

පසුගිය 10දා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ විශේෂ බෝධි පූජාවක් සංවිධානය කර තිබුණි. තායිලන්ත ලෙනෙහි සිරවී සිට බේරාගත් දරුවන්ට ආශීර්වාද පැතීම සහ එම මෙහෙයුමේදී මියගිය තායි නාවික සීල් භටයාට පිං පැමිණවීම සඳහාය. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලාමතී චන්සුවන් මහත්මිය ඇතුළු පිරිසක් ඊට සහභාගි වී සිටියහ.
පසුගිය සති දෙකක කාලය තුළ ලෝකයම දෑස් දල්වා බලා සිටි මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ අපටද කෙතරම් බලපෑවේද යන්න ඉහත සිද්ධියෙන් පෙනේ. එමෙන්ම ලාංකිකයන් මේ බෞද්ධ රටේ අතුරුදන් වූවන් ගැන කෙතරම් කරදර වීද යත් ලෝකයේ ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් වැඩිපුරම ඔවුන්ගේ දුක සැප සොයාබැලූ දෙවැනි රට බවට පත්ව ඇත්තේද (පළමු තැන සිංගප්පූරැව) ශ්‍රී ලංකාවයි.
දිනය පසුගිය ජූනි මස 23දාය. තායිලන්තයේ වයිල්ඩ් බෝර්ස් (Wild Boars) නම් පාපන්දු කණ්ඩායමේ වයස 11-16 අතර ලාබාල ක්‍රීඩකයන් 12 දෙනකු සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු පාපන්දු පුහුණුව අවසන් වීමෙන් පසුව පාපැදිවලින් අපූරු අත්දැකීමක් විඳ ගැනීමට ගියහ. ඔවුන් ගියේ මේ තාම් ලුවා නමින් හැඳින්වෙන සුප්‍රකට ගල්ගුහා සංකීර්ණය වෙතය. එම ගුහා කි.මී. 10ක දුරක් කඳුවැටිය අභ්‍යන්තරයට දිව යයි. අරමුණ වූයේ හිරිගල් ගුහාව තුළදී කණ්ඩායමේ සාමාජිකයකුගේ උපන්දිනය සැමරීමයි.
උපන් දින සැමරුමට අවශ්‍ය ආහාර වර්ගද රැගෙන පිරිස ගුහා සංකීර්ණයට ඇතුළු වී තිබේ. ඒ තායිලන්තයේ මෝසම් වැසි සමයේ දිනකි. මේ වැස්ස ලොව ඉහළම වර්ෂාපතනයක් තායිලන්තයට පතිත කරයි. තායිලන්තයේ සුප්‍රකට සංචාරක පාරාදීසයක් වන පතායා වෙරළ තිබෙන්නේ ගුහා සංකීර්ණයට ඉහළිනි. වැඩියෙන් එකතු වන ජලය ගලා යන්නේ ගුහාව හරහාය. මහවැස්ස ඇද හැලී ගුහා සංකීර්ණය ජලයෙන් පිරෙන්නට පටන්ගෙන තිබේ. මේ නිසා ඔවුන් ගුහාවට ඇතුළු වූ මුවවිට වැසි දියෙන් වැසෙන්නට වූ අතර පාපන්දු කණ්ඩායමට කළ හැකිව තිබුණේ ආරක්ෂිත ස්ථානයක් සොයා තවදුරටත් ගුහාව ඇතුළට ගමන් කිරීමට පමණි. අවසානයේ ඔවුන් කි.මී. 4ක් පොළොව අභ්‍යන්තරයට ගුහාව ඔස්සේ ගමන්කර තිබුණි. සීඝ්‍රයෙන් ඉහළ යන ජල මට්ටම හමුවේ ඔවුන්ට රැඳී සිටීමට ඉතිරිව තිබී ඇත්තේ වර්ග මීටර් 10ක වැලි පරයක් පමණි.
අවට ලෝකයෙන් ඔවුන්ගේ සබඳතා ගිලිහුණි. දිවා රාත්‍රිය ගැන හැඟීමක් නැති විය. තමන් මුහුණ දී සිටින මාරාන්තික අවස්ථාව ඔවුහු අවබෝධ කරගෙන සිටියහ. තමන් සාදයට ගෙන ගිය ආහාර ඔවුහු පරෙස්සමෙන් භාවිත කළහ. තම සිරුරේ උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීම මෙන්ම ශරීර ශක්තිය ආරක්ෂා කරගත හැකි උපක්‍රමද තරුණ පුහුණුකරුවා දරුවන්ට උගන්වා තිබේ. එහෙත් ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳේ දැයි කිසිවෙක් දැන සිටියේ නැත.

එලෙස මිහි තුළ 13 දෙනෙක් සැඟව සිටින අතර මිහිමත සිටින ඔවුන්ගේ දෙමාපියන් පුහුණුවට ගිය තම දරුවන් නැවත නොපැමිණීම ගැන පොලීසියට පැමිණිලි කර තිබුණි. පොලීසිය ඒ ගැන තොරතුරු සොයන්නට පටන්ගත් අතර තායිලන්ත වනෝද්‍යාන දෙපාර්තමේන්තුවේ රේන්ජර්වරයකු ගල්ගුහා සංකීර්ණය අසලට පැමිණියේ ඒ අතරය. ඔහු ගුහා සංකීර්ණයට ඇතුළුවන ස්ථානයේ පාපැදි සහ පාවහන් තිබෙනු දැක ඒ ගැන සිය දෙපාර්තමේන්තුව සහ පොලීසිය දැනුම්වත් කළේය. ඉන්පසු පාපන්දු කණ්ඩායම අතුරුදන් වී ඇත්තේ ගුහාව තුළ බව දැනගත් ප්‍රදේශය භාර වනෝද්‍යාන අධ්‍යක්ෂවරයා සහ පොලිස් ප්‍රධානියා චැන්ග් පායි ප්‍රාන්තය බාර ආණ්ඩුකාරයාගෙන් පිරිස සෙවීමට උපකාර ඉල්ලුවෝය.
තායි පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව ආදී සෑම අංශයකින්ම ආධාර උපකාර සහ සහයෝගය ලැබෙන්නට වූ අතර, ජූනි 25දා වනවිට තායි රජයේ ඉල්ලීම පරිදි අමෙරිකානු නාවික සෙබළුන් 30 දෙනෙක්ද තායිලන්තයට පැමිණියහ. 25දා වනවිට 800ක පමණ පිරිසක් ගුහා මෙහෙයුමට සම්බන්ධ වී සිටියහ. දරුවන්ගේ දෙමාපියන්ද ඒ අසලට පැමිණ තම ලෙයින් උපන් දරුවන් දැකගැනීමට කූඩාරම් ගසා ගත්හ. මේ වනවිට ජූනි 24දා ගුහාවේ සිට කි.මී. 3ක් දුරින් ගමන්මළු සහ ඉටිපන්දම් කිහිපයක්ද සොයාගෙන තිබුණි. එහෙත් වර්ෂාව නිසා උමඟ තුළ ජල මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පැවතුණි.
ජූනි 25දා වනවිට තායිලන්ත නාවික සීල් භටයෝ උමං මාර්ගයේ බිත්තිවල තිබී අඩි සලකුණු කිහිපයක් සොයාගත්තෝය. උමගේ ජලය පිටතට පොම්ප කිරීමද මෙදින ආරම්භ කෙරිණි. ඒ අතර හෙලිකොප්ටර් යොදාගෙන උමඟට ඇතුළු විය හැකි වෙනත් මාර්ගයක් තිබේද යන්න සොයාබැලීම ඇරඹුණේය. ලෝකයේම ජනමාධ්‍ය මේ සිද්ධියට තම අවධානය ලබාදී තිබුණි.


ජූනි 27දා වනවිට නාවික හමුදාව, පාබල හමුදාව හා ස්වේච්ඡා සේවකයන් ඇතුළු දහසක පිරිසක් සෙවීමේ කටයුතුවලට එක්ව සිටියහ. අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ උමං කිමිදුම් විශේෂඥයන්ද තායිලන්තයට පැමිණ මෙහෙයුමට සම්බන්ධ වී සිටියහ. ජූනි 29 දා වනවිට චීනයේත් ජූනි 30 වනවිට ඕස්ට්‍රේලියාවේත් විශේෂඥ පිරිස් ගුහා සංකීර්ණයට පැමිණ සිටියහ. මියන්මාරය, ලාඕසය, ස්වීඩනය ආදී රටවල් රැසකින් කිමිදුම් විශේෂඥයෝ පැමිණියහ. ඒ අතර පාපන්දු කණ්ඩායමේ දරුවන්ගේ දෙමාපියන්, ඥාති මිත්‍රාදීන් ඇතුළු සමස්ත තායිලන්තය පමණක් නොව ලෝකයේ බොහෝ රටවල්ද දරුවන්ගේ ආරක්ෂාව පතා විවිධ ආගමික වතාවත්වල නිරත වෙමින් සිටියහ. මේ අතර වර්ෂාව වැඩිවීම නිසා මෙහෙයුම සමහර අවස්ථාවලදී නතර කෙරිණි. ගුහාවෙන් ජලය ඉවත් කිරීමද සාර්ථක උපක්‍රමයක් නොවීය.
පිරිස හමුවෙයි
අතුරුදන්වීමෙන් දින 8කට පසු ජූලි 2දා තායිලන්ත වේලාවෙන් රාත්‍රී 8.00ට පමණ ලෝකයම සතුටු කරන පුවතක් අසන්නට ලැබුණි. ඒ අතුරුදන් කණ්ඩායම නිරිපද්‍රිතව ගුහාව තුළ සිටින බවයි. ඒ දරුවන් සොයාගත්තේ බ්‍රිතාන්‍ය කිමිදුම් විශේෂඥයන් වන රිචඩ් ස්ටැන්ටන් (අවු.56) සහ ජෝන් වේලැන්දස් (අවු.47) විසිනි. ඒ සමඟම දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමේ බලාපොරොත්තු යළිත් ඉහළ නැංවිණි. ඔවුන් හමුවූයේ ගුහා විවරයේ සිට කි.මී. 4ක දුරකින් පතායා වෙරළේ සිට මීටර් 400-650 අතර ගැඹුරකිනි. නමුත් ඔවුන් සිටින ස්ථානයට යාමට සමහර තැන්වලදී ඉතා පටු විවරවලින් ගමන් කිරීමට සිදුවන නිසා ගැඹුරු කිමිදුම් පුහුණුවක් නැති ළමුන් පිරිස ආපසු රැගෙන ඒම පිළිබඳ ප්‍රශ්න මතුවිය. ළමුන් එකා බැගින් පිටතට රැගෙන ඒම සඳහා කිමිදුම්කරුවන් අඳුරු ලෙන ඔස්සේ කි.මී. පහක දුරක් යා යුතු අතර එය පැය 6ක කාලයක් ගතවන්නකි.
ආහාර ඖෂධ ලබාදෙයි
දින ගණනක් තිස්සේ නිරාහාරව සිටින දරුවන්ට සහ පුහුණුකරුට අවශ්‍ය ආහාර, ශරීර උෂ්ණත්වය ආරක්ෂා කරන පොරෝනා, ඇතිරිලි, ඖෂධ, අවශ්‍ය වුවහොත් ඔක්සිජන් ආදිය ඔවුන් සිටින ස්ථානයට කිමිදුම්කරැවන් හරහා යැවීම ආරම්භ විය. ඕස්ට්‍රේලියා වෛද්‍යවරයෙක්, හෙද සේවකයෙක් සමඟ 7 දෙනෙකුගෙන් යුත් කිමිදුම් කණ්ඩායමක් ද පිටත්කර හැරිණි.
සීල් භටයෙක් දිවි පුදයි
දින 6ක් තිස්සේ පැවති සැපයුම් මෙහෙයුම අතරතුර තායිලන්ත නාවික හමුදාවේ 38 හැවිරිදි සමන් ගුනාන් දරුවන්ට අවශ්‍ය සැපයුම් ලබාදී ආපසු එන අතරතුර මරණයට පත්විය. “ඔහුගේ කාර්යය වුණේ ඔක්සිජන් ගෙන යාම. ආපසු ඒමේදී ප්‍රමාණවත් ඔක්සිජන් ඔහු සතුව තිබී නැහැ.” හමුදා නිලධාරියෙක් ඒ ගැන පැවසීය. ගුනාන් නාවික හමුදාවෙන් ඉවත් වී සිටි කිමිදුම්කරුවකු වුවද මෙම මෙහෙයුමට සම්බන්ධ වීමට ස්වේච්ඡාවෙන් පැමිණි අයෙකි. මේ අතර මෙහෙයුමට කිමිදුම් විශේෂඥයෝ 90 දෙනෙක් එක්ව සිටියහ. ඒ අතරින් 50 දෙනෙක් විදේශිකයෝ වෙති. මේ වනවිට අවශ්‍ය උපකරණ ගුවන් මගින් තායිලන්තයට රැගෙන විත් තිබුණි.

දරුවන් ගලවා ගැනීම ඇරඹේ
ඉරිදා (8දා) උදේ 10.00ට පමණ ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කිරීමට තායිලන්ත නාවික හමුදා බලධාරීහු තීරණය කළහ. තායි සීල් භටයන් 5 දෙනෙක්, බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු කිමිදුම්කරුවෝ 15 දෙනෙක් ක්‍රියාන්විතයට එක්වූහ. “මේ දරුවන් ආපසු රැගෙන ඒම ඉතාම අවදානම් වැඩක්. ආපසු එන ගමන අනතුරුදායකයි. තවත් දින දෙකකින් මෝසම් වැසි වැඩිවෙනවා. එවිට දරුවන් රැඳී සිටින ස්ථානයත් යටවීමට පුළුවන්. “බ්‍රිතාන්‍ය කිමිදුම් විශේෂඥයෝ දරුවන්ගේ දෙමාපියන්ට පැහැදිලි කළහ. මෙහෙයුමට දෙමාපියන්ගේ එකඟතාව ලැබුණි.
දරුවන් සිව් දෙනෙක් පළමුව මුදා ගැනීමට තීරණය කළ අතර ඔවුන්ගේ ඔක්සිජන් ටැංකිය රැගෙන යාමට එක් කිමිදුම් විශේෂඥයෙක් බැගින් යොදවා තිබුණි. ඒ අතරම ආපසු පැමිණීමේදී කිමිදෙන අන්දම ගැන දරුවන්ට පුහුණුවක් ලබාදීමද සිදුවිය. ඉරිදා සවස 5.40-7.50 අතර පළමු දරුවන් සිව්දෙනා මුදවාගෙන පිටතට පැමිණීමට කිමිදුම්කරුවෝ සමත්වූහ. එය ලෝක ජනමාධ්‍යයන්හි සටහන් වූ අතිශය හැඟීම්බර අවස්ථාවක් විය. මුදාගත් දරුවන් වහාම හෙලිකොප්ටර් මගින් චියැන්ග් රායි රෝහලට ඇතුළත් කළහ.
මේ අතර දරුවන් මුදවා ගැනීමටම සැකසූ විශේෂ කුඩා සබ්මැරීනයක් අමෙරිකාවේ කැලිෆෝනියාවේ පාසලක කිමිදුම් තටාකයේ පරීක්ෂා කරමින් තිබුණි. පසුගිය ජූලි 9 වැනි සඳුදා තවත් දරැවන් 4 දෙනෙක් ගලවා ගැනීමට සමත් වූ අතර ඔවුන් බැලීමට ඉඩදුන්නේ දෙමාපියන්ට හා ඥාතීන්ට පමණි. ජූලි 10 අඟහරුවාදා ඉතිරි දරුවන් පිරිස සහ පුහුණුකරු පිටතට රැගෙන ඒම සිදුවිය.
දරුවන් හා පුහුණුකරු මේ වනවිට රෝහල්ගත කර ඇත. නිරෝධායන තත්ත්ව යටතේ සිටින ඔවුන් බැලීමට දෙමාපියන්ට හෝ අවස්ථාවක් නැත. මේ අතර පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ගුහාව තුළ සිටියදීම දරැවන්ගේ දෙමාපියන්ට ලිපියක් ලියමින් තමන් අතින් සිදුවූ වැරැද්දට සමාව ඉල්ලා සිටීම ලෝක නායකයන්ගේ පවා පැසසුමට ලක් විය.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට
ඔව්. දැන් ලෝකයම බලා සිටි සතුටු කඳුළින් නිම වූ ගලවා ගැනීමේ මෙහෙයුම අලුත් අතකට හැරී තිබේ. මේ වනවිටත් Pure Flix Entertainment නම් හොලිවුඩ් සිනමා සමාගමේ සම හිමිකරු මයිකල් ස්කොට් තායිලන්තයට ගොස් සිටින්නේ මෙම අපූරු කතාන්දරය සිනමාවට නැගීමට අවශ්‍ය අවසරය ලබාගැනීමටය. “අපි මේ වෙනකොටත් නළුවන් සමඟ පිටපත් රචකයන් සමඟ වගේම නිෂ්පාදකයන් එක්කත් සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. තායිලන්ත නිෂ්පාදකයොත් සමහරවිට අපිත් සමඟ එකතු වේවි.” ස්කොට් පවසයි. මේ අතර ඩිස්කවරි නාලිකාව තායි පාපන්දු කණ්ඩායම ගලවා ගැනීම ගැන පැයක වාර්තා විචිත්‍රාංගයක් කිරීමට තීරණය කර තිබේ.
දරුවන් ලෝක කුසලානයට
දරුවන් 12 දෙනා සහ පුහුණුකරු ජූලි 15 දා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට ආරාධිතයන් ලෙස සහභාගි කරවා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆන්තිනෝ සඳහන් කර සිටී. ජාත්‍යන්තර පාපන්දු පිටියේ ඉහළම පෙළේ ක්‍රීඩකයන් රැසක් මේ වනවිට ධෛර්යමත් බවේ සංකේතයක් වන මේ දරුවන්ට සහ පුහුණුකරුට සහයෝගය පළකර ඇති බව වාර්තාවේ. ඉන්ෆන්තිනෝ විසින් අදාළ ආරාධනාව සහිත ලිපිය මේ වනවිටත් තායිලන්ත පාපන්දු සම්මේලනයේ ප්‍රධානියාට යවා තිබේ.
ගලවා ගැනීමේ මෙහෙයුම ලෝකයේම මානුෂිකත්වය එකට එක්වූ තවත් දුලබ අවස්ථාවක්ද සනිටුහන් කළේය. ලොව බොහෝ රටවල් තායිලන්තයට තම සහයෝගය පළ කළේ හැකි ඕනෑම උදව්වක් කිරීමට සූදානම් බව පවසමිනි.
මේ වනවිටත් තායිලන්තයට, ගලවා ගැනීමේ මෙහෙයුමට එක්වූ කිමිදුම් විශේෂඥයන්ට සුභ පතමින් සහ මියගිය සීල් භටයාට ආචාරය පළ කරමින් ට්විටර් පණිවුඩ සහ ෆේස්බුක් පණිවුඩ ලක්ෂ ගණනින් හුවමාරැ වෙමින් පවතී.
♦ කුසුම්සිරි විජයවර්ධන