2018 ජුලි 14 වන සෙනසුරාදා

සුද්දාගේ කොඩියට හිස නොනමා වේවැල් පාර කෑ පෙරළිකාරයා ආචාර්ය බද්යුදීන් මහමුද්

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

වැලිගම කෝරළේ මහ නොතාරිස් අප්පුහාමි අවුරුදු 114ක් ජීවත්වීමේ භාග්‍යලත් කීර්තිධර ලාංකිකයෙකි. මුළුමහත් ප්‍රදේශය පුරා ඔහු කීර්තිනාමයක් දිනා සිටියේ රස කවි පබඳින්නෙකු ලෙසත්, කවට රසය සපිරුණු උද්‍යොගිමත් මිත්‍රශීලී කතාබහත් නිසාය. සිංහල, දෙමළ ද්විභාෂා චතුර ලෙස හසුරවන්නට සමත් වූ වැලිගම මහ නොතාරිස් නැතහොත් ‘නොතාරිස් හාජ්ජියාර්’ මුස්ලිම් ආගමික කවි සිංහලයට පෙරුළීම ගැන, ප්‍රසිද්ධියක්ද ඉසිළුවේය. අරාබි අප්පා නැතිනම් හජ්ජියාර් අප්පා හැටියටද ජනප්‍රසාදය දිනා උන් මේ කියන සායිද් මුස්තාෆා හෙවත් වැලිගම මහ නොතාරිස්ගේ පරම්පරාව අරාබිකරයේ අබාසිද් මුස්ලිම් අධිරාජ්‍ය සමය දක්වා දිවෙන අති පුරාණ පවුල් පසුබිමකට අයත්ය. අරාබිකරයෙන් ලංකාවට පැමිණ මාතර වැලිගම පදිංචි වූ මේ පරම්පරාවේ ඓතිහාසික පරිශ්‍රය වූයේ ‘මුකදාම් විතාර්’ ලෙස හැඳින්වුණු මන්දිරයයි. මේ නොතාරිස් රාළහාමිගේ දියණිය ෆාතිමා නාචිසා කරකාර බැඳදෙන්නේ තවත් එබඳුම බලපුළුවන්කාර පරම්පරාවක පුත්‍රයෙකු හටය. මාතර බ්‍රවුන්ස්හිල් ඇතුළු ටවුමේ ලොකු ප්‍රදේශයක අයිතිය අත්පත් කරගෙන සිටි සුලේමාන් ලෙබ්බේ මරිකාර් මතිචාම්ගේ පුත්‍රයා වන මහමුද් නයිනා මරික්කාර් හටය. ඉඩම් කඩම් හිමි වැවිලිකරුවකු හැටියට හොඳ ධනයක් වගා දිගා කරගෙන සිටි ඔහු කාටත් උදව් පදව් කරනා මහත්මයකු ලෙස නමක් දිනා සිටි අයෙකි. මේ නිසාම ප්‍රදේශයේ කාත් කවුරුත් ඔහු ඇමැතුවේ ‘මාතර මහත්තයා’ හැටියටය. මාතර මහත්තයාත්, වැලිගම කෝරළේ මහ නොතාරිස්ගේ දෝනියැන්දාත් කරකාර බැඳීමෙන් ඇතිවූ පවුල දරුමල්ලන් දොලොස් දෙනකුගෙන් යුතු සරුසාර එකකි. මේ මහා පවුලේ බාලයා වූයේ “බදී” ය. සිය හිතවත් පිරිස අතර “බදී” ලෙස ආදරයට හැඳින්වූ වැලිගම පවුලේ බඩපිස්සා පසුකාලයේ රටපුරා ප්‍රසිද්ධ වූයේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහා පෙරැළියක් සිදුකළ ආචාර්ය බද්යූදීන් මහමුද් හැටියටය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිංහල සහෝදරත්වය සංහිඳියාව, අනෝන්‍ය අවබෝධය ගොඩනැංවීමේලා ප්‍රබල කැපවීමක් කළේ ආචාර්ය බද්යුදීන් මහමුද් බව ඉතිහාසගත කරුණකි. ඔහු ලාංකීය ජන සමාජයේ කැපී පෙනෙන චරිතයක් වූ අතර මුස්ලිම් ජනප්‍රජාවට ආදර්ශවත් වූ ප්‍රබල පෙරගමන් කරුවෙකි. නාහෙට නාහන අධිරාජ්‍ය විරෝධී හැඟීම් දැරූ ඔහු අතිවිශිෂ්ට අධ්‍යාපනික පසුබිමක් සහිතව ලාංකීය දේශපාලනය තුළ නොමැකෙන සටහනක් තැබීමට සමත් වූ පරමාදර්ශී චරිතයකි.

බොහෝ දෙනා අද නොදන්නා නමුත්, සිංහලය රාජ්‍ය භාෂාව වියයුතු බව ප්‍රථමවරට යෝජනා කළේ මේ රුහුණු පුත්‍රයාය. අනාදිමත් කලෙක සිට පැවත එන මුස්ලිම් - සිංහල සහෝදරත්වය රැකගැනීම උදෙසා ලාංකිය මුස්ලිම්වරු සිංහලය ඉගෙනීම මගින් රට තුළ සංහිඳියාවත් අනොන්‍ය අවබෝධයත්, සාමය සහ සමාදානයත් ගොඩනැගෙන බවට අනාවැකි කීවේ ආචාර්ය බද්යුදීන් මහමුද්ය. ඉංග්‍රීසි ආණ්ඩුවට වැඩිකලක් නොයාම ලංකාවට නිදහස දීමට සිදුවන බවත් එවන් නිදහස් ලංකාවක පරිපාලන භාෂාව විය යුත්තේ බහුතරය භාවිතා කරන සිංහලය බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේ නොවී ඉංග්‍රීසිය රජ බස කළහොත් වරප්‍රසාදලත් අතලොස්සක් පරිපාලනයට හා රාජ්‍ය පාලනයට යොමුවීමෙන් රටේ ගැටලු මතුවිය හැකි බවටත් මුල්ම අනතුරු ඇඟවීම සිදුකර තිබුණේ ආචාර්ය “බදී” ය. එසේ කී ඔහු සිය මුස්ලිම් ප්‍රජාවට ප්‍රගතිශීලී නායකත්වයක් ලබාදී රටේ පරිපාලනයේ මහපුටු කරා එන්නට මංපෙත පෑදූ අතර රටේ අධ්‍යාපනයේ සුවිශේෂී වෙනස්කම් රැසක්ද සිදුකළේය. කාලයේ තාලයට රට ගෙන යන්නට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීමේදීද මුල්තැන ගත් ආචාර්ය බද්යුදීන් සෑමවිටම දේශීයත්වය ඇගැයූ තැනැත්තෙකුව කටයුතු කළ අයෙකි. පෙරැළිකාර ප්‍රගතිශීලී ජාන ඔහුට පරම්පරාවෙන්ම උරුමව තිබූ හැටියකි.

මාතර “මුකදාම් විතාර්” පාරම්පරික නිවසේදී ඒ වනවිට එකළොස් දෙනකු සිටි පවුලේ බඩපිස්සා ලෙස 1904 ජූනි 23දා ඉපිද දුසිම සම්පූර්ණ කළේ “බදී”ය. මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු ඒ කුඩා අවදියේම තමන් පෙරැළිකාර චරිතයක් බව සනාථ කළේය.

ඒ වනවිට “බදී”ට නැතිනම් බද්යුදීන් මහමුද් හට යාන්තම් වයස අවුරුදු 14කි. ශාන්ත තෝමස් විද්‍යාලයේ තරුණ සිසුන් අතර කැපී පෙනෙන තැනැත්තෙකි. ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසී තිබූ පාසල් පරිපාලනයේ නියෝග අනුව සම්ප්‍රදායික ලෙස “යුනියන් ජැක්” හෙවත් ඉංග්‍රීසි කොඩිය ඉදිරියේ හිස නැමීම තරයේ ප්‍රතික්ෂේප කරමින් විදුහල්පතිගේ වේවැල් කසායෙන් හොඳහැටි තෑගි ලැබූ “බදී” සිය මුල්ම පෙරැළිය අරඹන්නේ එලෙස එම විදුහලේදීය. පසුව කොළඹ වෙස්ලි කොලීජිය වෙත එලැඹෙන “බදී” ඉගෙනීමේ කටයුතුවලත් විෂයබාහිර කටයුතුවලත් කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. පාපන්දු, ක්‍රිකට්, බොක්සිං, මලල ක්‍රීඩා ටෙනිස් මෙන්ම කෙඩෙට් පුහුණුවද ලබන්නට කටයුතු කරන “බදී” වෙස්ලි විදුහලේදීද අධිරාජ්‍ය විරෝධියකු ලෙස සටහනක් තබන්නේය. ඒ වේල්ස් කුමරා ලංකාවට පැමිණි අවස්ථාවේදීය. වේල්ස් කුමරුගේ සවාරිය සමරන්නට පාසලේ සියල්ලෝ සැරුසී සිටියද “බදී” එදින පාසල් නොගියේ සිය අධිරාජ්‍ය විරෝධය සලකුණු කරමිනි. මේ සුද්දන් “නොදිරවන” විරෝධී ගතිගුණ නිසාම පසුකලෙක ඉන්දීය ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් එවකට රැන්ගුන් ලෙස හැඳින්වූ බුරුමය බලාගිය “බදී” හට පැය 24ක් තුළ රටින් පිටවීමට සිදුවිය. පසුකලෙක ලංකාවේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දේශීයත්වයට මුල් තැන දෙන අයුරින් වෙනස්කම් රැසක් කරන්නට ඔහු පන්නරය ලබන්නේ තමන්ගේ ශිෂ්‍ය අවදියේදීමය. ඒ ශිෂ්‍ය අවදියේම ඔහු ලංකා දේශපාලනයේ පෙරැළිකාර වෙනසක් කරන්නට සමත් වූ යුග පුරුෂයකු හා යාවජීව හැඳුනුම්කමද ගොඩනගා ගැනීමෙනි.

කේම්බ්‍රිජ් සීනියර් විභාගය කරන්නට කොළඹ සහීරා විදුහලට “බදී” එකතු විය. පත පොතට පමණක් සීමා නොවී සිය ශිෂ්‍ය සමය උද්‍යෝගිමත් අයුරින් ගෙවා දමන්නට කටයුතු කරන බදී පාසලේ ක්‍රීඩා අංශයේ මෙන්ම අනෙකුත් සමිති සමාගම්වලටද එක්ව කටයුතු කළේය. 1925 වසරේදී ඔහුට සිය දෛවෝපගත හමුවකට මුහුණ දෙන්නට අවස්ථාව උදාවෙයි. එවකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කීර්තිධර නමක් තබා ලංකාවට පැමිණ උන් ප්‍රගතිශීලී පෙරැළිකාර කථිකයකු මෙන්ම තරුණ දේශපාලන නායකයකු ලෙස ප්‍රසිද්ධිය ලත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මුණගැසීමත් සමගිනි. “බදී” ඒ වනවිට සහිරා විදුහලේ සාහිත්‍ය සංගමයේ ලේකම්වරයා වන අතර බණ්ඩාරනායක මහතා හට සහිරා සාහිත්‍ය සංගමය අමතා කතාවක් පවත්වන්නට යැයි ඇරැයුම් කිරීම සඳහා ගියේය. මේ හමුව සදාතනික මිත්‍රත්වයක් බවට පත්වූ අතර පසුව තදබල දේශපාලනික සන්ධානයක් ගොඩනැඟීමට හේතුවිය. බණ්ඩාරනායක නමත් ආචාර්ය බද්යුදීන්ගේ නමත් පසුකාලීන දේශපාලනයේ එකට කියැවුණු සුසංයෝගී නම් දෙකක් බවට පත්විණි. ප්‍රගතිශීලීන් වූ මේ දෙදෙනාම තම තමන්ට ආවේණික වූ රටාවන් තුළ තමන්ගේ ජනතාවට සේවය කිරීමට කැප වූ විශිෂ්ට ජනහිතකාමී නායකයන් දෙදෙනෙක් බවට පත්වූහ.

රටේ දේශපාලන ඉතිහාසයේ “බණ්ඩාරනායක පෙරුළිය” ලෙස සටහන් කළ හැකි පෙරැළියේදී බණ්ඩාරනායක මහතා අසලින්ම වූයේ “බදී”ය. එම පෙරැළිය ඇරුඹුණේ 1951දී බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව යාමත් සමගිනි. ශ්‍රීලනිපය හදන්නට තමන් හා එක්වන්නට යැයි බණ්ඩාරනායක මහතා ආරාධනා කළ ජනප්‍රභූන් අතර මුල්පෙළේ වූ චරිතයක් වූයේ “බදී”ය. පාසල් යන තරුණ අවදියේම තමන් හඳුනාගත් උද්‍යෝගිමත් ප්‍රගතිශීලී ශිෂ්‍ය සංවිධායකවරයා ඒ වනවිට තමන්ගේ ජනතාව නියෝජනය කරමින් ක්‍රියාශීලී නායකයකු බවට පත්ව සිටියේය.‘බදී’ එදා තමන්ට ලැබුණ ආරාධනය අනුව ශ්‍රීලනිපය නඟන්නට එක්වෙමින් එහි ආරම්භක ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරමින් මහඟු කැපවීමක් සිදුකළේය.

1956 ලංකාව තුළ සිදුවූ ඓතිහාසික දේශපාලනික බල පෙරුළියේ මුල් ගමන්කරුවකු ලෙස “බදී”ද ප්‍රණාම ලැබිය යුතුය. පක්ෂයේ ලේකම්වරයා ලෙස බණ්ඩාරනායක දර්ශනය රටපුරා ගෙනයන්නට අවශ්‍ය කැපවීම සිදුකළ අතර පරිපාලන කටයුතුවල යෙදෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමේ මහමොළකරු ලෙසද “බදී” මුල්තැන ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ තනතුරු නෙවේ. රටේ සහ ජනතාවගේ සුබසිද්ධිය සඳහා කැපවීමයි. මේ නිසා බණ්ඩාරනායක රජයේ ජාතික ප්‍රතිපත්ති සැලසුම් කොමිසමේ ප්‍රධාන ධුරයක් හොබවන අතර 1959 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයකු ලෙසද කටයුතු කළේය.

තමන්ට දේශපාලන තනතුරක් ලබාගැනීම කිසිසේත්ම ඔහුගේ අරමුණ නොවීය. ඒ වනවිට පුත්තලම දිනා සිටි එස්.එච්. ඉස්මායිල් හට කතානායක ධුරය ලබාදී මුස්ලිම් ප්‍රජාවට ආලෝකයක් අභිමානයක් ඇතිකරදීම “බදී”ගේ අභිප්‍රාය වී තිබුණි. පසුව ඔහු දේශපාලන තනතුරු භාරගන්නේ එයින්, සිය රටටත්, තමන්ගේ ජනතාවටත් කැපී පෙනෙන මෙහෙවරක් කරන්නට සිතාය. මේ නිසා ඔහු තෝරාගත්තේ තමන් හොඳින් දැන හඳුනා දස්කම් විස්කම් දක්වා තිබූ අධ්‍යාපනයයි.

බණ්ඩාරනායක මහතා ඛේදනීය ලෙස ඝාතනය කර දේශපාලන පොර පිටියෙන් ඉවත් කරන්නට කටයුතු යෙදුණ පසුව පිහිටුවන්නට යෙදුණු සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට “බදී” වෙත ආරාධනය ලැබුණි. බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැකගන්නටත් 56 පෙරැළියේ සැබෑ ප්‍රතිලාභ රටට ජනතාවට දෙන්නටත්, විශේෂයෙන්ම සිය ජනතාවට ආත්ම විශ්වාසයකින් යුතුව නැගී සිටීමට අත දෙන්නටත් ඕනෑ යැයි කල්පනා කළ “බදී” මේ අවස්ථාවේ රජයේ ප්‍රබල තනතුරක් වූ අධ්‍යාපන හා ගුවන් විදුලි ඇමැති ධුරය බාරගත්තේය.

රටේ බහුතර ජනතාවගේ ස්වභාෂාව රාජ්‍ය භාෂාව විය යුතු බවත්, ඉංග්‍රීසීන්ට පමණක් සින්නක්කරව ලියැවී තිබූ උසස් අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය ස්වදේශිකත්වය වෙත සමීප කළයුතු බවටත් තීන්දු කළ “බදී” එතෙක් අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වූ පෞද්ගලික පාසල්, සමාගම් පාසල් ජනසතු කළ යුතු බවට ප්‍රබල හඬක් නැංවූයේය. ඉන් අනතුරුව දුෂ්කර පළාත්වල අකුරු කරන ඌන පහසුකම් සහිත පාසල්වල සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී විශේෂ සහන සැලසිය යුතු බව කීවේය. සැමට සම අධ්‍යාපන අයිතිය ලබා දෙන්නටත්, එතෙක් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් පන්නයට හැඩගැස්වී තිබූ අපේ ‘විශ්වවිද්‍යාල’ ව්‍යුහය දේශීයකරණයට ලක් කරන්නටත් අවැසි ප්‍රතිපත්ති සැලැසුම් ක්‍රියාත්මක කළේ “බදී”ය. ඒ සඳහා මුලින්ම කළයුතු වූයේ පාසල් රජයට පවරා ගැනීමය. 1960 දී නැවත බලයට පත් ශ්‍රීලනිප රජය එකී භාරධූර වගකීම භාරදුන්නේ “බදී” වෙතටමය. මේ අභියෝගය ඔහු ජය ගන්නේ ඉතා සැලසුම්සහගත ලෙස ඇනුම් බැණුම් විවේචන මැද මහත් අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කරමිනි. මේ නිසාම වසර හතරක් ගතවන්නට පෙර 1964 වනවිට පාසල් ජනසතු කරණය සම්පූර්ණ කිරීමට අධ්‍යාපන හා ගුවන්විදුලි ඇමැති ආචාර්ය බද්උද්දින් මහමුද් හට හැකියාව ලැබී තිබුණි. ප්‍රගතිශීලී රජයේ ප්‍රමුඛ වෙනසක ප්‍රතිලාභ රටේ සිසු පරපුර වෙත ළඟාවෙමින් තිබුණි.මේ සියල්ල සඳහා පන්නරය ලැබෙන්නේ දකුණු ආසියාවේ ඔක්ස්ෆර්ඩ් විදුහල ලෙස ප්‍රසිද්ධව තිබූ ඉන්දියාවේ සුප්‍රකට අලිගාර් විශ්වවිද්‍යාලයට ගිය තරුණ සිසු නායකයකුගේ උපන්ගෙයි දක්ෂතාවට අනුවය.

ලබන සතියට
►සුගත් පී. කුලතුංගආරච්චි