මහා පරිමාණ මත්කුඩු ජාවාරමුන් දසදෙනකු අද මහ උළුගෙදරය. ඔවුන්ට දඬුවම මරණයද? (කණ්ඩම්) ජිවිතාන්තය ද (ලයිෆ්) යන්න ප්‍රශ්නයක් නැත. ඒ හිරගේ ඇතුළේ ගතකරන ජීවිතය පිට ජීවිතයට වඩා හැම අතින්ම ආරක්ෂාව හා රැකවරණය සලසන නිසාය.
කුඩු ජාවාරමුන් සඳහා ලබාදී ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා ඉකුත් 11 දා ගත් තීරණයත් සමඟම බන්ධනාගාරයේ මරණ දඬුවම් වාට්ටු මීයට පිම්බාක් මෙන් නිසල වූයේ නිමේෂයකිනි.
වැලිකඩ බන්ධනාගාරයේ පමණක් මරණ දඬුවම ස්ථිර වූ කුඩු චෝදනා ගණන 18කි. කුඩු නඩු නිසා ජීවිතාන්ත සිරදඬුවම් ගතකරන සංඛ්‍යාව ඊටත් වැඩිය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බාගෙට බාගයක්ම කුඩු ජාවාරමුන්ය. මැගසින් බන්ධනාගාරයේ මහා පරිමාණ කුඩු හොරුන් ගණන 30කි.
සුපිරි කුඩු ජාවාරමුන්ට හිරගෙවල් රජගෙවල් මෙන්ය. ඒ වරදටම දඬුවම් විදින නැතිබැරි එකාට හිරගෙදර මිහිපිට අපායක් බදුය. අද වැඩියෙන්ම අපරාධ සිදුවන්නේත්, සැලසුම් කරන්නේත් සිරකුටිවල සිටය. මේ බැව් පොලීසිය කියන්නේ ද කලක සිටය. “කුඩු හොරුන්” හෙවත් ජාවාරමුන් එදා එළිපිටම කළ ජාවාරම් මෙදා ඊටත් වැඩියෙන් සිදුවන්නේ ද හිරගෙවල් තුළය. රුපියල් කෝටි ගණනින් කළු සල්ලි ඉපයෙන්නේද හිරගෙවල්වලය.
හිරගෙදර සිට කෙරෙන ඕනෑම දේකට අවශ්‍යය වන්නේ ජංගම දුරකතනයක් පමණකි. එවැනි නවීන පන්නයේ ජංගම දුරකතන නොමැති ජාවාරමුන් හිරගෙවල්වල ඇත්තේම නැත. ලෝකයේ කොතැනක සිට වුවද සිදුවෙන කුඩු ජාවාරමට ජංගම දුරකතන නැතිවම බැරිය. ඒත් අඩු නැති තරමට ජංගම දුරකතන සිරකුටි තුළින් හමුවන වාරද අනන්තය. මේ පිළිබඳ කතාව යළිත් කරළියට එන්නේ වැලිකඩ හිරගෙදර සිට මෙහෙය වූ මහා පරිමාණ මත්කුඩු ජාවාරමක සුලමුලද සමඟය.
රුපියල් කෝටි 125කට අධික මත්කුඩු කිලෝ 103ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට කොටුවීමත් සමඟ මේ කතාව ඇදුණි. මත්කුඩු ජාවාරමට මරණ දඬුවම නියම වී සිටින “සුසෙයි” නැමැත්තා ජංගම දුරකතන ඔස්සේ ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මත්කුඩු ගෙන්වා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේ ඉකුත් 7දාය. බන්ධනාගාරය තුළ සිට ලබාදෙන ඇණවුමට ගෝලයන් මෙය කරගෙන ගොස් ඇති බවද මෙහිදී හෙළිවිය. “සුසෙයි” නැමැත්තා මෙතෙක් සිපිරිගෙදර සිටි බවත් දන්නේද දැන්ය. ඒ තරමටම මත්කුඩු ජාවාරමුන් සිරගෙවල්වල සෑබෑම සුරතලුන්ය. ලොකු ලොක්කන් ඔවුන් ගැන කටක් අරින්නේද නැත.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට ප්‍රසිද්ධියක් උසුලන “වෙලේසුදා” මරණ දඬුවමට ලක්ව වැලිකඩට ඇවිත් වසර ගණනක්ය. ඒත් ඔහුගේ පවුලේ ඥාතීන්, ගෝලබාලයන් රුපියල් ලක්ෂ ගණන් වටින හෙරොයින් තොග සමඟ පොලීසියට කොටු නොවන දිනයක් ද නැත්තේය. මේ සියල්ල එලෙසින්ම සිදුවන්නේ මත්කුඩු ජාවාරමුන්ට හිරගෙවල් කවදත් “රජ ගෙවල්” වන නිසාය. මහා පරිමාණ මත්කුඩු ජාවාරමුන් පාතාල අපරාධකරුවන් හිරගෙවල්වල ඉන්න නොඉන්න ගානට සිටියද ජාවාරම් සිදුවන්නේ එළියේ සිටියාටත් වඩා හොඳටය. සමහර ලොක්කන් මේ කිසිවක්ම නොදන්නා ගානට සිටින තරමට ජාවාරමුන්ද ඉන්නේ නිහඬවය.
දැඩි ආරක්ෂක රැකවල් යෙදූ බව කියන විශේෂ සිරකුටිවලට ඉහළ අවසරයකින් තොරව කිසිවකුටවත් යන්නට බැරිය. රාත්‍රි 10.00ට වැසෙන මෙම විශේෂ සිරකුටිවල සිදුවන දෙයක් ලොක්කන් හැර වෙනත් කිසිවකුත් දන්නේ ද නැත. සිරකුටිය භාර ජේලර්වරයා ඊළඟ තැනැත්තාට සිරකුටියේ සිරකරුවන් ගණන හැර වෙනත් දෙයක් බාරදෙන්නේද නැත. සිරකුටි වැසීම හා හැරීම පමණක් හැමදාමත් සිදුවන අතර රාත්‍රි 10.00න් පසු සිරකුටි ඉබියතුරු දැමීම හැර ඔවුන් වෙනත් කිසිවක් සොයන්නේද නැත. විශේෂ ගණයේ සිරකරුවන් දෙසට අන්වර්ථ නාමයක් ආදේශකොට පැත්තක කොටුකර ඇති මුත් ජාවාරමුන්ට විශේෂ ගණයේ “බිස්නස්”වල යෙදෙන්නට මෙය තවත් උපක්‍රමයක් බවට වැඩිදෙනෙක් දන්නේ නැත.
මහා පරිමාණ මත්කුඩු ජාවාරම් මෙන්ම පාතාල අපරාධකරුවන් ක්‍රියාකාරියකු බවට රටම දන්නා දෙමටගොඩ චමින්දට මරණ දඬුවම ගෙවන්නට දුම්බර බන්ධනාගාරය ආරක්ෂිත ස්ථානයකි. ඔහු සිපිරිගෙදර ගතකරන දිවිය කාටත් රහසක් වුවද උවමනා දෙය ඉටුකරගන්නට බාධාවක්ද නැත. ඔහු බන්ධනාගාරය තුළදී සිය උපන්දින සාදයක් පැවැත්වූ බවට කතාබහ එළියට ආවේද වසර කීපයකට පෙරය. තමාටම වෙන් වූ සිරකුටියකට වී ඔහු විනෝදයෙන් දවස ගෙවන බවටද තොරතුරු ඇත.
සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරු ඝාතන සිද්ධියෙන් මරණ දඬුවම නියම වූ පොට්ට නව්ෆර් වසර ගණනාවක සිටම බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී පලායාමේ සැලසුමක් හෙළිවීම තුළින් බදුල්ලට යැවුණු ඔහු අදටත් එහි ගතකරන සුපිරි දිවිය ගැන කිසිවක් කථා කරන්නේ නැත. පසුගිය අවුරුදු උත්සවයකදී බන්ධනාගාරයේ සංවිධානය කළ තරග අවස්ථාවක හොඳම තරගකරුවා ලෙස ජයග්‍රහණය කරන්නටද ඔහුට හැකිවිය.
කුඩු හොරුන් වැඩි දෙනකුට වැලිකඩ බන්ධනාගාර රෝහලද සුරසැප දෙන තවත් එක නිවාඩු නිකේතනයක් ලෙස ප්‍රකටය. එහි ගතකරන වැඩි දෙනකු පාහේ මෙහි රජවරු වෙති. රෝගයක් ඇතිව හෝ නැතිව රෝහල් ගතවන්නට කුඩු ජාවාරමුන්ට ඇත්තේ සුවිශේෂි වරප්‍රසාදයක්ය. ඒ පිළිබඳව අභියෝග කරන්නට කිසිවකුටත් නොහැක්කේ වෛද්‍ය නිර්දේශ නිසාය.
බන්ධනාගාරය තුළ කුඩු හොරුන්ට සුපිරි නිවහන් තැනෙන්නේද නිකම්ම නොවේ. ලොක්කන්ගේ අතමිට සරුවන තරමට කුඩු හොරුන්ට ද සැප වැඩිය. විරුද්ධවාදීන්ගෙන් තර්ජනයක් ඇත්තේම නැත. බිස්නස් සරු කරගන්නට අතහිත ද වැඩිය. වෙලේ සුදා ගැන මීට ටික කලකට පෙර බන්ධනාගාර ලොක්කෙකුගෙන් කළ විමසීමකදී ඔහු කීවේ කාටත් කරදරයක් නැතිව ඔහු පාඩුවේ “චැපල් වාට්ටුවේ” සිටින බවයි. ඔහු ඉඳහිට භාවනා කරන බවට එම නිලධාරියා හෙළිකළේ ඔහුගේ බිස්නස් ගැන තොරතුරු හෙළිනොවන්නටදැයි සිතෙන්නේ මේ වනවිට පොලීසියට කොටුවී ඇති ගෝලයන් ගණන ගැන සිතන විටය.
කුඩු ජාවාරමුන්ට හිරගෙවල් තම බිස්නස් එකට හොඳම උත්තේජනයක් සපයන බවද වැඩි දෙනකු නොදන්නේද නොවේ. ඒ නිසාම ඇතැම් මත්කුඩු ජාවාරමුන් උවමනාවෙන්ම බන්ධනාගාරගත වන අවස්ථාවන්ද නැත්තේ නොවේ. එළියේ සිටිනවාට වඩා හොඳින් තම ජාවාරම ඇතුළේදී ජාත්‍යන්තර මට්ටමින් සිදුවන්නේද ඒ නිසාය. පොලීසියට විටින් විට කොටුවන මත්කුඩු ජාවාරමුන්ගේ ප්‍රකාශ අනුව ඔවුන් සියල්ලෝම මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරයේ සිටින මත්කුඩු ජාවාරමුන්ය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කලක් රඳවා සිටි සුප්‍රසිද්ධ කුඩු හොරෙකු (මේ වනවිට ඔහු පොලිසියෙන් වෙඩි කා මිය ගොසිනි.) එහි හිටපු අධිකාරිවරයාගේ අණින් රැපියල් ලක්ෂ ගණනක වියදමකින් බුදු මැඳුරක් ඉදිකළ පුවත අදටත් කතාබහට ලක්වන්නකි. තවත් කුඩු හොරෙක් ඒ හිරගෙදරම දිය ඇල්ලක් තැනුවේ තවත් ලක්ෂ ගණනක වැයක් දරමිනි. එදා එහි සිටි ලොක්කාගේ නමින් එය අදටත් ගලා හැලෙන්නේය.
වැලිකඩ බන්ධනාගාරයේ අමුත්තන් රැඳිසිටින ගොඩනැගිල්ලක් වෙලේසුදාගේ වියදමින් ඉදිකර ඇති බවට බන්ධනාගාර පොඩ්ඩන් හෙළිකරන්නේ දැඩි අප්‍රසාදයෙන් යුතුවය. වෙලේ සුදා වැලිකඩ “චැපල් වාට්ටුව” තුළ හාහූවක් නැතිව සිටියද ඔහුගේ සියලු අවශ්‍යතාවන් සැපයෙන්නේ ඉහළ තැන්වල අනුදැනුම ඇතිවය. ගතවූ නිදහස් දිනය දා බන්ධනාගර සිරකරුවන් අතර පැවති නිදහසේ ක්‍රිකට් තරගයේ නායකත්වය දරන්නට වෙලේ සුදාට අවස්ථාව හිමිවූයේ ලොක්කන් තුළ ඔහුට ඇති සමීප සබඳතාවය මොනවට හෙළිකරමිනි.
සාමාන්‍යයෙන් මරණ දඬුවම නියමවූ සිරකරුවකු සිර වාට්ටුවෙන් පිටතට ගනුලබන්නේ දිනපතා උදේහවා පැය ½ක් පමණෙකි. වෙනත් කිසිදු අවස්ථාවක ඔවුන් පිටතට ගැනීම පවා තහනම්ය.
මරණ දඬුවම නියම වූ මත්ජාවාරමුන් මෙලෙස එළිමහනේ ක්‍රිකට් ගහද්දි ඇතැම් සිරකරුවන් “සී 3” සිර වාට්ටුවේ අඳුරු කුටිවල වසර ගණන් ගතකරන්නේ දෑස් පවා නොපෙනී යද්දීය. අතැමුන් සිරකුටි තුළම ගෙලසිරකර ගන්නා අවස්ථාවන්ද නැත්තේ නොවේ. නිල්කොළ විසිකරන මත්කුඩු ජාවාරමුන්ට අද බන්ධනාගාර තුළ කළ නොහැක්කක් නොවන්නේ මෙබඳු සුපිරි තත්ත්වයක් නිසාය. ලොක්කන් සතුටු කරන තරමට ඔවුන්ගේ මනදොළ සපිරෙන්නේද නිතැතිනි. සියලු ගනුදෙනු සිදුවන්නේද ඊෂිකෑෂ් මගිනි.
මීට වසම් කිපයකට පෙර දුම්බර බන්ධනාගාරයේ (බෝගම්බර) ඉහළ නිලධාරියකුගේ වැඩ තහනම් කෙරුණේ මත්කුඩු ජාවාරම්කරුවකුගේ සහෝදරියක මගින් සිය බැංකු ගිණුමකට රුපියල් 20 ලක්ෂයක මුදලක් බැරකරගත් බවට නැගුණු චෝදනාවක් නිසාය. වසරකට වැඩි කාලයකට පසු අදාළ නිලධාරියා නැවතත් සේවයේ පිහිටුවා අවසන්ය.
රිමාන්ඩ් භාරයේ සිටියදී වෙලේ සුදාගේ කුඩු ජාවාරමට සහාය වූ ඉහළ පහළ නිලධාරින් 17 දෙනකු වැඩ තහනමට ලක්වූයේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් බවට රහස් පොලීසිය අධිකරණයේදී හෙළිකළ තොරතුරකට අනුවය. ඒ මීට වසර කීපයකට පෙරය. මූලික විනය පරීක්ෂණයකින් පසු ඒ සියල්ලේම නිදහස් වූයේ එවැන්නක් සිදුවී නැති බවට කරුණු ද හෙළිදරව් කරමිනි.
මත්කුඩු “මාෆියාවේ” හැටි එහෙමය.
ඇතැම් කුඩු ජාවාරමුන්ට ඇති දේශපාලන හයියද බොහෝය. කුඩු ජාවාරමුන්ට හොඳ තැන් හදා දෙන්නට ද ප්‍රබල දේශපාලනඥයන් බලපෑම් කරන්නේ එනිසාය. එසේම ඇතැම් නිලධාරීන්ට උසස්වීම් පමණක් නොව මාරුවීම් දෙන්නට පවා කුඩු ජාවාරමුන්ට ඇති බලයද ප්‍රබලය. ඒ බන්ධනාගාර ඉහළම ලොක්කන් සමඟ ඇති ප්‍රබල සබඳතා නිසාය. ඒ අනුව මීට කලකට පෙර පැවති ජේලර් පරීක්ෂණයකදී නියාමක සිට එකවර ජේලර් තනතුරට පත්වූ අඹුසැමි යුවළක් ගැන නොදන්නා කෙනෙක් නැත. ප්‍රබල මත්කුඩු ජාවාරමුවකුගේ සහාය ඊට ලැබුණු බව අදටත් ප්‍රකට රහසක් පමණි.
බන්ධනාගාරගතව සිටින මත්කුඩු කප්පිත්තකුට සුපිරි දුරකතන ලැබෙන්නේ කෙසේදැයි අදටත් උත්තරයක් නැත. කවුරුත් හෙළිනොකරන ඒ කිසිවක් කිසිකලෙකත් එළියට එන්නේද නැත. බන්ධනාගාර බුද්ධ අංශ හදිසියේ කරන වැටලීම්වලින් ජංගම දුරකතන හසුවන්නේ තොග ගණනින් වුවද ඒවා නැවතත් යන්නේ ඒ තැන්වලටම බව නොදන්නා කෙනෙක්ද නැත. අත්අඩංගුවට ගන්නා ජංගම දුරකතන සිම්කාඩ්පත් රහස් පොලිසියට බාරදෙන බවද අසන්නට ඇත. ඒත් ඉන් හෙළිවූ තොතරතුරක් දැකගන්නටද නැත.
බුද්ධි අංශ පරීක්ෂණ මගින් ඉකුත්දා මැගසින් බන්ධනාගාරයේ නිලධාරින් කළ තවත් පරීක්ෂාවකදී සිරකරුවන් තිදෙනෙකු ළඟ තිබී ජංගම දුරකතන 5ක් සොයාගත් බවට ද තොරතුරු වාර්තා විය. ජංගම දුරකතන පමණක් නොව මත්ද්‍රව්‍ය තොග ගණනේ අලෙවිවන්නේ ද බන්ධනාගාර තුළමය.
සුපිරි මත්කුඩු ජාවාරමුන්ට අමුත්තන් හමුවීමට ඇතැම් අධිකාරිවරුන් තම නිල කාර්යාලය ලබාදෙන බවටද චෝදනා ඇත. මෙවැනි අවස්ථාවලදී සිරකරුවන්ට ඕනෑම නීති විරෝධි උපකරණයක් ලබාදීමට හැකියාව පවතින බවට සැකයක් ද පවතී. තම නිල කාමරයේදී අමුත්තන් හමුවීමට ඔවුන්ට අවස්ථාව ලබාදී ඇත්තේ ඒ නිසාදැයි පොඩ්ඩෝ විමසති. කුඩු හොරුන් වැඩි දෙනෙකුට සුපිරි සිරකුටි ඉදිවූ සිපිරිගෙය ලෙසට අදද හඳුන්වනුයේ මැගසින් බන්ධනාගාරයයි. වැට් බදු වංචාවේ මහ මොළකරුවන්ගේ සුපිරි සිරකුටි තුළට පරිගණක පවා එදා ලබාදුන් ලොක්කන් අදටත් කරන්නේද ඒ දේමය.
බන්ධනාගාර නිලධාරින් 1/3 ක්ම මානසික ආතතියෙන් පෙළෙන බව ඉකුත් දා තුළ සමීක්ෂණයකින් හෙළිවී ඇත. ඇතැම් දූෂිත බන්ධනාගාර නිලධාරින් හා මත්කුඩු ජාවාරම්කරැවන් අතර පවතින සමීප සම්බන්ධතාවන් නිසාම බන්ධනාගාර රෝහලට ගේන මත්කුඩු ජාවාරම්කරුවකු පළාගියේ කාටත් නොදැනෙන්නටය. විශාල අතයට ගනුදෙනුවකට මෙය සිදුවූ බවට කටකතා පැතිර ගියද අවසානයේ ඊට වන්දි ගෙවන්නට සිදුවූයේ ජේලර්වරයකු ඇතුලු නිලධාරින් පස්දෙනකුටය. අදටත් ඒ නිලධාරින් පස්දෙනා රුකියාව අහිමිව සිටිති. සැකකරු රටේත් නැති බවද හෙළිවී ඇත.
ජංගම දුරකතන මත්කුඩු ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය හා උපකරණ සිරකුටි තුළට රැගෙන ගොස් හසුවන ඕනෑම නිලධාරියෙකු විසින් විනය පරීක්ෂාණයකින් පසු සේවයෙන් පහකිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා තීරණය කර ඇත්තේ ද එනිසා වන්නට ඇත.
♦ ජයන්ත සමරකෝන්