
1950 ගණන්වලදී අපේ ආර්ථික විශේෂඥයන් ශ්‍රී ලංකාව හැඳින්වූයේ ග්‍රාම රාජ්‍යයක් ලෙසටය. රටේ ගම්මාන තිස්දහසක් ඇති බවද එම ගම්මාන තිස්දහස සංවර්ධනය කිරීමෙන් රට සංවර්ධිත තත්ත්වයට පත්වන බවද ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව විවිධ ග්‍රාම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වුවද ඒ ව්‍යායාමය මුළුමනින්ම සාර්ථක වූයේ නැත. අද තත්ත්වය ඊට වඩා සංකීර්ණය. ලෝකයේ ආර්ථික රටාව වෙනස් වී ඇත. ජනගහනය වර්ධනය වී ඇත. ගම්මාන අර්ධ නාගරික තත්ත්වයට වෙනස් වී ඇත. මේ තත්ත්වය මත රට සංවර්ධනය කිරීම සඳහා අලුත් ආර්ථික ප්‍රවේශයක් අවශ්‍යව ඇත.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දියුණු කිරීමේ දැවැන්ත ක්‍රියාවලියකට ඒකාබද්ධ ලෙස ක්‍රියාත්මක වන කැපීපෙනෙන ආර්ථික වැඩසටහන් තුනක් ආණ්ඩුව විසින් හඳුන්වා දී තිබේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ග්‍රාම ශක්ති හා ගම්පෙරළිය ලෙස එම වැඩසටහන් හඳුන්වාදිය හැකිය. කෙටි කාලයක් තුළ වේගවත් ආර්ථික සංවර්ධනයක් ළඟාකර ගැනීම මෙහි ඉලක්කය වී ඇත. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ව්‍යවසායකයන් සහ ව්‍යාපාර දිරිගැන්වීම සඳහාය. ග්‍රාම ශක්ති වැඩසටහන ග්‍රාමීය අංශයේ නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා වෙන්වී ඇත. ගම්පෙරළිය යනු ගමේ පොදු පහසුකම් දියුණු කොට ගමට අලුත් ආර්ථික හා තාක්ෂණික ප්‍රවේශයක් ලබාදීමය. ජනතාව අතර මෙම වැඩසටහන් අතුරින් වඩාත් කතාබහට ලක්වන්නේ ගම්පෙරළිය යි
ගම්පෙරළිය යටතේ මේ වසරේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් කෝටි 20ක සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට රජය තීරණය කර ඇත. මෙම වසරේ තෙවැනි කාර්තුවේ සිට මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අතර වසර දෙකකදී ඒ සඳහා රුපියල් කෝටි 6581 ක් වැයකිරීමට නියමිතය.
ගම්පෙරළිය කඩිනම් ව්‍යාපෘතිය යටතේ ගම්වල ඇති කුඩා වැව් 2200 ක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර සෑම ගමකටම හරිත උද්‍යානය බැගින් පිහිටුවීමට සැලසුම් කර ඇත. එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ ශරීර සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය ව්‍යායාම සහ ක්‍රීඩා පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථානයක්, ධර්ම දේශනා පැවැත්වීමට ශාලාවක් සහ සන්නිවේදන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට වයි ෆයි පහසුකම්ද මෙම ගම්පෙරළිය ව්‍යාපෘති වැඩසටහන මගින් ජනතාවට ලබාදීමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇත.
මෙතෙක් රාජ්‍ය නිලධාරීන්ගේ නෙත නොගැටුණු මෙරට ගම්මානවල තිබෙන කුඩා පාසල්, කෝවිල් සහ පල්ලි යන දේවස්ථානද මෙම වැඩසටහන මගින් සංවර්ධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇත. මෙරට සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි වාරිමාර්ග, ග්‍රාමීය මාර්ග, ක්‍රීඩාපිටි, සතිපොළ, විදුලි බලය, පුරාවිද්‍යාත්මක ස්ථාන අලුත්වැඩියාව සහ නිවාස සංවර්ධනය මෙන්ම ඉඩම් ඔප්පු නිකුත් කිරීම වැනි වැඩසටහන්ද ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට නියමිතය.
ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන ඉදිරි මාස 18 තුළ සම්පූර්ණ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ව්‍යාපෘතිය සඳහා මෙවර අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 30 කි. ඉන්ධන මිල ඉහළ දැමීමෙන් භාණ්ඩාගාරයට ඉතිරිවන බිලියන 55න් කොටසක්ද මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවීමට රජය තීරණය කර ඇත.
මෑත වසරවල මෙරටට මුහුණදීමට සිදුවූ කාලගුණ විපත් හේතුවෙන් දිවයින පුරා යටිතල පහසුකම්වලට හානි සිදුවීම හා විවිධ හේතුවල බලපෑම නිසා සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයේ සිදුවූ අඩුවීම හේතුවෙන් බොහෝ පිරිසකට සිය ජීවනෝපාය සංවර්ධන කටයුතුවලදී යම් යම් අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවී තිබිණි. එබැවින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම මෙන්ම සියලු දිස්ත්‍රික්කවල තිබෙන සංවර්ධන කටයුතු සහ ව්‍යවසායකත්ව යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා මෙම ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන බෙහෙවින් උපකාරී වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
රටක් දියුණු කිරීම සඳහා නව සංවර්ධන වැඩසටහන් අවශ්‍ය කෙරේ. මේවා මගින් ජනතාව සංවිධානගත කෙරෙන අතර ඔවුන්ගේ චින්තනයද අලුත් වේ. කුසලතා වර්ධනය වේ. සෑම ආර්ථික ක්‍රියාවලියකටම කිසියම් ගැම්මක් හෙවත් ප්‍රබෝධයක් අවශ්‍ය බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. රජයකට එම ගැම්ම හෙවත් ප්‍රබෝධය ජන සමාජය තුළ ඇතිකළ හැකිය. ඒ සඳහා යොදාගත හැකි හොඳම උපාය මාර්ගය වන්නේ මෙබඳු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමය.
එක්තරා සමාජ විද්‍යාඥයෙක් මීට වසර කිහිපයකට පෙර ග්‍රාම සංවර්ධනයට අදාළ ප්‍රකාශයක් සිදුකළේය. ඔහුගේ මතය වූයේ ගම දියුණු කිරීමට නම් පළමුව කළ යුත්තේ ගමට යන පාර සකස් කිරීම බවය. එය බෙහෙවින්ම වැදගත් යථාර්ථවාදී අදහසකි. ගම හා වෙළෙඳපොළ අතර සම්බන්ධය ඇතිකරන පාලම පාර යැයි කියන්නට පුළුවන. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහනේ මූලික අරමුණක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය පොදු පහසුකම් ඇතිකිරීමය.
ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය මස 22 වැනිදා මොණරාගලින් ඇරඹි අතර එහි පළමු ප්‍රදර්ශනය අගෝස්තු මස 16 වැනිදා මොණරාගලදී පැවැත්වීමට නියමිතය.
ගම්පෙරළිය වැඩසටහන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අලුත් ජවයක් සපයනු නොඅනුමානය. ඉදිරියේදී එහි ප්‍රතිලාභ පොදුවේ ජනතාව අතර බෙදීයනු ඇති බව රජයේ විශ්වාසයයි.
හසිත් අංජන