2018 ජුලි 21 වන සෙනසුරාදා

කඹ ඇදිල්ලක පැටළුණු කෙරවළපිටිය විදුලි බලාගාර ටෙන්ඩරය

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

♦‘ලක්දනවි’ට නුදුන්නොත් පාඩුව පාරිභෝගිකයාටයි - පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය

♦ලක්දනවි ලබා ගන්නා ව්‍යාපෘති බොහෝමයක් අතරමඟ නැවතිලා - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

කෙරවළපිටියේ මෙගා වොට්ස් 300ක විදුලි බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ටෙන්ඩර් පිරිනැමීම පිළබඳ මේ වනවිට දැඩි කතාබහක් ඇති වී තිබේ. මෙම ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ කුමන හේතුවක් නිසා හෝ මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වීම තම ජීවිතවලට තදින් බලපාන නිසාය.

ලංකා විදුලි බල මණ්ඩලයේ දීර්ඝකාලීන විදුලි ජනන සැලසුමට අනුව මෙම ද්විත්ව චක්‍රීය ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත්තේ 2016 වසරේ නොවැම්බර් 16 වැනි දිනය. මුලින් 39 දෙනකු ටෙන්ඩර් ලියකියවිලි මිලදීගෙන තිබුණ ද ඒ අය අතරින් ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණේ 8 දෙනකු පමණකි. මෙම අටෙන් සමාගම් දෙකක් ටෙන්ඩරයේ අවම පිවිතරයන් ලබා නොදීම නිසා එම ටෙන්ඩර් බාර ගැනීම තාක්ෂණික කමිටුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. තවත් එක් ටෙන්ඩරයක් ටෙන්ඩර්කරු අවම ටෙන්ඩර් කොන්දේසි සපුරා නොතිබීම නිසා ප්‍රතික්ෂේප කර ඇත. ඊළඟට ඉතිරි වූ ටෙන්ඩර්කරුවන් පස්දෙනාම ටෙන්ඩර් ප්‍රදානය කිරීමට සලකා බැලීමට තීරණය වී තිබේ.

ලැබුණු ටෙන්ඩර්වලින් අවම මිල සඳහන් කර තිබුණේ ලක්දනවි සමාගම වන අතර ඔවුන්ගේ මිල අමෙරිකානු ඩොලර් මිලියන 175කි. මේ සඳහා සකස් කළ ඉංජිනේරු ඇස්තමේන්තුව ඩොලර් මිලියන 300ක් වන අතර ලක්දනවි සමාගමේ ඉල්ලුම වූයේ ඇස්තමේන්තුවෙන් සියයට 58කි. අනිකුත් ටෙන්ඩර්කරුවන් සිවු දෙනාම ඇස්තමේන්තුවට ආසන්නව මිල ගණන් දක්වා තිබුණු අතර ඊළඟ මිල ගණන ඉදිරිපත් කර තිබූ චීනයේ සිමිටි පවර් ඉන්ටර්නැෂනල් සමාගමේ ඉල්ලුම වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 299කි.

එසේම ලක්දනවි සමාගම අවශ්‍ය පිරිවැය සඳහා KFW සමාගමෙන් සහ එච්.එන්.බී. බැංකුවෙන් ණය ලබා ගන්නා බව දක්වා ඇති නමුත් එම ආයතනවලට දන්වා ඇත්තේ ව්‍යාපෘතියේ මුළු පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 300 බව යැයි පැවසේ. එසේම ඉදිකිරීම් වියදම් මිලිය 265ක් වශයෙන්ද ජර්මනියෙන් ආනයන කරන යන්ත්‍ර සඳහා මිලියන 190ක් ලෙසද දක්වා තිබේ. එහෙත් මෙය පරස්පර මිල ගණන් වේ. එසේම ටෙන්ඩර් කොන්දේසි අනුව සමාගම සියලු බදු සහිත මුළු පිරිවැය ටෙන්ඩරයේ සඳහන් කළ යුතු වුවත් එයද ඩොලර් මිලියන 22කට ආසන්න ක්‍රියාකාරී වියදම් ද මුළු පිරිවැයට ඇතුළත් කර නැත. මේ හේතු නිසා 2018-01-18 දින තාක්ෂණික කමිටුව මේ ටෙන්ඩරය ප්‍රතික්ෂේප කර ඇත. එසේම බදු වියදම් දැරීමට ඇති හැකියාව පිළිබඳ සඳහන්ව නැති හේතුව මත යළිත් 2018-02-15 දිනයේද ටෙන්ඩරය ප්‍රතික්ෂේප කර තිබේ.

එසේ වුවද පසුව ටෙන්ඩර් කොන්දේසි නොසලකා හරිමින් කෙසේ හෝ අවිධිමත් ලෙස 2018-04-03 දින මෙම සමාගමට ටෙන්ඩරය පිරිනැමීමට තාක්ෂණික කමිටුවේ නිර්දේශය ලබා ගැනීමට හැකිව තිබේ. එසේ වුවද ප්‍රසම්පාදක අභියාචනා මණ්ඩලය ඉහත කී කරුණු හා තවත් හේතු පදනම් කරගෙන තාක්ෂණික කමිටුවේ නිර්දේශ නොසලකා ටෙන්ඩරය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. මෙම අවිධිමත් විනිවිදභාවයෙන් තොර ක්‍රියාවලියට එකඟ නොවීමට අභියාචනා මණ්ඩලය කටයුතු කිරීම ඉතාම සාධාරණ බව අමාත්‍යංශය ආරංචි මාර්ග කියයි. අඩු වියදමින් කළ හැකිව තිබුණානම් ටෙන්ඩර් නොකැඳවා මෙම ව්‍යාපෘතිය විදුලි බල මණ්ඩලයට වැඩි අයිතියක් ඇති ලක්දනවි සමාගමට දීමට හැකියාව තිබියදී එසේ නොකර ටෙන්ඩර් කැඳවීම ප්‍රහේලිකාවක් බවද දැනගන්නට ඇත.

මේ අතර කෙරවළපිටිය යෝජිත විදුලි බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීනයේ ගෝල්ඩන් කොන්කෝඩ් හෝල්ඩින්ග්ස් සමාගමට ලබාදිය යුතු බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර කැබිනට් මණ්ඩලයට පසුගිය දා නිර්දේශ කර ඇති බවද දැනගන්නට තිබේ.

ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය නිර්දේශ කර තිබෙන ආකාරයට විදුලි බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට ප්‍රදානය කිරීම නුසුදුසු බවද එය චීන සමාගමට ලබා දිය යුතු බවද ඇමැතිවරයා සිය නිරීක්ෂණ මගින් දන්වා තිබේ. ලක්දනවි සමාගම අදාළ ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේදී බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනයේදී වැට් බදු හා ජාතිය ගොඩනැගීමේ බදු එකතු කර මිල ගණන් ඉදිරිපත් නොකිරීම ඇතුළු අඩුපාඩු සිදුකර ඇති නිසාද තවත් අඩුපාඩු නිසා ද කොන්ත්‍රාත්තුව ඔවුන්ට ලබාදීම නුසුදුසු බව ඔහුගේ අදහස වේ.

එහෙත් විදුලිබල මණ්ඩලය පවසන්නේ විදුලි ක්ෂේත්‍රයට ආනයනය කරන යන්ත්‍ර සූත්‍ර හා උපකරණ බදුවලින් නිදහස් බව විදුලිබල පනතේ දැක්වෙන නිසා ඇමැතිවරයාගේ නිරීක්ෂණය පදනම් විරහිත බවයි. ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ වාර්තාව අතිශය දෝෂ සහගත වන අතර එය නොමග යවනසුළු තොරතුරුවලින් පිරුණු එකක් බවද ඔවුන්ගේ අදහස වේ. බලාගාර ඉදිකිරීම පිළිබඳ ඉහළ අවබෝධයක් සහිත සාමාජිකයන්ගෙන් සමන්විත තාක්ෂණ කමිටුව අවම මිල ඉදිරිපත් කළ දේශීය සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළ යුතු බවට අවස්ථා හතරකදීම නිර්දේශ කර ඇති අතර කැබිනට් ප්‍රසම්පාදන කමිටුව එය අනුමත කර ඇති බවද කියයි. තවද මෙම ටෙන්ඩරයට අයදුම් කරන ලෙස ලක්දනවි සමාගමට ඇරැයුම් කර ඇත්තේ විදුලිබල අමාත්‍යංශ ලේකම්වරයා වන අතර ඔහුම එයට එරෙහි වීම ගැටලු සහගත බවද කියයි.

මේ අතර කෙරවළපිටියේ ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර ටෙන්ඩරය ලබාදීම තවදුරටත් දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා 2020 වසර වන විට රටේ විදුලි අර්බුදය උග්‍ර බවට පත්වනු ඇතැයි විදුලි විශේෂඥයන් පිරිසක් රජයේ කැබිනට් ඇමැතිවරුන් වෙත අනතුරු අඟවා ඇතැයි දැනගන්නට තිබේ.

බලාගාරය ඉදිකිරීම මේ වසරේ ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් අදාළ ටෙන්ඩරය පිළිබඳව මතුව ඇති ගැටලුකාරි තත්ත්වය නිසා එය ඉදිකිරීමේ දිනයක් ගැන හෝ සිතිය නොහැකි බවට පත්ව ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත. මෙය තවදුරටත් ප්‍රමාද වීම නිසා මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර ගැනීමේ අවස්ථාව රටට අහිමි වන බැවින් මෙම ගැටලුව ඉක්මනින් නිරාකරණය කිරීමට මැදිහත්වන ලෙස ඔවුන් ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

ලක්දනවි සමාගම බලාගාරයට ඉදිකිරීමට ටෙන්ඩරයේ අඩුම ලන්සුව ඉදිරිපත් කර තිබෙන අතර එම සමාගම මේ වනවිට කෙරවළපිටියේම මෙගා වොට් 350ක ද්විත්ව වක්‍ර විදුලි බලාගාරයක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර ඒ පිළිබඳ රජය අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දෙයි.

බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය ලබාදිය යුත්තේ ලක්දනවි සමාගමට වුවද අවසානයේදී එය වෙනත් සමාගමකට ලබාදීමේ සූදානම පිළිබඳ තම රට නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති, ජෝන් රෝහ්ද් පවසයි.

ටෙන්ඩර් කැඳවීම සිදු කළ අවස්ථාවේදී අඩුම ලංසුව ඉදරිපත් කළ ජර්මන් තාක්ෂණය භාවිත කරන ලක්දනවි සමාගම වන අතර එම සමාගමට ටෙන්ඩරය ලබා දීමට නියමිතව තිබී පසුව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේදී එම නිර්දේශ වෙනස් කර වෙනත් සමාගමකට ලබාදීමට තීරණය කර ඇති බව පවසන තානාපතිවරයා එම අසාධාරණ ක්‍රියාවලිය වෙනක් කළ යුතු බව ද පවසා ඇත. ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවෘත හා සාධාරණ තීරණයක් දෙන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහතිකයක් ලබා දී තිබියදීත් මෙවැනි තත්ත්වයක් උදාවීම කනගාටුදායක බව ඔහු කියා සිටී.

මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධික්ෂණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති පාරිභෝගික අයිතීන් සුරුකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ 2018 ජූලි 11 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ තම පෙත්සම පැය කිහිපයක කරුණු දැක්වීමෙන් පසු ලබන 17 දිනට කල්ගිය බවය.

තම පාර්ශවය අධිකරණයට පෙන්වා දුන්නේ මෙම කාරණය විධිමත්ව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් නොකර එකවරම ඇමැති මණ්ඩලයට අනුමැතිය පතා යැවීම වැරදි සහගත බවය. එසේම මෙම ටෙන්ඩරයට තාක්ෂණික ඇගැයුම් කමිටුව අනුමැතිය දී ඇත්තේ සියලු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමෙන් පසුව බවය. එසේම එය විධිමත් සාමාජිකයන්ගෙන් සමන්විත වන අතර අභියාචනා කමිටුව තාවකාලික පිහිටවූ එකක් වන බැවින් ඒ  අයට මේ පිළිබද පුළුල් විමර්ශනයකට අවස්ථාව නොලැබුණු බව ඔහු කියයි.

“මෙම කර්මාන්තය ලක්දනවි සමාගමට නොදී වෙනත් ආයතනයකට දුන්නහොත් එයින් පාරිභෝගිකයාට විශාල අසාධාරණයක් සිදුවෙනවා. ඔවුන්ට වැඩි මිලට විදුලිය මිලට ගන්න සිදුවෙනවා. ලක්දනවි සමාගමේ හදන විදුලි ඒකකයක මිල රුපියල් 14/ 98 වන අතර දෙවැනියට එන චීන සමාගමේ ඒකකයක මිල රුපියල් 15/ 99 වෙනවා. මෙම ව්‍යාපෘතිය වසරකට මෙගා වොට්ස් 2150කින් යුක්තයි. එක් විදුලිය ඒකකයකින් රුපියල් 1ක් පාඩු වෙනවා. වසරකට මිලියන 2150 පාඩුවෙන අතර ගණනය කළ අවුරුදු පනහට සිදුවන මුළු පාඩුව බිලියන 50කි.

මෙම ටෙන්ඩරය ඉදිරිපත් කළ ලක්දනවි ආයතනය කෙරවළපිටියේ මෙගා වොට්ස් 2300ක විදුලිබල ව්‍යාපෘතියක් නිමකර සිටිනවා. මෙවැනි වායු විදුලි බලාගාර 3ක් යෝජිත අතර ඉන් මුල් විදුලි බලාගාරය සාර්ථකව නිමකර දැන් විදුලිය නිෂ්පාදනය කරනවා. මේ ප්‍රශ්නගතව ඇත්තේ දෙවැනි ව්‍යාපෘතියයි. තවත් එකක් ඉදිරියේදී කළ යුතුව  තියෙනවා. මෙය නිම කළ පසුව අපේ විදුලි බලශක්ති ගැටලුවට යම් පමණක හෝ විසඳුමක් ලැබෙනවා.”

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්

“මෙම ටෙන්ඩරය ඉදිරිපත් කළේ ගෑස් සහ ඩීසල් යන දෙආකාරයටම  විදුලිය නිෂ්පාදනය කළ හැකි බලාගාරයක් සඳහායි. ඒ බව ටෙන්ඩර් පත්‍රකාවල සඳහන්. ඒ තාක්ෂණය අනුව ටෙන්ඩර් ඉදිරිපත් කළ හැක්කේ සැම්සුන් සමාගමට පමණයි. එය කොරියන් සමාගමක්. ඒත් සැම්සුන් සමාගමට එය ඉදිරිපත් කිරීමට යාමේදී විවිධ අසාධාරණකම් සිදුකළ බව දැන ගන්නට තිබෙන බව වගකීමෙන් යුතුව කියනවා. එහෙම කඩාකප්පල්කාරී වැඩ කළේ ඇතැම්  විදුලි ඉංජිනේරුවන්ද සම්බන්ධ කරගෙනයි. සුදුසු සමාගම් තරගයෙන් ඉවත් කරලා නීතියට පටහැනි ලෙස නුසුදුසු අයට අවස්ථාව දීමක් සිදුව තිබෙනවා.

ලක්දනවි සමාගමට අවශ්‍ය සුදුසුකම් නැහැ. ඔවුන් ඉදිරිපත් කළ මිලට දෙන්න බැහැ. එය ඇස්තමේන්තුවෙන් බාගයකට ටිකක් වැඩියි. මීට පෙරද මෙම සමාගම මිලියන 330ක් මිල සඳහන් කර තිබුණා. මෙලෙස ටෙන්ඩරය දීමට යන්නේ යටි අදහසක් ඇතුවයි. ලක්දනවි තමා ලොව  ලොකුම ඩීසල් විදුලි බලාගාර කරන්නේ. ඒ අය කොහොමහරි මෙම ව්‍යාපෘතිය ලබාගෙන එය අසාර්ථක කරලා වැඩි මිලට ඩීසල් විදුලිය අලෙවි කිරීමටයි මෙලෙස උත්සාහ කරන්නේ. ඒ අයට අවශ්‍ය අඩු මිලට මෙම ව්‍යාපෘතිය ලබාගෙන අතර මග ඉදි කිරීම් නවතා යළි ඩීසල්වලට යාමටයි. එහෙම නැති වුණොත් ඒ අයට යැපීමක් නැහැ. මේ උත්සාහය පසුපස මෙරට ප්‍රබල දේශපාලනඥයකු සිටින බව කිව යුතුයි. මෙම ලක්දනවි සමාගම මෙයට පෙර අපේ රටේ ව්‍යාපෘති 17ක් ටෙන්ඩර් මගින් ලබාගෙන තිබෙනවා. ඒත් කිහිපයක් හැරුණුවිට සියල්ල අතරමග නවතා තියෙනවා. මෙයින් සිදුවන පාඩුව කූප්‍රකට බැඳුම්කර වංචාවට වඩා හය ගුණයකින් විශාලයි.”

►යසවර්ධන රුද්රිගු