
ජාතික රුධිර පාරවිලයන සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍ය වැඩවර්ජනයක් අරඹා අඛණ්ඩව හා දීපව්‍යාප්තව සිදුකිරීමට සූදානමක් පැවතියේ එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිවය. පසුගිය 8-9 දෙදින පුරාවට පැවැති වර්ජනය හදිසියේ අත්හිටුවා තිබුණේ එම වෛද්‍යවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ලැබුණු ස්ථාන මාරුව හේතුවෙනි. ජාතික රුධිර පාරවිලයන සේවාවේ සිදුකරන අක්‍රමිකතා, වංචා හා දූෂණ රැසකට එරෙහිව පෙළගැසුණු රජයේ වෛද්‍ය සංගමයට අනුබද්ධ ශාඛා සමිතිය වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සිදුකළ බව පැවසෙන අයථා ක්‍රියා රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබේ.
පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ හෙතෙම 2017 වර්ෂය අවසානයේදී ජාතික රුධිර පාරවිලයන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස එක්ව සිටින්නේ එතෙක් වැඩ තහනමකට ලක්ව සිටියදීය. ඔහු එවැනි වැඩ තහනමකට ලක්වීමට සිදුව තිබුණේ වර්තමාන ජනාධිපතිවරයාට එරෙහිව අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීමේ චෝදනාව යටතේ බව වෛද්‍ය නිලධාරි සංගමයේ ලේ බැංකු ශාඛාව කියයි. මොහු අදාළ තනතුරට පත්වන අවස්ථාවේ එම සේවයේ අධ්‍යක්ෂකවරයා ස්ථාන මාරුවක් ලබා සිටි බැවින් ඔහු අධ්‍යක්ෂකවරයාගේ බලතල මත කටයුතු කිරීමට අවස්ථාව ලබාගෙන ඇතැයි කියති.
මේ ආකාරයට ලංකාවට අවශ්‍යතාවයක් නොමැති මෙරට ප්‍රතිකාර සිදුනොකෙරෙන එන්.ජී.එස්. (Next Generation Sequencing) නම් උපකරණය ගෙන්වීම සඳහා රැපියල් මිලියන 160 ක් වැයකිරීමට ලේඛන සැකසීම, අධිශීතකරණ අලුත්වැඩියාව සඳහා කියමින් ලක්ෂ 730 ක් වැයකිරීමට ඇස්තමේන්තු සැකසීම, තාක්ෂණික ඇගයීමේ කමිටුවල කටයුතු සඳහා අයථා ලෙස මැදිහත් වෙමින් සිය හිතවතුන්ට ටෙන්ඩර් ලබාදීමට උත්සාහ ගැනීම, අක්‍රමවත් හා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු සිදුකිරීම, ඇගයීම් කමිටුවලට බලහත්කාරයෙන් මැදිහත් වී පෞද්ගලික සමාගම් සමඟ අයථා ගනුදෙනු සිදුකිරීම, ජාතික රුධිර මධ්‍යස්ථාන ප්‍රසම්පාදන ක්‍රියාවලියට මැදිහත් වී අත්‍යාවශ්‍ය ටෙන්ඩර් කිහිපයක් අත්හිටුවීම ඇතුළු චෝදනා රාශියක් ඔහුට එරෙහිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ජාතික රුධිර පාරවිලයන සේවයට නව තාක්ෂණය හඳුන්වාදෙමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි. එළැඹී තිබුණේ එහි අවසාන අදියරටය. එම කටයුත්තේ නියෝජිත ආයතනය වශයෙන් ෆෝසයිට් ඉංජිනියරින් ආයතනය කටයුතු කළේය. එකී අරමුදලේ අවසන් වශයෙන් ඉතිරිව ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියනයක් පමණය. එකී මුදල්වලින් රුපියල් මිලියන 160 ක් වියදම් කර එන්.ජී.එස්. උපකරණය ලබාගැනීම සඳහා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙර කී ආයතනයට ලිපියක් යවා තිබූ බව සඳහන් වේ. එම ලිපිය යොමුකර ඇත්තේ නියමිත ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය සහමුලින්ම උල්ලංඝනය කරමිනි. අදාළ ලිපිය මගින් උපකරණය සමඟ ඊට වසර තුනකට අදාළ ප්‍රතික්‍රියක (Regent) ලබාගන්නා ලෙසද දන්වා ඇත්තේ ඉහළ මිලකට එහි වටිනාකම සඳහන් කරමින් බව කියති.
ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂ කමිටුවක් මගින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට අදාළ භාණ්ඩ මිලට ගැනීම සඳහා අනුමැතිය ලබාදුන් බවට ව්‍යාජ තොරතුරු පෙන්වා ඇති බවටත් ඔහුගේ ප්‍රධානම අරමුණ වී තිබුණේ Premium international යන සමාගම හරහා උපකරණ තොගය ගෙන්වීම බවත් පැවසේ. ඒ සඳහා වැයකිරීමට සූදානම් වූ මුදල රුපියල් කෝටි 16 කි. ඔහු අත්තනෝමතිකව සිදුකරන්නට තීරණය කර තිබූ එම මිලදී ගැනීමෙන් වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 4 ක් වන උපකරණයට අමතරව රුපියල් කෝටි 12 ක් වැයකිරීමට සිදුවෙයි. එම මිලදී ගැනීම තනිකර ගසාකෑමක් බවට චෝදනා එල්ලවෙයි.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙකී මිලදී ගැනීම සිදුකිරීමට සැලසුම් කර තිබුණේ අදාළ මුදල මගින් කළ යුතු නියමිත කාර්යයන් පිළිබඳ කැබිනට් අනුමැතිය ලබාදී තිබියදී බවද සඳහන්ය. මේ සඳහා රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ලබාදී තිබූ ලිපියක දිනයට සමගාමීව ඔහු විසින් නිර්මාණය කළ ලිපියක දිනය ව්‍යාජ ලෙස වෙනස් කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති අතර එය ඔහුගේ අත්අකුරින් සිදුකර ඇත්තේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ වෛද්‍යවරියට දැඩි තර්ජනයක් එල්ල කිරීමෙන් පසුව බවටද චෝදනා එල්ලවෙයි. අදාළ කටයුත්ත තමාගේ වුවමනාවට නොව දේශපාලනඥයකු හෝ ඥාති සොහොයුරකුගේ අවශ්‍යතාවය මත සිදුකරන බව ඔහු පවසා ඇතැයිද කියති.
ජාතික රුධිර පාරවිලයන සේවා ශාඛාවල පවතින අධිශීතකරණ අලුත්වැඩියාව සඳහා ටෙන්ඩරයක් වෙනුවෙන් රුපියල් මිලියන 73 ක් වෙන් කිරීමට උත්සාහ කිරීම එවැනිම ආකාරයක අක්‍රමිකතාවක් බවද සඳහන් වේ. මේ ටෙන්ඩරයද පෙර කී Premium international සමාගමට ලබාදීමට උත්සාහ කර ඇති අතර එතරම් මුදලක් එම ආයතනයට ලබාදීමට සූදානම්ව ඇත්තේ දැනට පවතින ශීතකරණ හෝ ක්‍රමවත් අලුත්වැඩියාවක් නොකරන පසුබිමක වීම සැකයට තුඩු දී තිබේ.
ජාතික රුධිර පාරවිලයන සේවය මගින් අතිරික්ත ප්ලාස්මාව විවෘත ටෙන්ඩරයක් මගින් මිල කැඳවා විකිණීම සිදුකරයි. පසුගියදා එම ටෙන්ඩරය සඳහා ඒකකයට වැඩිම මිලක් වන රුපියල් 5600ක මුදල දක්වා තිබුණේ ඒ.බී.සී. ෆාමා (ABC Pharma) නම් ආයතනයකි. තවත් ආයතනයක් වන Premium international ආයතනය දක්වා තිබුණේ ඒකකයක් සඳහා රුපියල් 4650 කි. ABC Pharma ආයතනය වැඩි මිලකට ඉල්ලා තිබුණද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන Premium සමාගමට එය ලබාදෙන්නැයි තාක්ෂණික ඇගයුම් කමිටුවට බලකර ඇත. ඔහුගේ මතයට අනුව ටෙන්ඩරය ලබාදුන්නේ නම් රජයට වසරකට සිදුවන පාඩුව රුපියල් මිලියන 40 ක් පමණය.
මෙවැනි අකටයුතුකම් සඳහා සහාය නොවන සෙසු නිලධාරීන්ට අක්‍රමවත් ආකාරයට ස්ථාන මාරුවීම් ලබාදීමට වෛද්‍ය රැක්ෂාන් කටයුතු කළ බවත් ඒ අනුව රට පුරා පිහිටි ලේ බැංකු 107ක නීතිගරැක නිලධාරීන්ට මාරැවීම් ලබාදීමට ඔහු ක්‍රියාකළ බවටත් චෝදනා එල්ලවෙයි. සිය හිතවතුන්ගේ හා ඉහළ නිලධාරීන්ගේ වුවමනාවට එම මාරුවීම් ලබාදී ඇති බවත් කියති.
පසුගිය සතිය වනතුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලහත්කාරයෙන් මැදිහත් වීමට උත්සාහ දරා ඇති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තම හිතවත් සමාගම්වලට ටෙන්ඩර ලබාදීමට නොහැකි නම් එවැනි ටෙන්ඩර් කිහිපයක්ම ඔහු විසින් අත්හිටුවා ඇතැයිද කියති. මේ හේතුවෙන් ඉදිරි දිනවලදී රුධිර ගණන පරීක්ෂණ, සැසඳුම් පරීක්ෂණ සහ වකුගඩු සැසඳුම් පරීක්ෂණ නතරවීමේ අවදානමක් උද්ගතව ඇතැයිද වාර්තා වේ.
ඒ සියල්ලට වගකිවයුතු වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව නැගි විරෝධතා සහ වැඩවර්ජන නිසා සේවාස්ථාන මාරැවක් ලැබූ ඔහු මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා-01 යටතේ උසස් තනතුරකට පත්ව සිටී.
ඒකාධිකාරිය කැඩුවාට මට බොරු චෝදනා කරනවා
එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පිළිතුරු දුන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙසේ කියයි.
මම එතන සේවයට ගිහින් මාස හයයි. මම යද්දි අවුරුදු 10 – 15 ක් එතන සේවය කළ නිලධාරීන් හිටියා. එතන ඒකාධිකාරයක් හදාගෙන තිබුණා. මාස හයට මම හොරකම් කළාද නැත්නම් සිදුවෙමින් තිබූ වංචාවලට වැට බැන්දාද කියලා අහන්න පුළුවන්. ඔතන විශේෂඥ වෛද්‍යවරුන් 29ක් ඉන්නවා. ඒ අයගෙන් විමසන්න පුළුවන්. පරණ හිටපු නිලධාරීන් පිරිසක් එක්තරා පෞද්ගලික සමාගම් කිහිපයකට උදව් කරන්න හදනවා. අපි යම් උපකරණයක් මිලට ගනිද්දි ඒවායේ සේවා ගිවිසුමක් අත්සන් කරනවා. නැත්නම් කැඩුණු වෙලාවට හදන්න බැරි වෙනවා. ඒකයි ක්‍රමවේදය. මම එහෙම ක්‍රියා කළා. මට ටෙන්ඩර් පාස් කරන්න බලය තිබුණේ උපරිම මිලියන 10ක් පමණයි.
ඒකෙනුයි මම මිලියන 5 – 7 අතර අනුමත කරලා ඇති. ඊට වඩා ගිහින් නෑ. ඊට එහා ගනුදෙනු සඳහා බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට පමණයි. නමුත් මේ පිරිසක් එකතු වෙලා මම හොරෙක්, වංචාකාකරයෙක් කරලා. ඒකට ඇතැම් මාධ්‍යවල සහාය අරගෙන.
නෙදර්ලන්ත ව්‍යාපාරයකින් මුදල් ලැබී තිබුණා. ඒකේ ඉතිරි මුදල ජුනි 30 අවසන් වෙනවා කියලා ජුනි 5ට පෙර මිලදී ගැනීම් හෝ අවශ්‍ය කටයුත්තකට යොදවන්න කියලා වෛද්‍යවරුන් මගෙන් ඉල්ලුවා. ඔවුන්ගේ ඉල්ලීම අනුව එන්. ජී. එස්. උපකරණය ගන්න එකඟ වුණා. හදිස්සියේම ඒ අය ඇවිත් කීවා මේක ගන්න එයා අවශ්‍ය නෑ කියලා. ඒ තත්ත්වය මත වුවමනා වුණේ අඩු කාලයකින් ඉක්මන් තීරණයක් ගැනීමයි. ඒ අයගේ ක්‍රියාකලාපය නිසා මට ඇත්තටම කේන්ති ගියා. මම එයාලට සැරෙන් කතා කළා. ඩබල් ගේම් ගහන්න එපා කියලා දෝෂාරෝපණය කළා. එදා ඉඳන් තමයි ඒ අයට මාත් සමඟ ගැටලු මතුවුණේ. හැබැයි මමත් කනගාටු වෙනවා. එදා මගේ වචන භාවිතය ගැන.
සන්දීප් සෙංකඩගල