2018 ජුලි 21 වන සෙනසුරාදා

විජයකලාගේ කතාව සොයා පොලීසිය යාපනයට ගිය ගමන

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 58

හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශයක් නිසා පසුගියදා දේශපාලන ලෝකය මෙන්ම රටම කැළඹී ගියේ බලා සිටියදීය. එල්.ටී.ටී.ඊ සිටි කාලයේ උතුර මීට වඩා යහපත් ලෙස තිබූ බවත් නැවත එල්.ටී.ටී.ඊය පැමිණිය යුතු බවත් ඇයගේ ප්‍රකාශයේ අඩංගුවිය.

මේ ප්‍රකාශය නිසා දකුණේ දේශපාලනය කැළඹුණු අතර ඇය රටට සහ පාර්ලිමේන්තු විනයට පිටින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයව පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතු යැයි ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙකුගේ ද ස්ථිර අදහස විය. එහෙත් ඈ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූවාය. එහෙත් ඉන් සෑහීමකට පත්නොවූ බොහෝ දෙනා ඇය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙසට දිගින් දිගටම ඉල්ලා සිටිති. මේ නිසා පසුගියදා පාර්ලිමේන්තුව පවා නොසන්සුන් වූ අතර ඒ කලහකාරී සිද්ධිය හේතුවෙන් ඒකාබද්ධයේ මන්ත්‍රීවරයකු වන ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් ද මේවන විට ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් විජයකලා මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත්තේයැයි විපක්ෂයෙන් චෝදනා කළත් මේ වන විට ඉතාම රහසිගත ලෙස පොලිස් පරීක්ෂණයක් සිදුවෙමින් පවතී. එකී පරීක්ෂණය සම්බන්ධයෙන් සොයාගත් තොරතුරු කීපයක් අපි මෙසේ හෙළිදරව් කරන්නෙමු.

විජයකලාගේ ප්‍රකාශයෙන් පසුව කතානායකවරයාගේ නියෝග  මත නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට පවරා ඇත්තේ විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසය. සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් පසුගියදා ආරම්භ කෙරිණි. එහිදී ඔවුන්ට පැවරුණු රාජකාරිය වූයේ මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කර එහි වාර්තාවක් පොලිස්පතිවරයාටත් ඊට පසුව නීතිපතිවරයාටත් අවසානයේ කථානායකවරයාටත් ලබාදෙන ලෙසය. ඒ අනුව පරීක්ෂණයට අදාළ ප්‍රකාශ ලබා ගැනීම ප්‍රථමයෙන්ම ආරම්භ කෙරුණේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙනි. එයට හේතුව වූයේ විජයකලා මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සිදු කළේ අමාත්‍යවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ උත්සවයකදී වීම නිසාය.

අමාත්‍යවරයා සිය ප්‍රකාශය ලබාදෙමින් සඳහන් කර සිටියේ තමන්ට එය නොඇසුණු බවත් එයට හේතුව ඇය එම කතාව දෙමළ භාෂාවෙන් සිදු කළ නිසා බවත්ය. එහෙත් තමන් ආසන්නයේ සිටි කිලිනොච්චි දිසාපතිවරයා එය පරිවර්තනය කළ අවස්ථාවේ මන්ත්‍රීවරිය එවැනි ප්‍රකාශයක් කළ බව තමන් දැනගත් බව අමාත්‍යවරයා කීය. ඊට පසුව තමන් උත්සව සභාව ඇමතූ බවත් එහිදී මන්ත්‍රිවරියගේ ප්‍රකාශය නිවැරදි කළ බවත් අබේවර්ධන මහතා පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත. එහෙත් එම ප්‍රකාශය එක් නාළිකාවක හැර අනෙක් කිසිදු නාළිකාවක ප්‍රචාරය නොකළ බවද අමාත්‍යවරයා දන්වා තිබේ.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව පොලිස් අධිකාරීවරයකුගෙන් යුත් කණ්ඩායමක් යාපනය බලා පිටත් වුණේ උත්සව සභාවේ සිටි අනෙකුත් සාමාජිකයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහාය. එහිදී ප්‍රධානම පුද්ගලයා වූයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශ ලබා ගැනීමය.

ඒ අනුව පසුගිය සතිය ආරම්භයේදී පොලිස් කණ්ඩායම යාපනයට ගොස් විග්නේෂ්වරන් මහතා හමුවී ප්‍රකාශයක් ලබාගත්තේය. ඔහුගේ ප්‍රකාශය ලබාගත් අවස්ථාවේ පවසා තිබුණේ තමන් එම උත්සව සභාවේ සිටියත් එවැනි ප්‍රකාශයක් තමන්ට නොඇසුණු බවයි. එයට හේතුව වූයේ තමන් ඒ අවස්ථාවේ වාඩිවී සිටියේ බෆල් සෙට් එක ළඟ වීම නිසා බව ඔහු කීවේය. ඒ නිසා කිසිවක් පැහැදිලි නොවුණු බව මහ ඇමැතිවරයා කීය. අවසානයේ පරීක්ෂණ නිලධාරීහු එදින විජකලා මන්ත්‍රීවරිය සිදු කළ ප්‍රකාශයේ පටිගත තැටියක් ප්‍රචාරය කොට අසන්නට සැලැස්වූහ. එය පැහැදිලිව අසා සිටි මහ ඇමැතිවරයා ඔවැනි කතාවක් සිදුකළ බව තමන්ට මතක යැයි කීවේය.

මහ ඇමැතිවරයා එම ප්‍රකාශය සාධාරණය කරමින් සඳහන් කර සිටියේ එල්.ටී.ටී.ඊ නැවත නැගිටීම නොව එල්.ටී.ටී.ඊය පැවති කාලයේ මෙවන් අපරාධ සිදුනොවූ බවය. ඒ බව හැඟවීම මිස ත්‍රස්තවාදයක් අපේක්ෂා කිරීමක් එම ප්‍රකාශයේ නොමැති බව ඔහු සිය ප්‍රකාශයේදී කීවේය.

ඒ අනුව මහ ඇමැතිවරයාගේ ප්‍රකාශය සටහන් කරගත් පොලීසිය පිටව ගියේ දිසාපතිවරුන් දෙදෙනකුගේ ප්‍රකාශ ලබා ගැනීමටය. ඒ කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් දෙදෙනාය. ඉන් කිලිනොච්චියේ දිසාපතිවරයා තමන්ට එය පැහැදිලිව ඇසුණු බවත් එය අමාත්‍යවරයාට පරිවර්තනය කොට ප්‍රකාශ කළ බවත් ඔහු කීය. එසේම යාපනය දිසාපතිවරයා පවසා සිටියේ තමන්ටද එවැනි ප්‍රකාශයක් ඇසුණු බවය.

ඉන් අනතුරුව එම ස්ථානය බාරව රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය. ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් දෙමළ භාෂාව නොදන්නා නිසා එය තේරැම් ගැනීමට නොහැකි වූ බවය.

ඒ අනුව මේ වන විට විවිධ තරාතිරමේ පුද්ගලයන් 20 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත. දැනට ප්‍රකාශ ලබා ගැනීමට ඇත්තේ එම උත්සවයේ සිටි භාෂා පරිවර්තකයන් දෙදෙනාගේ සහ ශබ්ද පරිපාලනය කළ පිරිසගෙන්ය. ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අවසානයේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත්තේ විජයකලා මන්ත්‍රීවරියගෙන්ය. ඇයගේ ප්‍රකාශය එළඹෙන සතියේදී කොළඹදී ලබා ගැනීමට නියමිතව ඇත. එම ප්‍රකාශයෙන් අනතුරුව වාර්තාව සකසා පොලිස්පතිවරයාට ලබාදීමට නියමිතව ඇත. පොලිස්පතිවරයා විසින් එය නීතිපතිවරයාට ලබාදී නීතිපතිවරයා විසින් කතානායකවරයාට ලබාදීමට නියමිතය. ඉන් අනතුරුව මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂ නායකවරුන් හමුවනු ඇත.

කෙසේ වෙතත් ඇය එම ප්‍රකාශයෙන් පසුවද සහභාගී වූ උතුරේ එක්තරා රූපවාහිනි වැඩසටහනකදී තමන් එදින කළ කතාව යළි තහවුරු කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට ද පොලීසිය සමත් විය. එහෙත් පරීෂණ කිරීමත් වාර්තා සැකසීමත් පොලීසියට අයත් කාරණයකි. ඇය විනය සංග්‍රහ උල්ලංඝනය කර ඇතැයි ද යන්න සෙවීම කතානායකවරයාගේ තීරණයකි. එතෙක් බලා සිටීම හැර අපට පූර්ව නිගමනවලට පැමිණිය නොහැක.

ගයාන් ගාල්ලගේ