
ව්‍යාජ ලෙස අංක වෙනස් කරමින් දිනුම් නොමැති ලොතරුයි පහකින් රුපියල් ලක්ෂයක මුදලක් ලොතරැයි අලෙවිකරුවකුගෙන් වංචනිකව ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙක් පසුගියදා (05) කලවාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු විසින් කලවාන ප්‍රදේශයේම වෙනත් ලොතරැයි අලෙවි කරන ස්ථානයකින් තවත් ව්‍යාජ ලොතරුයි පතකින් රුපියල් දසදහසක මුදලක් වංචනිකව ලබාගත් බවට පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවද කලවාන පොලිසිය කියයි.
එම සිද්ධියට මුහුණ දුන් කලවාන ප්‍රදේශයේ ලොතරැයි අලෙවිකරුවකු වන එච්.ඒ. සෝමසිරි මහතා ‘දේශය’ පුවත්පතට අදහස් දක්වමින් මෙලෙස කීය.
“මම පසුගිය 04 වැනිදා සුපුරුදු විදිහට බයිසිකලෙන් ලොතරැයි අලෙවි කටයුතු සිදුකරමින් සිටියා. ඒ වේලාවේ මගේ ළඟට ආපු තරුණයෙක් ලොතරැයි පතක් ඉදිරිපත් කරලා මේකට ලක්ෂයක දිනුමක් තියෙනවා කිව්වා. මම මීට කලින් මේ වගේ වංචාවකට හසුවෙන්න ගියා. ඒ පාසල් සිසුවෙක් මේ වගේම ව්‍යාජ ලොතරැයිපතකින් රුපියල් ලක්ෂයක් ගන්න හදපු හින්දා. ඒ මම ලොතරැයිය 03 වැනිදා දිනුම් ඇදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත ලොතරැයියක්. ඒ දිනුම් කාණ්ඩයේ මගේ ලොතරැයිවලින් ලක්ෂයක දිනුමක් පිටවුණේ නැහැ. එහෙම දිනුමක් පිට වුණානම් රූපවාහිනියේ ඒ බව කියනවා. සැකය හින්දම තමයි මම ලොතරැයි මණ්ඩලයට කෝල් කළේ.
මම ලොතරැයි පතේ කාණ්ඩ අංක කිව්වම ලොතරැයි මණ්ඩලයෙන් කිව්වේ ඒ ලොතරැයියට තියෙන්නේ රුපියල් විස්සක් කියලා. මම ඒ බව ඒ තරුණයාට කිව්වා. ඔහු කිව්වා එහෙම වෙන්නේ කොහොමද මේකේ අංක හරියට තියෙනවානේ කියලා. එතැන ලොතරැයි ගන්න ඇවිල්ලා තිබුණු අයත් මට දොස් කිව්වා දිනුමක් තියෙන ලොතරැයියක් මම වංචා කරනවා කියලා.
පස්සේ මම ඒ පුද්ගලයාට කිව්වා එහෙම නම් ඔයා ලොතරැයි මණ්ඩලයට ඒ ලොතරැයිය අරගෙන යන්න කියලා. පස්සේ ඔහු කිව්වා මට යන්න බැහැ මේක අරන් සල්ලි දෙන්න කියලා. මම සාමාන්‍යයෙන් රුපියල් දහදහසේ ඉඳන් ලක්ෂය දක්වා ලොතරැයි මුදල් අතින් ගෙවලා පස්සේ ඒ ටිකට්වල සල්ලි මණ්ඩලයෙන් ගන්නවා. මම ඒ තරුණයාට කිව්වා දැන් මගේ අතේ සල්ලි නැහැ එහෙම නම් හෙට උදේම කලවාන ප්‍රදේශයේ කඩයක් කියලා එතනට එන්න කියලා. ඔහු ඒකට කැමති වෙලා යන්න ගියා. මට ඒ වෙනකොටත් තේරිලා තිබුණේ ඒක හොරට හදපු ටිකට් එකක් කියලා. මම කලවාන පොලිසියට ගිහින් පොලිස් ස්ථානාධිපතිතුමා හම්බවෙලා ඒ ගැන කිව්වා. පොලිස් ස්ථානාධිපතිතුමා මට උපදෙස් දුන්නා. ඔහු ආපු ගමන් කලවානේ බැංකුවක් ළඟට ගිහින් සල්ලි අරන් දෙන විදියට ඔහු රවටාගෙන එතුමාට කෝල් එකක් දෙන්න කියලා. ඒ කෝල් එක බැංකුවේ මැනේජර්ට ගන්න විදියට ලබාගන්න ලෙසත් ඔහුට කිසි සැකයක් ඇති වෙන්නේ නැති විදියට කටයුතු කරන්න කියලා. ඒ වගේම ඔහුව අත්අඩංගුවට ගන්නකම් මේ ගැන අඩුම ගානේ ගෙදර අයටවත් කියන්න එපා කියලා මට උපදෙස් දුන්නා. පස්සේ මම ඔහුට පසුදින බැංකුවක් අසලට ගෙනැල්ලා ලොතරැයි පතත් එක්ක එම පුද්ගලයව පොලිසියට බාර දුන්නා.
මේ වගේ ලොතරැයිවලින් මාසයකට රුපියල් හතළිස් දාහක් විතර හසුවෙනවා. සාමාන්‍යයෙන් විස්ස, සීය, දාහා මගේ දිනුම් ටිකට් අපි වැඩිය බලන්නේ නැහැ. සෙනඟ අතරේ ඒ ටිකට් දුන්නම ඉන්නේ කවුද කියලා දන්නෙත් නැහැ. ලොතරැයි ආදායමට වඩා අතින් මුදල් දාන්න වෙන අවස්ථා වැඩියි. ලොතරැයිවල අංකවලට යටින් එම අංකය ඉංග්‍රීසි වචන ගහලා තියෙනවා. ඒත් ඒ පොඩි අකුරු කියවන්න අමාරුයි. ඒ හින්දා රැවටෙන අවස්ථා අනන්තයි. ලොතරැයිවලින් වැඩි ලාභ නැහැ. දවසේම ඇවිදලා අන්නිමට අතින් දාන්න පාඩු වුණාම හරි කනගාටුයි. කලවාන පොලිසියේ ඒ.අයි.සී. මහත්තයා මේ සිද්ධියේදී මට ගොඩාක් උදව් කළා. මම ස්තූතිවන්ත වෙනවා මේ වේලාවේ ඒ මහත්තයාට. නැත්නම් මම ආයෙත් වංචාවකට හසුවෙනවා එතුමාගේ දක්ෂතාවය හින්දයි මේ වංචාව ඇල්ලුවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කලවාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස්. දයාවංශ මහතා.
“මේ සිද්ධිය ගැන ඒ ලොතරැයිකරු කිව්වම මම එම පුද්ගලයා අත්අඩංගුවට ගන්න සැලසුමක් හදලා ඒ ගැන ලොතරැයි අලෙවිකරුට උපදෙස් දුන්නා මේ වැටලීමට ඔහුත් ලොකු සහායක් දුන්නා ඔහුගේ පැත්තෙන්.
මේ වගේ වැඩ හැමෝටම කරන්න බැහැ. බොහොම සූක්ෂම අය තමයි මේ වගේ වැඩ කරන්නේ. අපේ සැලසුම අනුව කලවාන නගරයේ බැංකුවක් අසලදී අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කළා බ්ලේඩ්තලයක් උපයෝගි කරගෙන මේ විදිහට ව්‍යාජ ලොතරැයිපත් සකසා මුදල් ගන්න බව. ඔහු මේ වැඩේ රුපියල් විස්සෙන් පටන් අරන් දිගටම සීයය, දහස, දසදහස වගේ ලොතරැයි හදලා අන්තිමට ලක්ෂයේ ලොතරැයියෙන් දිනුමක් ව්‍යාජ ලෙස ලබාගන්න යනවා. මේ පුද්ගලයාගේ වංචාවට හසුවුණු තවත් අය ඇති. අපි ඒ ගැන විමර්ශන ආරම්භ කරලා තියෙනවා. පොලිසිය විදිහට අපි කියන්නේ ලොකු දිනුම් මුදල් ලබාදෙන්න කලින් අදාළ අංශවලින් උපදෙස් ගන්න කියලා. මොකද එක පුද්ගලයෙක් අත්අඩංගුවට පත්වුණාට තවත් මෙවැනි වංචාකාරයන් විවිධ වෙස්වලින් එන්න පුළුවන්. හැම වෙලාවේම අවදියෙන් ඉන්න. ඕනෑම ගැටලුවකට සහාය වෙන්න පොලිසිය ඉන්නවා. මෙවැනි වංචා සිදුකරන පුද්ගලයන් ඒ දැනුමෙන් සමාජ හිතකර දේවල් කරනවා නම් රටට ලොකු සේවයක් කරන්න පුළුවන්.
මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූයේ කලවාන තිනිඕවිට පදිංචි ආර්. කාලිදාස නැමැති (25) හැවිරිදි තරුණයෙකි. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරැව මෙම මස 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් නිශානි තේනබදු මහත්මිය විසින් නියෝග කරනු ලැබීය.
කලවාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස්. දයාවංශ මහතාගේ උපදෙස් හා මෙහෙය වීම මත පොලිස් සැරයන් (12892) ප්‍රියන්ත, පොලිස් සැරයන් (4664) බණ්ඩාර, පොලිස් කොස්තාපල් (38328) තෙන්නකෝන් කාන්තා පොලිස් කොස්තාපල් (2748) ලක්මාලි යන නිලධාරීහු පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත්හ.

►කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම