැහැ කියලයි. පිංතකා තමා බේත් කළේ.

යසවර්ධන